2022 ජුනි 05 වන ඉරිදා

අපේ පිරිපහදුව දුවවන සයිබීරියන් ලයිට්

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 62

පසුගිය මාර්තු 20  සිට මාස දෙකකට අධික කාලයක් වසා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීමට පියවර ගැනුණි. ඒ සඳහා අවශ්‍ය බොරතෙල් රැගෙන ආ නැවෙන් පසුගිය27  වැනිදා බොරතෙල් ගොඩබෑම ආරම්භ කෙරුණු හෙයිනි. සපුගස්කන්ද වසා දැමුණේ ඊට අවශ්‍ය බොරතෙල් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වූ බැවිනි. සති ගණනාවක් තිස්සේ කොළඹ වරායේ නවතා තිබූ එම  නෞකාවේ අඩංගු ටොන් 90,000 ක බොරතෙල් සඳහා ලංකාවට ඩොලර් මිලියන 72.6 ක මුදලක් ගෙවීමට සිදු වූ බව වාර්තා විය. තමන් බොර තෙල් සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීම සඳහා රුසියාව ඇතුළු රටවල් ගණනාවක් සමඟ සාකච්ඡා කළ බව බලශක්ති ඇමැතිවරයා මාධ්‍යයට සඳහන් කර තිබිණි. මෙම බොරතෙල් තොගය ඇණවුම් කර ඇත්තේ ඩුබායිහි පිහිටි කොරල් එනජි නමැති සමාගම හරහාය. ඒවා නැව්ගත කර ඇත්තේ ණය පදනමක් යටතේය. මීළඟ නැව්ගත කිරීම සඳහා වන ඇණවුමද එම සමාගම හරහා සිදු කිරීමට නියමිත බවද බලශක්ති අමාත්‍යවරයා අනාවරණය කළේය. සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉදිරි සති දෙක ඇතුළත තවත් බොරතෙල් තොගයක් අවශ්‍ය වේ.

රුසියානු තෙල් සඳහා සම්බාධක පැනවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ පසුගිය බදාදා වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පැවතියේ ඇමෙරිකානු  ඩොලර් 124ක් වැනි ඉහළ අගයකය.. ආසියාවේ අනෙකුත් රටවල් මෙන්ම, ශ්‍රී ලංකාවද ඉහළ යන බොරතෙල් මිල හේතුවෙන් දිගුකාලීන බොරතෙල් ටෙන්ඩර් වෙත මාරු වීමට අපේක්ෂා කරයි. එහෙත් ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ සංචිත නොමැතිකම හේතුවෙන් එය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ජූනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන නැව්ගත කිරීම් සඳහා ගෙවීමට ඩොලර් මිලියන 568ක් පමණ අවශ්‍ය වනු ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි. 

