2022 ජුනි 05 වන ඉරිදා

කිරිපිටි වෙනුවට ගතහැකි දේශීය පාන

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 468

අපේ ජනගහණයෙන් විශාල පිරිසකට උදේට කිරිපිටිවලින් තනන කිරි තේ එකක් නොබිව්වොත් දවස පුරාම ඇඟට පණ නැති බව පවසනු නිතර අසන්නට ලැබේ. ඉන්  පැහැදිලි වන්නේ කිරිපිටිවලට ඇබ්බැහි වී ඇති බවයි. නමුත් අපේ පැරුන්නෝ මෙන්ම අදටත් පිටිසර ගම්මානවල බොහෝදෙනා උදේට බොන්නේ එළකිරි කෝප්පයකි. නැත්නම් කොළ කැඳ කෝප්පයකි. දැන් ඩොලර් අවුල නිසා කිරිපිටි මිල නහුතෙටම නැගලාය. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් දහසකට අධිකය. ඒ ගාණටත් කිරිපිටි ලබාගන්නට වෙනම යුද්ධයක් කළ යුතුය. ඉදිරියටත් මිල නගිනු විනා බහින පාටක් නම් නැත. ඒත් අපේ ඇත්තෝ ණය වී හෝ පිටරටින් එන කිරිපිටි සොයමින් කඩ, සුපර්මාකට් පීරනු සුලබ දැකුමකි. නමුත් කිරිපිටිවල ගුණයක් වෙනුවට ඇත්තේ අගුණයක් බවත් ඒවාට ඇබ්බැහිවීමක් සිදුවන බවත් වෛද්‍ය විශේෂඥයන් කියන්නේ අද ඊයෙක සිට නොවේ. ''කිරි නැති හින්දා රටකිරි දීලා සිංහල දරුවො මරන්නා'' යන ගීතය ඒ.එම්.යූ. රාජ්. ගැයුවේ 1940 දශකයේය. වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට වර්තමානයේ බෝ නොවන රෝගවලට ගොදුරු වන අයගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමට කිරිපිටි පරිභෝජනය හේතු වී තිබේ.

වැඩි පෝෂණයක් සහිත පාන වර්ග භාවිතය ලංකාවේ අපට අලුත් දෙයක් නොවේ.   පුරාණ ගොවි සමාජයේ ගොවීන් හිමිදිරියේ කුඹුරට හේනට ගියේ කොළකැඳ මැටි කෝප්පයකින් එකක්ම පානය කිරීමෙනි. ඉන්පසු දිවා ආහාරය ගන්නා තෙක් ගොවියාට අවශ්‍ය ශක්තිය කැකුළු සහල්, පොල්කිරි, ඖෂධීය කොළ වර්ග සහිත කොළ කැඳවලින් ලැබුණි. ස්වභාවික සම්පතින් අනූන අප රටේ ගස්කොළන්, පැළෑටිවලින් තනනා පාන වර්ග සොයාගැනීම එතරම් අමාරු වැඩක්ද නොවේ. උදේට පමණක් නොව දවසේ ඕනෑම මොහොතක සිරුරට අවශ්‍ය ශක්තිය ලබාදීමට මේ පාන වර්ග සමත්ය.

නෙල්ලි, රසකිඳ, බෙලිමල්, රණවරා මල්, පොල්පලා, ඉරමුසු වැනි ශාක ආශ්‍රිත මේ පාන වර්ගවල ඖෂධීය ගුණයත් ඉතා ඉහළයි. මේ නිසා එදා ජනතාවට අද බහුලව ඇති දියවැඩියාව, හදවත් රෝග වැනි ලෙඩරෝග වැළඳුණෙත් අඩුවෙනි. නමුත් යටත්විජිත යුගයේදී ඉංග්‍රීසින් තේ හා කෝපි හඳුන්වාදීම නිසා ක්‍රමයෙන් මේ පාන වර්ග භාවිතය අඩුවීම දක්නට ලැබුණි. පසුව ඒවා භාවිතය දැකගත හැකි වුණේ ඉතා කලාතුරකින් ගැමි ප්‍රදේශවල පමණයි. නමුත් පසුගිය කාලයේ නාගරික සමාජයේ යළිත් ඔසුපැන් වර්ගවලට ඇති ඉල්ලුම යම් පමණකින් ඉහළ යාමක් සිදුවුණද නිවසේ ඔසුපැන් තනා ගැනීම නම් සිදුවූයේ නැත. පුරාණයේ පටන් අප භාවිත කළ පාන වර්ග කිහිපයක ගුණ ගැන සලකා බලමු.

