
පෙති ඇහැරී පිපෙන්නට පෙරාතුව සියුමැලි මල් කැකුළු පාපතර පිරිමි අත්වලින් සිඳ බිඳ තලා පොඩිකර දමන සුවඳවත් මනුදම් දියාරු වී ගිය දුර්දාන්ත සමාජයක ඔබත් මමත් ජීවත් වෙන්නේ. පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මැණිකක් අතේ තියාගෙන කන්යාවියකට තනිව යාමට තරම් නිදහසක් සහ ආරක්ෂාවක් තිබුණා යැයි කියන රටේ පුංචි දුවකට නිවසේ සිට මීටර් දෙසීයක් තරම් දුරක් ඇසට පෙනෙන මානයකට යාමට තරම්වත් පසුබිමක් අද නැති වග අටලුගමදී ඝාතනයට ලක් වූ නව හැවිරිදි ෆාතිමා අයීෂා දැරියගේ වේදනාත්මක මරණය විසින් තවදුරටත් ඔප්පු කර හමාරයි.
කිරි සුවඳ, මල් සුවඳ නාඳුනන නන්නත්තාර වූ සමාජයක පුංචි අයීෂාගේ මාරයා වූයේ ඇගේ ඥාතියෙක්. දූවරු තිදෙනකුගේ පියෙක් සහ තම බිරිඳ කුස දරා සිටින තවත් දරුවෙකුගේ තාත්තා කෙනෙක් වූ ඒ ඝාතකයා පාපොච්චාරණය කර තිබුණේ ''මාමා මාමා මාව අත්හරින්න'' යැයි කෑගසද්දීම ප්‍රාණය නිරුද්ධ වනතුරු ඇයගේ මුහුණ මඩ වතුරේ ඔබාගෙන ඇගේ පිටට දණහිස් දෙක තබා ඇය සිරකරගෙන සිටි බව. ඇයට අතවර කිරීමේ අරමුණින් ඇයව රැගෙන ගියත් ඇගේ කෑ ගැසීමට බිය වී අතවර නොකර ඇය මරා දැමූ බව ඝාතකයාගේ පාපොච්චාරණයේදී කියැවී තිබෙනවා.
තමන්ටත් දූවරු තිදෙනෙක් සිටියදී තවත් එවැනිම දුවකට මෙවැනි සැහැසිකම් කරන්නට තරම් ජරාජීර්ණ සිතුවිල්ලක් ඉපදුණේ ඇයි? අයිස් මත්ද්‍රව්‍යවලට දැඩිලෙස ඇබ්බැහි වූ එම ඝාතකයා මේ මොහොතේ කවර පාපොච්චාරණයක් සිදු කළද ඔහු කළ අපරාධයට උපරිම දඬුවම මිස කිසිදු සමාවක් හිමිවිය යුතු නැත. අයීෂා මරණයට හිංසනයට එරෙහිව සහ ජීවත්වීමට ඇති ආසාව වෙනුවෙන් අවසන් මොහොත දක්වා කළ සටනේ සාක්ෂි ඉතිරිකර නික්ම ගොස් අවසන්. ඝාතකයාගේ බෙල්ලෙහි සහ සිරුරෙහි ඇති සීරීම් ලකුණු අයීෂා ජීවිතය වෙනුවෙන් සිඟිති දෑතින් කළ පොරබැදීම වෙනුවෙන් ඉතිරි කළ දුක්බර සාක්ෂි ඇයට සාධාරණයක් ඉටුවිය යුතු වග නැවත නැවතත් සිහිපත් කරනවා.
යාපනයේ විද්‍යා, කොටදෙනියාවේ සේයා සහ අටලුගම අයීෂා යන දැරියන් යනු ශ්‍රී ලාංකික සමාජය තුළ පාපතර ලෙස තැලී පොඩිවී මියැදුණු ගැහැනු දරුවන් අතර තිදෙනෙක් පමණයි. මෙවැනි ඉරණම් උරුමව රහසේම ඉකිගසන ගැහැනු දරුවන්ගේ ජීවිත කතාන්දර මේ සමාජයේ අප්‍රමාණයි. මෙවැනි විපරීත ඝාතන මානසිකත්ව නිර්මාණය වන්නේ ඇයි? අයීෂා සහ මෙවැනි ඉරණම්හි අයිතිකාරියන් වූ සියලු දූවරුන් වෙනුවෙන් මගේ ශෝකය සනිටුහන් කර තබමින් අද අපි එම මානසිකත්වයේ මනෝ විද්‍යාත්මක පැතිකඩ ගැන කතා කරන්නට කල්පනා කළා.
