2022 ජුනි 05 වන ඉරිදා

කුඩ ඉහළාගෙන විභාගය ලියූ ගම්පහ ළමයි

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 63

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පැවැත්වූ විභාග අතරින් අභියෝග සහ දුෂ්කරතා බොහෝමයකට මුහුණ දුන් විභාගය ලෙසින් පසුගියදා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හැඳින්විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කර තිබිණි.

අභියෝග රුසකට මුහුණ දුන් විභාග අපේක්ෂකයන්ට දේශගුණික ආපදා තත්ත්වයන්ටද මුහුණදීමට සිදුවුණි. මේ අතරේ පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇතැම් විභාග ශාලාවල සිසු සිසුවියන්ට සිදුවූයේ නියමිත වේලාව පසුකොට විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමටය. පැවැති ගංවතුර තත්ත්වයන් හමුවේ පුත්තලමේ ඇතැම් විභාග ශාලාවල ජලය පිරී ඉතිරී යාමත් සමඟ කඩිනමින් යුද හමුදා නිලධාරීන් එක්ව වෙනත් ස්ථානයක විභාග ශාලාවක් සකස් කොට විභාග අපේක්ෂකයන් ඇතුළු අදාළ ගුරු මණ්ඩලය කඩිනමින් එම ස්ථානයට රුගෙන ගියහ. නියමිත වේලාවට එම සිසු සිසුවියන්ට විභාග කටයුතු ආරම්භ කිරීමට නොහැකි වුවද අදාළ කාලසීමාව ලබාදීමට ගුරු මණ්ඩලය කටයුතු කර තිබුණි.

මේ අතර පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ එක්තරා පාසලක සිසු සිසුවියන් විභාග ප්‍රශ්න පත්‍රයට කුඩ ඉහළාගෙන පිළිතුරු ලියූ ඡායාරෑප සංසරණය විය. බොහෝ දෙනකුගේ අදහස වූයේ මෙය ඉතා දුෂ්කර පළාතක පිහිටා ඇති පාසලක සිදුවීමක් බවය. නමුත් මෙය වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක් වූ ගම්පහ තක්ෂිලා මහා විදුහලෙනි. පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ගම්පහ තක්ෂිලා මහා විදුහලේ විභාගයට පෙනී සිටි දරුවන්ට සිදුවූයේ එක් අතකින් තම කුඩය ඉහළා සිටීමටත්, අනෙක් අතින් විභාගය ලිවීමටත්ය. ගම්පහ තක්ෂිලාව යනු ගම්පහ කලාපයේ ඉතා ජනප්‍රිය පාසලකි. තම දරුවන් මෙම පාසලට ඇතුළත් කර ගැනීමට බොහෝ මහන්සියක් දරන මිශ්‍ර පාසලකි. එවැනි පාසලක දරුවන්ට සිදුවූයේ හිතේ නිදහසින් විභාගයට මුහුණ දීමට නොව පන්ති කාමර ඇතුළත වැටෙන වර්ෂාවෙන් තම පිළිතුරු පත්‍රය පරිස්සම් කිරීමට දැඩි වෙහෙසක් දැරීමටය. ඇතැම් ගුරුවරියක් වර්ෂාවෙන් දරුවන් බේරා ගැනීමට යම් පරිශ්‍රමයක් දැරුවද තවත් නිලධාරීන් පිරිසක් මෙම සිදුවීම තම ජංගම දුරකථනයෙන් ඡායාරෑප ගතකොට එය සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමට කටයුතු කර තිබිණි. එවැනි කටයුත්තක් නොකොට ඉතා කඩිනමින් එක්ව මෙම දරුවන්ට ආරක්ෂාකාරී ස්ථානයකට යොමුකොට දරුවන්ට විභාගයට මුහුණදීමට කටයුතු සූදානම් කළේ නම් එය දරුවන්ගේ මානසිකත්වයට මහා රුකුලක් වනු ඇත. නමුත් එවැනි නිලධාරීන් නොසිටි විභාග ශාලාවේ සිටි දරුවන්ට සිදුවූයේ කුඩ ඉහළාගෙන තම විභාගය ලිවීමටය.