බෙලි

ඉතා ජනප්‍රිය හා බහුලවම භාවිත කළ පානයකි. බෙලි ගසෙහි පස් පංගුවම (කොළ, මුල්, මල්, ගෙඩි, කටුව) පානය සඳහා භාවිත කිරීම සිදුවිය. බෙලි ගෙඩිය ඉදුණු පසු එහි මදය ගෙන මැලියම් ගතිය ඉවත් කර, පොඩි කර (අද නම් එයට බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකිය) අවශ්‍ය පමණ සීනි, ලුණු සහ දෙහි ස්වල්පයක්ද යොදා ගැනීමෙන් රසවත් ගුණදායක පානයක් සකස් කරගත හැකිය. එය හිස්බඩ පානය කිරීමෙන් සිරුර සිසිල් වී දිර්ඝායුෂ ලැබෙන බව එකල විශ්වාස කළ දෙයකි.

බෙලි මල්

හොඳින් වියළාගත් බෙලිමල් තම්බා ගැනීමෙන් පසු කිතුල් හකුරු සමග පානය කිරීම සිදුවිය. පිපාසය සංසිඳුවන මෙම පානය ආහාර රුචියද වැඩවීමට සමත්ය. පුරාණයේ බොහෝ නිවෙස්වල අමුත්තන්ට සංග්‍රහ කළේ බෙලිමල්වලිනි.

බෙලිකොළ

මේරූ බෙලිකොළ කඩාගෙන පිරිසිදු භාජනයක දින තුනක් වියළා ගැනීමෙන් පසු වංගෙඩියේ හෝ බ්ලෙන්ඩරයක කොටා පොට්ටනි බැඳ දිනක් කහට පිපෙන්නට තැබිය යුතුයි. පසුව පැතලි බඳුනක තුනීකර වියළාගෙන තේ වැනි පානයක් සකසාගත හැකියි. බෙලිකොළ පානය සිරුරේ දැවිල්ල, බඩදැවිල්ල තුරන් කරන අතර අක්මාව උත්තේජනය කරන බවද ආයුර්වේද පොතපතේ සඳහන්ය. එය ආහාර දිරවීමටද උපකාරී වේ.

බෙලිගැට මද පානය

බෙලිගැට කුඩා කැබලිවලට කපා හොඳින් වියළා ගත යුතු වන අතර ඊට පසු අවශ්‍ය විට තම්බා ගැනීමෙන් පසු පානය කළ හැකියි. ආහාර රුචිය ඇති කරන මෙම පානය පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකරය. විජලනය වළක්වන්නටත් සමත් මෙය මානසික ආතතිය ඇති අයටද ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්ය.

සියඹලා පානය

සියඹලා ගස වියළි කලාපයේ ඉතා සුලබය. මේ නිසා සියඹලා කරල් පහසුවෙන් එකතුකර ගත හැකිය. ඉදුණු සියඹලාවල ඇට ඉවත්කර මදය කොටස හොඳින් පොඩිකර ගත යුතුයි. ඊට පසු එම බොරයට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එක්කර සිසිල්බිමක් ලෙස පානය කළ හැකියි. මෙම රසවත් පානය ආහාර රුචිය වඩවන අතර කුසගින්න ඇති කරයි. විටමින් සී ඌනතාවෙන් පෙළෙන අයට සියඹලා බොර පානයට දෙහි යුෂ ස්වල්පයක්ද එක්කර බීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. අධික රුධීර පීඩනය ඇති අයට ඉතා ගුණදායක වන අතර මළබද්ධයට සමනය කරන්නටත් හොඳ විසඳුමකි.

පොල්පලා

මේ ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතුවල මිදුල්වල සුලබව වැවුණත් අද වනවිට බොහෝ පැතිවලින් වඳවී ගොසිනි. සේදූ පොල්පලා පැළෑටි කුඩා කොටස්වලට කපා පිරිසුදුවට වේලා ගැනීමෙන් පසු තම්බාගත යුතු වේ. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වුවද මේ පැළෑටිය වගාකළ හැකිය.

මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාව සහ මුත්‍රාගල් දියකිරීමේ හැකියාවද පොල් පලාවලට ඇති බව කියවේ. විෂ නැසීමේ ගුණයෙන්ද සමන්විතයි. මුත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැළෑටිය සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝග තත්ත්වය සමනය වේ. 

ඉරමුසු

ගෙවතුවල සුලබව වැවෙන වැල් වර්ගයක් වන ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුය. සම්පූර්ණ පැළෑටිය ගලවාගෙන සෝදා කැබලිවලට කපා වියළා ගත යුතුය. ඊට පසු වියළි බඳුනක තබා අව්‍යශ විට තම්බා පානයට ගන්න පුළුවන. කිතුල් හකුරු සමඟ තේ මෙන් පානය කළ හැකි අතර කස ඇට සහ සීනි ස්වල්පයක් දමා සිසිල් කර සරුවත් ලෙස බීමටද කදිමයි.