අයීෂා දූෂණය කරන්නට ගොස් එසේ තම අවශ්‍යතා ඉටුකර ගන්නට නොහැකි වූ තැනයි අපරාධකරුවා අයීෂාව ඝාතනය කරන්නෙ. දූෂණයට ලක්වීම ඕනෑම කෙනෙකුට අත්විඳිය හැකි වඩාත්ම දුක්ඛිත, බිහිසුණු සහ නින්දිත අත්දැකීමක් බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කරන්නට බැහැ. එය සෑමවිටම පාහේ වින්දිතයාට ස්වයං-පිළිකුලක්, ස්වයං-දෝෂාරෝපණයක්, මෙන්ම කෝපය වැනි හැඟීම් ඇති කරනවා. දූෂණයකින් පසුව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (PTSD) ඇති වෙන්න පුළුවන්. දූෂණය කිරීමෙන් පසුව අහිංසක මල් කැකුළුවලට සිය ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවීම අතිශය ශෝචනීය තත්ත්වයක්.
එක්සත් ජනපදයේ සායනික මනෝවිද්‍යාඥයෙකු වන වෛද්‍ය සැමුවෙල් ඩී. ස්මිතිමන්, යමෙකු දූෂණය කළ බවට පාපොච්චාරණය කළ මිනිසුන් 50 දෙනෙකුගෙන් නිර්නාමිකව සම්මුඛ සාකච්ඡාවකට භාජනය කරලා තියෙනවා. ඉන් ඔහු තහවුරු කරගත් ආකාරයට ස්ත්‍රී දූෂකයන්ට විවිධ පසුබිම්, සමාජ තත්ත්වයන් සහ විවිධ පෞරුෂයන් සහ මානසිකත්වයන් බලපාලා තිබෙනවා. ඔහු පුදුමයට පත්වුණ කරුණක් වෙලා තියෙන්නෙ එවැනි අපරාධ වරදක් ගැන කතාකරන විට ඔවුන් නොසැලකිලිමත් ලෙස කතාකළ ආකාරය පිළිබඳව.
• ස්ත්‍රී දූෂණය ලිංගික ආශාවක්ද? ප්රචණ්ඩ ක්‍රියාවක්ද?
නීතිය අනුව ස්ත්‍රී දූෂණය සාපරාධී වරදක් බව පළමුව කිව යුතුයි. සමහර ස්ත්‍රී දූෂකයන්ට මානසික ව්‍යාකූලත්වයක් තිබෙන්නට පුළුවන්. මනෝලිංගික අක්‍රමතා අතර දහර කාමුකත්වය (Pedophilia) සහ පරපීඩා කාමුකත්වය (Sadism) වැනි තත්ත්වයන් මේ සඳහා බලපාන්නට පුළුවන්.
දහර කාමුකත්වය නැතහොත් කෞමාරකාමය (Pedophilia) කියන්නෙ වැඩිහිටි හෝ වැඩිහිටි යොවුන් වියේ පසුවන දරුවන් කෙරෙහි ප්‍රාථමික හෝ සුවිශේෂී ලිංගික ආකර්ෂණයක් අත්විඳින මනෝලිංගික අක්‍රමතා තත්ත්වයක්. ගැහැනු ළමයින් සාමාන්‍යයෙන් වැඩිවිය පැමිණීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ වයස අවුරුදු 10 හෝ 11දී වගේ. එහෙත් වර්තමානයේ අවුරුදු 8න් 9න් වැඩිවියට පත්වන අවස්ථාත් දක්නට ලැබෙනවා සහ පිරිමි ළමයින් වයස අවුරුදු 12න් පස්සෙ වැඩිවියට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මේ වයස්වල ළමයින් තම ලිංගික තෘප්තිය සඳහා යොදාගැනීමක් දහර කාමුකත්වය නැතහොත් කෞමාර කාමය යටතේ සිදුවෙනවා.
