2022 ජුනි 05 වන ඉරිදා

කනත්තට යන්නත් ලේසි නෑ ෆෝමලීන් - පෙට්ටි - මල් හොඳටම ගණන් ගිහින්

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 304

මේ පවතින්නේ ජීවිතේ අමාරුම කාල වකවානුවකි. අත්‍යවශය භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩවල මිල ඉතා ඉහළ අගයක් වෙද්දී බොහෝ භාණ්ඩවල හිඟයක් පවතී. ඒ අනුව මෙරට ජීවත් වන ජනතාව පත්ව සිටින්නේ ඉතා අසීරු තත්ත්වයකටය. මේ අතර ජීවත්ව සිටින මේ කාලයේදී පමණක් නොව සැනසීමෙන් මිය යන්නටවත් බැරි තත්ත්වයක් උදාවී ඇත. අද වනවිට අවමංගල්‍ය කටයුතු කරලීමට අපහසු උග්‍ර කාලවකවානුවට ලංකාව මුහුණ දී සිටී.

''මේ වනවිට ලංකාව තුළ කුඩා අවමංගල්‍ය ආයතනයේ සිට මහා පරිමාණයේ අවමංගල්‍ය ආයතන දක්වා පන්සීයකට අධික සංඛ්‍යාවක් දිවයින පුරා ව්‍යාප්තව පවතිනවා. මේ අවමංගල්‍ය සේවාවෙන් සපයනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවක්. නමුත් අද වනවිට මේ සේවාව නිසි පරිදි සිදුකරලීමට බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මේ තත්ත්වයට පත්වීමට හේතු කිහිපයක්ම බලපාලා තියෙනවා.'' යැයි සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

අවමංගල්‍ය සේවාවේදී මෘත ශරීරයට බෙහෙත් ගැල්වීම ප්‍රධාන අංගයකි. මෘත දේහයන් දින කිහිපයක් තබා ගැනීමට බෙහෙත් ගැල්වීම අනිවාර්යයෙන් කළ යුතු වේ. මීට මාස තුනකට පමණ පෙර ෆෝමලීන් ලීටර් තිහක මිල වූයේ රුපියල් නවදාස් පන්සීයකි. නමුත් එහි වර්තමාන මිල වන්නේ රුපියල් දහසය දහස් පන්සීයකි. බෙහෙත් ගැල්වීමේදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන අවමංගල්‍ය ආයතන කිහිපයක් හැරුණු විට අනෙකුත් බොහෝ අවමංගල්‍ය සේවා ආයතන භාවිත කරනු ලබන්නේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් මෙරට ගෙන්වන ලද ෆෝමලීන් වර්ගයකි. පසුගිය කාලයේදී ඒවායේ හිඟයක් පැවතිය අතර මේ වනවිට එම හිඟය යම් මට්ටමකින් අඩුවක් සිදුවුවද එහි මිලක් ඉතා ඉහළ අගයක් ගනී. කුඩා අවමංගල්‍ය ව්‍යාපාරිකයන් එය පරිහරණය කළද කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු මේ සඳහා විවිධ රටවලින් ගෙන්වන ලද විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරති. මේ නිසාම මියගිය සිරුර දින කිහිපයක් තබා ගැනීමට යොදන මෙම රසායනික ද්‍රව්‍යවල මිල වැඩිවීමක් සමඟ ඒ සම්බන්ධව සියලු ක්‍රියාදාමයන්වල මිල ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.

වඩු කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයන් ලෙසින් මොරටුව හැඳින්විය හැකිය. මෘත ශරීර බහාලන පෙට්ටි බොහෝ විට සකස් කරනු ලබන්නේ මොරටු පුරවරයෙනි. එම නගරයේ සිට දිනපතා බොහෝ පළාත්වලට මිනී පෙට්ටි ප්‍රවාහනය වේ. නමුත් අද එම කර්මාන්තයටද උදාවී ඇත්තේ ඉතා ගැටලු සහගත තත්ත්වයකි.

