2022 ජුනි 05 වන ඉරිදා

ඉන්දියාවෙන් මහකන්නයට යූරියා

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 48

මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇත. ගොවියෝ යුහුසුළුව බිම් සකස් කරමින් සිටිති. ඉන්ධන හිඟය එක පැත්තකින් තර්ජනයක් වී ඇති කාල වකවානුවක පොහොර සැපයීම ගැනද ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. රටට අවශ්‍ය යූරියා ආනයනය කරන සමාගම් විනිමය හිඟයකට මුහුණ පා සිටින අතර ලෝකයේ ප‍්‍රධානතම පොහොර නිපදවන රටවල් සිය තොග අපනයනයද පාලනය කර ඇත. මෙවැනි පසුබිමක් තුළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් නිසි අවස්ථාවේදී පොහොර සපයන බවට ප‍්‍රතිඥාවක් දී තිබේ.

පසුගිය කන්නයේදී ගොවියෝ පාඩමක් ඉගෙන ගත්හ. ඇතැම් පිරිස් ප‍්‍රකාශ කරන පරිදි රසායනික පොහොර රහිතව, වී වගාවෙන් හොඳ අස්වැන්නක් ලබාගැනීමට නොහැකියාවක් නැත. එහෙත් වාණිජ වශයෙන් කරන ගොවිතැනට රසායනික පොහොර අවශ්‍යතාව තදින් දැනේ. ඉකුත් කන්නයේදී අස්වැන්න සියයට තිහකින් පමණ පහත වැටුණු බව පර්‌ෙය්ෂණ වාර්තා දක්වයි. එයට හේතුව රසායනික පොහොර භාවිත කිරීම තහනම් කිරීම, එවකට තිබුණ රජයේ ප‍්‍රතිපත්තිය වීමයි.

• රසායනික පොහොර තහනම ඉවතට

විශාල කලබැගෑනියකට පසු යූරියා ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන රසායනික පොහොර තහනම ලිහිල් කර ඇත. හරිත කෘෂිකර්ම සැලැස්මක් සඳහා ඉලක්කයක් හඹාගිය පසුගිය රජය වසර තුනක් තුළ පොහොර ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරන බව නිවේදනය කර තිබුණි. ගොවියෝ එයට එරෙහි වූහ. විශේෂයෙන් එළවළු හා වී වගාකරන ගොවීහු රසායනික පොහොර ඉල්ලා මහා පරිමාණ විරෝධතාවයක නිරත වූ අතර කාබනික වී වගාව සම්බන්ධයෙන් රට තුළ පනවා තිබුණ ප‍්‍රතිපත්තිය ආපසු හරවන්නට රජයට සිදුවිය.

ආර්ථික දුෂ්කරතාවයක සිටි රජය විනිමය අරපරෙස්සම් කළ අතර එවකට ඉහළ තනතුරුවල සිටි නිලධාරීහු පොහොර ආනයනය නතර කර ඩොලර් ඉතිරි කරගන්නා උපායක් අනුගමනය කළහ. ගොවිතැන අසරණ වූ අතර ආණ්ඩුව අත්හරින්නට සිදුවූ ක්‍රියාදාම වැලක ආරම්භය එතැනින් සනිටුහන් වූ බව සැක කළ හැක. ගොවි ජනතාව පොහොර ඉල්ලා රජයට බල කළ අතර රසායනික පොහොර වෙනුවට ඉකුත් කන්නයේ සපයන ලද නැනෝ නයිට‍්‍රජන් සාර්ථක වූයේ නැත. වී අස්වැන්න වාර්තා ගත ලෙස පහත වැටණු අතර වගා හානි සිදුවූ ගොවියන්ට ගෙවීම සඳහා රුපියල් මිලියන හාරසියයක් වෙන් කරන්නට රජයට සිදුවිය.

අලුත් වාර්තා දක්වන පරිදි ආනයනය කරන යූරියා කිලෝ පනහක බෑගයක් රු. දස දහසකට සපයන්නට ආණ්ඩුව සූදානම්ය. එය පොහොර සහනාධාරය ඉවත් වෙනු ඇති බවට සැකයක සිටි ගොවියන්ට තරමක ආස්වාදයකි. වෙළඳපොළ මිලට ගොවිතැනට අවශ්‍ය පොහොර මිල දී ගන්නට නොහැකි, එවැනි වියදමක් අවසානයේදී වී අලෙවි කළ යුතු මිල ගැන සලකනවිට පොහොර සහනාධාරය පාරිභෝගිකයන්ට අස්වැසිල්ලකි.  