''මෙම පාසලේ දරුවන් ගැන අපි වෙනම පරීක්ෂා කරල බලනවා. ඔවුන්ගේ පිළිතුරු පත්‍ර අපි වෙනම ගෙනත් බලනවා. ඒ අනුව මේ දරුවන්ට වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් සොයාබැලීමක් කරනවා. මෙහිදී විභාග ශාලාධිපතිගේ කාර්යභාරය සම්බන්ධවත් පැනයක් මතුව තිබෙනවා. ළමයින් තෙමි තෙමී විභාගෙ ලියන විට ඒවා ෆොටෝ අරගෙන සමාජ ජාලා ගත කිරීමට වඩා දරුවන් කඩිනමින් නොතෙමෙන ස්ථානයකට ස්ථානගතකොට විභාගය ලිවීමට කටයුතු සැලැස්වීමයි ඔහුගේ රාජකාරිය වන්නේ. මේ අනුව විභාග ශාලාධිපති රාජකාරි වශයෙන් ළදරුවන් විදිහටයි කටයුතු කරල තියෙන්නේ. මෙහිදී විදුහල්පතිනිය නිසි ලෙස ශාලා ටික විභාගයට ලබාදීලා නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් කරුණු සොයාබලා ඉතා ඉක්මනින් විනය පියවර ගැනීමට උපදෙස් ලැබී තිබෙනවා.''

යැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණි.

ගම්පහ කලාපයේ විභාග ශාලාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය නිසි පියවර නිසි මොහොතේදී නොගැනීමෙන් එම දරුවන්ට බාධක මැද තම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිමට සිදුවිය. නමුත් පුත්තලම ශාන්ත ඇන්ඩ_ මධ්‍ය මහා විදුහලද පසුගියදා දිනෙක මෙවැනිම ආපදා තත්ත්වයකට මුහුණ දුන්නේය. ඒ පැවැති ධාරානිපාත වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙනි. විභාග ශාලාධිපති ඇතුළු නිලධාරීන් තම ජංගම දුරකථනයෙන් ඡායාරෑප ගැනීම පසෙකලා කඩිනමින් එම දරුවන්ට විභාගය ලිවීමට පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගත්හ. ඒ අනුව ගංවතුරින් යටවූ විභාග ශාලා වෙනත් ආරක්ෂාකාරී ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කෙරුණේ හමුදා නිලධාරීන්ගෙත් සහයෝගය සහ අවශ්‍ය නිසි උපදෙස්ද සමඟිනි. මහ ධාරානිපාත වර්ෂාවේ, මහ ගංවතුර නොසලකා හමුදා නිලධාරීහු තම කරමතින් පුටු මේස පමණක් නොව පාසල් දරුවන්ද ආරක්ෂාකාරීව අලුතින් ස්ථාපිත කරන ලද විභාග ශාලාවට රුගෙන ගියහ. පැයක් පමණ කාලයක් මේ සඳහා වැය වුවද දරුවන්ට කාලය සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකොට නිසි කාලය පිළිතුරු ලිවීම සඳහාද ලබාදීමට විභාග ශාලාධිපති ඇතුළු නිලධාරීහු පියවර ගත්හ. මේ සඳහා සහය හා උපදෙස් ලබාදුන් හමුදා නිලධාරීන් ඇතුළු නිලධාරීන් අගේ කළ යුතුය. එහෙත් ගම්පහ කලාපයේ කුඩ ඉහළාගෙන විභාගය ලියූ දරුවන්ට සිදුවූ අසීරු තත්ත්වය මග හැරවීමට කටයුතු නොකළ අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගත යුතුය.

මේ අනුව විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මත මෙම ශාලාව, විභාග ශාලාවක් ලෙස තෝරා ගැනීමත්, වැසි සහිත අවස්ථාවක ක්ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත්, විභාග දෙපාර්තමේන්තුවට මේ තත්ත්වය වාර්තා කර උපදෙස් නොගැනීමත් යන කරුණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකෙරෙයි. මතුවට මෙවැනි අවස්ථා ඇති නොවීමට සුදුසු පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් විභාග කොමසාරිස්තුමන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර මේ වනවිට විදුහල්පති, ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ගෙන් වාර්තා කැඳවා ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00