''අද ලී මිල ගණන් ඉතා ඉහළ අගයක් ගන්නවා. ඒ වාගේම ලී සොයා ගැනීමට නොහැකි වීමත්, ඒවා ප්‍රවාහනය කිරීමට ඉන්ධන නොමැතිකම නිසාත් එම කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණපාලා තියෙනවා. මීට මාස කිහිපයකට පෙර රුපියල් පන්දහසක් වුණ මිනී පෙට්ටියක වර්තමාන මිල වන්නේ රුපියල් දස දහසක්. ඇතැමුන් රබර් ලෑල්ලෙන් මිනී පෙට්ටි හදනව කියලත් කියනවා. නමුත් රබර් ලීයෙන් පෙට්ටි නිර්මාණ කරන්නට බැහැ. තනි රබර් ලීය මිනී පෙට්ටියකට ශක්තිමත් වෙන්නේ නැහැ. එම නිසා මේ සඳහා වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ ඇල්බීසියා, රුක්අත්තන සහ මැලේසියාවෙන් ගෙන්වනු ලබන ලී වර්ගයි. ඊට අමතරව මහෝගනී, බුරුත වැනි ලී වර්ගවලින්ද දේහයක් බහාලන පෙට්ටි නිර්මාණය කරන අතර ඒවා මිලෙන් ඉතා අධිකයි. පෙට්ටියක් සෑදීමෙන් එය අවසන් වන්නේ නැහැ. එය කුෂන් කළ යුතු වෙනවා. පොලිෂ් කළ යුතු වෙනවා. විවිධ කොටස් සවිකළ යුතු වෙනවා. මේ සියල්ලෙම මිල මේ වනවිටත් ඉතා අධික අගයක් ගන්නවා. පෙට්ටිවලට සවිකරන සැටින් රෙද්ද පවා ගෙන්වනු ලබන්නේ පිටරටින්. ඒවායේ හිඟයක්ද අද පවතිනවා.'' යැයිද මහින්ද පනාගොඩ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

අවමංගල්‍යයකදී පමණක් නොව මංගල්‍ය අවස්ථාවකදීත් මල්වලට හිමිවන්නේ සුවිශේෂ අවස්ථාවකි. මේ වනවිට අවමංගල්‍ය අවස්ථාවකදී මල් වඩම් සඳහා මූලික තැනක් ලැබුවද අද වනවිට මල්වඩම්වල මිල ඉතා අධිකය. මල්වල හිඟතාවය අද ඊයෙ ඇතිවූ තත්ත්වයක් නොවේ. මීට අවුරුද්දකට පමණ පෙර පොහොර ආනයනය කිරීම රජය විසින් නැවැත්වීමත් සමඟ මල්වල හිඟවීම ආරම්භ වුණි. එළවළු, කුඹුරු, පළතුරු සඳහා රසායනික පොහොර යෙදීම සුදුසු නැති බව පවසමින් රජය විසින් පොහොර ගෙන්වීම නැවැත්වූ අතර එය මල්පැළ සඳහාද තහනම් කිරීම ප්‍රායෝගික වන්නේ නැත. නමුත් සිදුවූයේ මල්ගස් සඳහාද රසායනික පොහොර යෙදීම නතර කිරීමට සිදුවීමය. ටික කාලයකින්ම මල්පැලවලින් නිසි, නිරෝගී මල් හටගත්තේ නැත. ඕකිඩ්, ඇන්තූරියම් වැනි මල් විදෙස් රටවලට ආනයනය කළද රසායනික පොහොර යෙදීම නතරවීමත් සමඟ ඒ සියලු කාර්මාන්තකරුවන්ට සිදුවූයේ තම ව්‍යාපාර කටයුතු නතර කරලීමය. අද වනවිට විදෙස් රටවල්වලට මල් සැපයූ බොහෝ ව්‍යාපාරකයන් තම ව්‍යාපාරික කටයුතු අතහැර දමා අවසන්ය. මල්වර්ග වැඩිපුර වැවෙන දියතලාව, බණ්ඩාරවෙල, බදුල්ල, නුවරඑළිය වැනි උඩරට පළාත්වල බොහෝ දෙනා ස්වයං රුකියාවක් ලෙසින් අක්කර ගණනින් විශාල ලෙසින් වගා කළද අද සිදුව ඇත්තේ ඒ සියල්ලම පාඩු ලබන කර්මාන්තයක් බවට පත්වීමය. මල්වලට යොදන රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් මල්වල නිසි පෙනුම සහ ප්‍රමාණය නොමැතිවීමත් නිසා එම කර්මාන්තය අද වනවිට අඩාල වෙමින් පවතී. අද වනවිට මෙම කර්මාන්තය කඩා වැටීමට ඇතිවූ ප්‍රබල හේතුවක් වන්නේ උඩරට ප්‍රදේශයේ වගාකරන මෙම මල්වර්ග දිවයින පුරා ප්‍රවාහනය කිරීමට ඉන්ධන නොමැතිකමයි. මෙම හේතූන් නිසා අවමංගල්‍ය කටයුතු සඳහා අද වනවිට මල්වර්ග නොමැති තත්ත්වයක් උද්ගත වී ඇත.