• පොහොර ගෙන්වීමට බල කිරීම

ශ‍්‍රී ලංකාව මුහුණ පා ඇති ඉරණම ඇතුළත් ගැට - පිටත් ගැට ආකාරයේ එකකි. පිටස්තරව සිටින විචාරකයන් හා දේශපාලන පක්ෂ පොහොර ගෙන්වා බෙදාහැරිය යුතු බව බල කෙරේ. ලෝකයේ ප‍්‍රධාන පොහොර නිෂ්පාදකයන්ට සැපැයුම ගැටලුවකි. යූරියා පොහොර නිපදවන නයිට‍්‍රජන් බොරතෙල් නිස්සාරණයේ කොටසකි. ඛනිජ තෙල් සැපයුම අර්බුදයක පවතින වකවානුවක යූරියා මිල ඉහළ ගොස් ඇත. ඇමරිකානු ඩොලර් හැටක තිබුණ බොරතෙල් බැරලයක මිල දැන් ඩොලර් එකසිය විස්ස දක්වා නැග ඇත. යුක්රේනය හා රුසියාව අතර පවතින ගැටුම තෙල් වෙළඳාම අවහිර කර ඇති අතර එය එම රටවලින් අපනයනය කරන තිරිඟු හා පොහොර සඳහාද බලපා තිබේ. රුසියාව පොහොර අපනයනයට සූදානම් නමුත් බටහිර පනවා ඇති සම්බාධක එයට බාධාවකි.

ලෝකයේ පොහොර භාවිත කරන ප‍්‍රධානතම රටවල් තුනක් ඇති අතර චීනය, ඉන්දියාව හා ඇමරිකාව පිළිවෙළින් එම ලැයිස්තුවේ සිටී. එම රටවලටද තමන්ගේ උවමනා සඳහා අවශ්‍ය පොහොර ආනයනය ගැටලුවක් වී තිබේ. ඉන්දියාව පොහොර අපනයනය තහනම් කර ඇති රටකි. කොපමණ දේශපාලන අමනාපකම් මැද පවා චීනයෙන් පොහොර ගෙන්වන්නට ඉන්දියාව සාකච්ඡා කරමින් සිටී. රුසියාවෙන් හා යුක්රේනයෙන් අහිමි වූ අවස්ථා ලබාගැනීම සඳහා අලුත් වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන්නට ඉන්දියාව සාකච්ඡා කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

ශ‍්‍රී ලංකාවට විනිමය හිඟ අතර ප‍්‍රධාන රටවල් පොහොර සැපයුමද සීමාකර තිබේ. ඉන්දියාව මෙම තීරණාත්මක අවස්ථාවේදී නැවත වතාවක් සහන සපයන්නට සූදානම් බව අනාවරණය වෙයි. ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය හමු වී පොහොර ගෙන්වීමටද ණය සහනය අදාළ කරගෙන ඇති අතර විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර් හමුවී රාජ්‍ය තාන්ත‍්‍රික නිවහල් භාවයක් ලබාගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සාකච්ඡා සඳහා එකඟතාව පළ කර ඇති අතර ඉන්දියාව පනවා ඇති පොහොර අපනයන තහනම ඉවත් කරගැනීම පළමු අභියෝගය වී ඇති බව දැක්වේ. තොරතුරුවලට අනුව ඉන්දියාවේ රසායනික හා පොහොර අමාත්‍ය ආචාර්ය එස්. මන්දාවියා මහතා අපනයන තහනම සතියක් තුළ ඉවත් කළ හැකි බවට එකඟතාවය පළ කර ඇත.

• ඉන්දියාවේ අවශ්‍යතාව

ඉන්දීය රජය මිල දී ගන්නා පොහොර ශ‍්‍රී ලංකාවට ණය පදනමකින් නිකුත් කිරීම සෑහෙන පරිත්‍යාගශීලීභාවයකි. ඉන්ධන සපයන, ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක් දෙන සහ අය වියයුතු ණය පවා අත්හිටුවා ඇති අවස්ථාවක ඉන්දියාව ගෙන ඇති මෙම තීරණය අගය කළ යුතුය. 