ළමා ලිංගික අපරාධකරුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ වින්දිතයින්ගේ පවුලේ අය, මිතුරන් හෝ ඥාතීන් වෙන්න පුළුවන්. ළමා ලිංගික ක්‍රියාකාරකම් වර්ග වෙනස් වන අතර, ළමයෙකු දෙස බැලීම හෝ දරුවෙකුගේ ඇඳුම් ගලවා ස්පර්ශ කිරීම ඇතුළත් වෙනවා. කෙසේ වෙතත්, ලිංගික ක්‍රියාවන්ට බොහෝවිට මුඛ සංසර්ගය හෝ දරුවාගේ හෝ වැරදිකරුගේ ලිංගික අවයව ස්පර්ශ කිරීම සහ දූෂණය කිරීමද ඇතුළත් වෙනවා. සැලකිල්ලක් නැති හෝ තනිකමක් දැනෙන දරුවන්ට ලිංගික අපයෝජනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව අධ්‍යයනවලින් පෙනී යනවා.
පරපීඩා කාමුකත්වය (Sadism) කියන්නෙ විශේෂයෙන් ලිංගික තෘප්තිය සඳහා අන් අයට වේදනාවක් ඇති කිරීමට ඇති ආශාව ලෙස අර්ථ දක්වන්න පුළුවන්. නැතහොත් අතිශයින් කුරිරුකමෙන් සතුටක් ලබාගැනීම ලෙස අර්ථ දක්වන්න පුළුවන්. පරපීඩා කාමුකයින් අන් අය දුක් විඳිනවා දැකීමෙන් හෝ අන් අයට දුක් දීමෙන් සතුටක් අත්විඳිනවා. පරපීඩා කාමුකයින් පුද්ගලයන් කෲරත්වය භුක්ති විඳින අතර අන් අය මත දුක් වේදනා ඇති කිරීමට අවස්ථා සොයනවා.
ළමා වියේදී හෝ ලිංගික වර්ධනයේ මුල් අවධියේදී ඇතිවන අහිතකර අත්දැකීම් පරපීඩක පෞරුෂයක් වර්ධනය වීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස මනෝවිද්‍යාත්මකව පිළිගැනෙනවා. ඉගෙනීම තුළින්ද පුද්ගලයෙකු තුළ පරපීඩක පෞරුෂයක් වර්ධනය විය හැකි බව නිරීක්ෂණය වී තිබෙනවා.
ස්ත්‍රී දූෂකයන් බොහෝවිට කාන්තාවන් දකින්නේ පිරිමින්ගේ ලිංගික අවශ්‍යතා සපුරාලීමට සිටින ලිංගික වස්තුවක් ලෙස. ස්ත්‍රී දූෂකයන් වර්ග කිහිපයක් ඉන්නවා. මත්ද්‍රව්‍ය මද්‍යසාරවලට ඇබ්බැහි වූ පුද්ගලයාගේ ආත්ම සංයමය නැතිවීම නිසා ලිංගික තෘප්තිය සඳහා ඕනෑම අවස්ථාවක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ලංකාවෙ වාර්තා වෙලා තියෙන බොහෝ ස්ත්‍රී දූෂණ සහ දූෂණයෙන් පසුව ඝාතනය කිරීම් වෙලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතයෙන් පස්සෙ. මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය පුද්ගලයෙකුගේ සිහිය සම්පූර්ණයෙන්ම විකල් කරනවා. සිහි විකල් වූ පුද්ගලයෙකුට ලිංගික ආශාවන් ඉස්මතු වෙනවා. තමා කරන්නට යන අපරාධයේ බරපතළකම සහ ඉන්පසුව නෛතික වශයෙන් තමාට විඳින්නට සිදුවන දඬුවම් පිළිබඳව ඔවුන්ට කිසි සවිඥානික බවක් නැහැ.
කෙසේ වෙතත් ලිංගික හිංසනය සමාව දිය නොහැකි ප්රචණ්ඩ ක්‍රියාවක් සහ සාපරාධී වරදක්. මෙවැනි දූෂකයන්ට නිසි දඬුවම් නොලැබෙන විට නැවත වෙනත් ගොදුරක් සෙවීමට යොමුවෙනවා. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් මව්පියන් තම දරුවන් සම්බන්ධයෙන් අතිශය සැළකිළිමත් වීම අවශ්‍ය වෙනවා.