ආයුර්වේදයට අනුව ඉරමුසුවල වා, පිත්, සෙම් යන තුන්දොස් සමනය කිරීමේ හැකියාව පවතී. ලේ පිරිසිදු කිරීමේ හැකියාවද සහිත නිසා කිරිදෙන මව්වරුන්ට සහ දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි. මුත්‍රා දැවිල්ල නැති කරන්නට මෙය සමත්ය. ඉරමුසු හිසකෙස් වර්ධනයටත් උදව් වේ. මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග පානය කිරීමෙන් එම විෂ නැසෙන බව කියැවේ. ආහාර අසාත්මිකතාවලදීද ඉරමුසු තම්බා බීම ගුණදායකය.

නෙල්ලි

තිත්ත රස, ඇඹුල් රස, කහට රස සහ පැණි රස යන රස වර්ග හතරෙන් යුත් නෙල්ලි ඉතා ගුණදායක ඔසුවකි. වෙළෙඳපොළින් නෙල්ලි ගෙඩි පහසුවෙන් ලබාගැනීමේ හැකියාවද පවතී.

උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂ, ශරීරයේ විෂ, සෙම්රෝග ආදියට නෙල්ලි ප්‍රත්‍යක්ෂ ඔසුවකි. නිතරම නෙල්ලි ආහාරයට ගැනීම සම පැහැපත් කරන අතරම අකලට වයසට යාම වළක්වන අතර ඇස්වලටද ඉතා හිතකරය.

නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළෙඳපොළින් ලබාගත හැකි වුවත්, ස්වභාවික නෙල්ලිවලින් සකසන පානය වඩාත් ගුණදායකය. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත්කර ගෙන ජලය ස්වල්පයක් දමා අඹරා ඉස්ම මිරිකාගත යුතුයි. ඒ සඳහා බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකියි. පසුව එම ඉස්ම වතුර සහ සීනි සමඟ මිශ්‍ර කර පානයක් වශයෙන් භාවිත කළ හැකියි. අවශ්‍ය නම් බැදගත් සූදුරු ඇට කිහිපයක් බ්ලෙන්ඩරයක කොටාගෙන  එක්කර ගැනීමටත් පුළුවන. සිසිල් කළ විට වඩාත් රසවත්ය. 

රසකිඳ

මෙය මාංශල කඳකින් යුත් වැල් වර්ගයකි. ඉතා පහසුවෙන් බෝකර ගත හැකියි. කලකට පෙර බොහෝ ගෙවතුවල රසකිඳ වැල් තිබුණද අද එය කලාතුරකින් දැකිය හැකි ශාකයක් බවට පත්ව තිබේ. රසකිඳ වැල් කොටස්වලට කපා වියළා ගැනීමෙන් පසු කල්තබාගෙන තම්බා පානය කළ හැකියි. මෙම පානය රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂවලින් වැළැක්වීමට උපකාරී වන බව ආයුර්වේදයේ සඳහන්ය. රසකිඳ සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරන, ලේ වඩවන, ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාවය සමනයටද උපකාරී වන අපූරු ඖෂධයකි. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, දැවීම් හා පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ, නෙල්ලි සමඟ රසකිඳ යුෂ භාවිතය ඉතා ගුණදායකයි.

සෝයා කිරි

දශක කිහිපයකට පෙර මෙරට ප්‍රචලිත වුණු සෝයා වගාව චීනයේ ඉතා ජනප්‍රියය. සෝයා ඇටවලින් කිරි මෙන්ම කෝපි ද තනාගත හැකිය. සෝයා කිරි සහ සෝයා කෝපි සෝයා අලෙවිහල්වලින් මිලදී ගැනීමටද පුළුවන. සෝයා ඇට රුයක් පෙඟෙන්න දමා හොඳට සෝදලා පොතු අයින් කර වතුර කෝප්ප 2ක් දාලා බ්ලෙන්ඩ් කරගත යුතුය. පසුව පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා ලිපේ තියලා උණු කරගත යුතුය. උඩින් යොදය වගේ හැදෙන ටික අයින් කරගෙන නටන කොට ලිපෙන් බා සීනි හා ලුණු දමා බීමට ගත හැකිය.

මෙම පානවලට අමතරව උදේට කොළකැඳ පානයද ඉතා සුදුසුය. කරපිංචා, මුගුණුවැන්න, ගොටුකොළ, මොණරකුඩුම්බිය, ඉරමුසු, පොල්පලා, හාතාවාරිය, වැල්පෙනෙල ඇතුළු කොළ වර්ග රාශියකින් රසවත් ගුණදායක කැඳ තනාගත හැකිය. 

 කුසුම්සිරි විජයවර්ධන