''ගෑස් හිඟයත් අවමංගල්‍ය කටයුතුවලට ප්‍රබල ලෙසින් බලපාන කරුණක් වෙනවා. ඇතැම් ආදාහනාගාරවල ගෑස් නොමැති තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. එහෙම වුණාම ඔවුන්ට වෙනත් ආදාහනාගාරවලට මාරුකරන්නට හෝ මෘතදේහ භූමිදාන කරලීමට සිදුවෙනවා. ඇතැම් මෘත දේහයන් ආදාහන කරලීමට කාල වේලාවක් වෙන්කරලීමෙන් පසුව ගෑස් නොමැතිකම නිසාම ඒවා තව දිනක් හෝ දෙදිනක් නැවත ආදාහනාගාරයේ තබා ගැනීමට සිදුවුණ අවස්ථාද තිබෙනවා. ගෑස් හිඟය ආදාහනාගාරවලට ප්‍රබල ගැටලුවක්. ඒක විශාල ලෙසින් අපේ කර්මාන්තය බලපාලා තිබෙනවා. අද වනවිට ඇතැම් ආදාහනාගාර ගෑස් හිඟය හේතුවෙන් වසා දැමීමේ තත්ත්වයට පත්වෙලා තියෙනවා.'' යැයිද පනාගොඩ මහතා කියයි.

මීට අවුරුදු දෙකකට පෙර සිටම අවමංගල්‍ය රථ මෙරටට ගෙන්වීම නතර කොට ඇත. ඒ අනුව අද ඇතැම් මල්ශාලාවල අවමංගල්‍ය රථවල හිඟයක් පවතී. ඇතැම් රථ මේ වනවිට අබලන් වී ඇත. ඒවා පරිහරණයට ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී. රථවාහන ආනයනය කිරීම නතර කළදා පටන් අද වනතුරු අවමංගල්‍ය රථවාහන මෙරට ගෙන්වා නැත. අතීතයේ මෘත දේහයන් කනත්ත වෙත රැගෙන ගියේ මිනිසුන්ගේ කරමතිනි. ඈත අතීතයේදී කරත්ත මගින්ද මෘත දේහයක් රුගෙන ගොස් ඇත. නමුත් වර්තමානයේදී අවමංගල්‍ය රථයක මෘත දේහයක් රුගෙන යාමට බැරි තත්ත්වයක් උදා වී තිබේ. එයට රථවාහනවල හිඟය මෙන්ම පවතින ඉන්ධන ගැටලුවද ප්‍රබල ලෙසින් බලපා ඇත. පෞද්ගලික රථවාහන මෘත දේහයන් රුගෙන යාමට කවුරුත් කැමැති වන්නේ නැත. නමුත් අවමංගල්‍ය රථවාහන සම්බන්ධයෙන් පවතින තත්ත්වය හේතුවෙන් අනාගතයේදී සාමාන්‍ය රථයක වුවද මෘත දේහයක් රුගෙන යාමට ඉඩ ඇත. 

වර්තමානයේදී පවතින ඉන්ධන ගැටලුවද අවමංගල්‍ය කටයුතුවලට ප්‍රබල බාධාවකි. මෘත දේහය අදාළ ස්ථානවලට රුගෙන යාමට නොහැකි තත්ත්වයක්ද පවතී. විශේෂයෙන් පිට පළාත්වලට මෘත දේහයක් රුගෙන යාමේදී මෙය ප්‍රබල ගැටලුවකි. මේ සියලු කාරණා හේතුවෙන් මේ වනවිට අවමංගල්‍ය කටයුතු සේවාව ඉතා දුෂ්කර කර්මාන්තයක් බවට පත්වී ඇත.

■  දිශානි