පසුගිය සතියේ ගුජරාට් ප‍්‍රාන්තයේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගොවියන්ට පොහොර කි‍ලෝ පනහක බෑගයක් ඉන්දීය රු. තුන්සියයකට දෙන බව ප‍්‍රකාශ කළ අතර එය ආනයනය කරන මිල රු. තුන්දහස් පන්සියයක් බව කියා සිටියේය. යූරියා මෙට්‍රික් ටොන් මිලියන 203.3ක් මෙම කන්නය සඳහා ආනයනය කරන ඉන්දියාව එරට සමස්ථ කෘෂි කටයුතු සඳහා යොදවා ඇති පොහොර සහනාධාරය ඉන්දීය රු. බිලියන විසි එක දක්වා දෙගුණයකින් ඉහළ නංවා ඇත. ලෝක වෙළඳ පොලේ පොහොර මිල ගණන් දැවැන්ත ඉහළ යෑමක් දක්වන අතර කලින් වසරේ තිබුණ මිල තුන් ගුණයකින් වැඩි වී තිබේ. පොහොර මිල හා හිඟය මත අපනයනය තහනම් කර ඇති අතර ශ‍්‍රී ලංකාවට නිසි කලට පොහොර තොග ළඟා වුවහොත් එය ඉන්දියාවේ කෘතවේදීභාවයට තවත් සාක්ෂියකි.

• පොහොර හා ඉන්ධන පිරිපහදුව ගැන අදහසක්

ඉන්දියාව අලුත් පොහොර නිෂ්පාදනාගාර පහක් අරඹන්නට කටයුතු යොදා ඇත. ඒවායේ ඉදිකිරීම් 2016 දී ඇරඹී ඇති අතර පළමු නිෂ්පාදනය 2024 දී ලබාගත හැකි වෙතැයි සැලකේ. ස්වභාවික ගොවිතැන, නැනෝ නයිට‍්‍රජන් ප‍්‍රචලිත කරන අතරවාරයේ ගොවියන්ට අවශ්‍ය පරිදි යූරියා සැපයුමද කරගෙන යන ඉලක්කයක සිටී. ගොවියන්ට තෝරාගැනීමේ අයිතිය ලැබෙන අතර එමගින් ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති සාක්ෂාත් වනු ඇතැයි ඉන්දීය බලධාරීහු අපේක්ෂා කරති.
ශ‍්‍රී ලංකාවටද පොහොර නිපදවිය හැකිය. යූරියා නිෂ්පාදනයට සහාන්තර තෙල් පිරිපහදුවක් අවශ්‍ය කෙරේ. දැනට කාර්යක්ෂමතාවයෙන් තුනෙන් දෙකක් පිරිහී යකඩ ගොඩක් බවට පත්ව ඇති සපුගස්කන්ද පිරිපහදුවෙන් එය කරගත නොහැක. අලුත් පිරිපහදුවක් මහා පරිමාණයෙන් ඇති කළහොත් එයින් රටට අවශ්‍ය ඛණිජතෙල් සහ අතිරේක වාසියක් වශයෙන් යූරියා, දැවිතෙල්, ලිහිසි තෙල් හා තාර වැනි දේ ලබාගත හැක. මෙවැනි පිරිපහදුවකින් කරන නිෂ්පාදන රටට අතිරික්තයක් වන අතර එය දැවැන්ත ආයෝජනයකි. ලොකුම තෙල් ගබඩා ත්‍රිකුණාමලයේ ඇති අතර ලොකු පිරිපහදුවක් කළහොත් එය අසාර්ථක ව්‍යාපාරයකි. බොර තෙල් නැවක් මිල දී ගන්නට ධනය නැති අවස්ථාවක ඒවා සිහින බව දැක්විය යුතුය. එහෙත් මෙම ක්ෂේත‍්‍රවල ආයෝජකයෝ සිටිති. 

නිපදවන දේ ඉන්දියාවට අපනයනය කරන අවස්ථා සලකා ජාත්‍යන්තර ආයොජන කැඳවිය හැකි පසුබිමක් නිර්මාණය කළහොත් රටට අවශ්‍ය තෙල් සහ පොහොර සඳහා අපේක්ෂා ඇති කරගත හැක. එයට වසර පහකට වැඩි කාලයක් ගත වේ. ඊළඟ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ව්‍යාපෘති අහෝසි කරන රටකට ආයෝජකයෝ එන්නේ නැත. ලෝකයේ හොඳම රොක් පොස්පේට් ඇති ශ‍්‍රී ලංකාව ඒවා සකසන්නට පැමිණි ප‍්‍රධාන සමාගමකට කිසිසේත් ඉඩ නුදුන් බව අමතක කළයුතු නැත. එම පොසේපේට් වියෝජනය වී නිසරු පස් බවට පත්ව ඇති බව කාර්මික ශිල්පීන් දැන් දක්වන බවද මතක් කළ යුතු කරුණකි. නිසි අවස්ථාවේදී ප‍්‍රයෝජනයට නොගැනීමෙන් රටට විනිමය අහිමි විය. මේවා සංකීර්ණ පැති අතර වාසි අවාසි පරෙස්සමෙන් අධ්‍ය්‍යනය කළ යුතුය.

 සාරා කන්දෙගොඩ