නොකඩවා බොරතෙල් ලැබෙන්නේ නම් මෙරට සමස්ත පෙට්‍රල් අවශ්‍යතාවෙන් 14%ක්ද  ඩීසල් අවශ්‍යතාවෙන් 19%ක්ද පිරිපහදුවෙන් සපයා ගත හැකිය. ඊට අමතරව ගුවන් යානා ඉන්ධන, භූමිතෙල්, දැවිතෙල් සහ නැප්තාද එහි නිපදවනු ලබයි.
පිරිපහදුවේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් පසු දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1000ක් පමණ නිපදවිය හැකි බව අමාත්‍යවරයා පවසයි. කෙසේ වෙතත් මෙවර ගෙනැවිත් ඇත්තේ අලුත් බොරතෙල් විශේෂයක් බැවින් නිෂ්චිත වශයෙන් කොපමණ ඩීසල් ප්‍රමාණයක් නිපදවිය හැකිද යන්න තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය. මෙම බොරතෙල් විශේෂය සයිබීරියානු සැහැල්ලු (Siberian Light) බොරතෙල් නමින් හැඳින්වෙන බොරතෙල් වර්ගයකි. ඒවා ආනයනය කරන්නේ රුසියාවෙනි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් පනවා ඇති  සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික විරෝධය නොතකා බොරතෙල්, ගල් අඟුරු, ඩීසල් සහ පෙට්‍රල් සෘජු සැපයුම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව හා රුසියාව අතර සාකච්ඡා පැවැත්වෙන බවද දැනගන්නට ඇත. රුසියානු බොරතෙල් දැනටමත් එක්සත් ජනපද සම්බාධකයට යටත්ව තිබේ. රුසියානු තෙල් සෘජුවම ශ්‍රී ලංකාවට සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන මෙන් බලශක්ති අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයාගෙන් නිල ඉල්ලීමක්ද කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවට රුසියාවෙන් සයිබීරියන් ලයිට් බොරතෙල් ලබා ගැනීමට සිදුවූයේ තෙල් ටෙන්ඩර් සඳහා ලංසු තැබීමට පවා කිසිදු සමාගමක්  ඉදිරිපත් නොවූ  පසුබිමක් තුළය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනටමත් ඩොලර් මිලියන 735 ක හිඟ මුදලක් සැපයුම්කරුවන්ට ගෙවා තිබේ. සපුගස්කන්ද පිරිපහදුවට සකස් කළ හැක්කේ සැහැල්ලු බොරතෙල් පමණි. ඒ සඳහා මනාව ගැලපෙන්නේ ඉරානයේ නිපදවන ඉරාන ලයිට් බොරතෙල් වර්ගයයි. සයිබීරියානු ලයිට් බොරතෙල් ඒ හා සමාන තත්ත්වයක නොපවතී. එහෙත් වෙනත් කිසිදු සැපයුම්කරුවකු ණය පදනමින් තෙල් ලබා දීමට ඉදිරිපත් නොවීම මත සයිබීරියානු ලයිට් බොරතෙල් ආනයනය කිරීමට සිදුවී තිබේ. ඒ අනුව පෙට්‍රල්, භූමිතෙල් සහ ඩීසල් වැනි  ඉන්ධන අඩුවශයෙන් හා දැවිතෙල් වැඩි ප්‍රමාණයක් එමගින් නිපදවිය හැකිය. 

පසුගියදා ගොඩබාන ලද සයිබීරියානු ලයිට් බොරතෙල් තොගය අවසන් වීමට පෙර තවත් බොරතෙල් නැවක් ලංකාවට ගෙන්වා ගත යුතුය. තෙල් සම්බාධක හා යුක්රේන ගැටුම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීම පිළිබඳ සාකච්ඡා කිරීමට යුරෝපීය සංගමයේ නායකයන් පසුගිය සඳුදා රුස්වී තිබේ. නව සම්බාධක පැනවුවහොත් අපට රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට ඇති හැකියාවද නැතිවී යාමට ඉඩ ඇත. සම්බාධක හේතුවෙන් රුසියාව බෙන්ච්මාක් මිල දර්ශකයට වඩා අඩු මිලකට විශාල වට්ටම් සහිතව තම තෙල් අලෙවි කිරීමට පියවර ගත්තේය.

රුසියාව අපනයනය කරන බොරතෙල් වර්ග දෙකකි. එකක් සයිබීරියානු ලයිට් බොරතෙල් වන අතර අනෙක් වර්ගය යූරල් ලයිට් බොරතෙල්ය. ඉන් වැඩි අගයක් ගන්නේ යූරල් ලයිට් බොරතෙල්ය. එහි සල්ෆර් අගය ඉහළය. ගෝලීය වෙළෙඳපොළේ  වැඩි මිලකට අලෙවි වන්නේ යූරල් ලයිට් බොරතෙල් වර්ගයයි. එහි ඝනත්වය: 35.10° කි. සල්ෆර් අන්තර්ගතය: 0.57%කි. එය ලොව වැඩිම ඉල්ලුමක් ඇති බ්‍රෙන්ට් සහ ඩබ්ලියු. ටී අයි. බොරතෙල්වලට සමානය. සයිබීරියානු ලයිට් බොරතෙල්වල ඝනත්වය 37.8° කි. සල්ෆර් අන්තර්ගතය 0.42% කි. සයිබීරියානු ලයිට් රුසියාවේ කළු මුහුදේ නොවොරොසිස්ක් වරාය හරහා අපනයනය කරනු ලබන සැහැල්ලු තෙල් ශ්‍රේණියකි. එම තෙල්වර්ගය නිපදවනු ලබන්නේ රොසෙනෙෆ්ට්, ලුක්ඔයිල්, සර්ගට්නෙෆ්ටෙ ගෑස් සහ ගෑස්ප්‍රොම්නෙස්ට් යන සමාගම් මගිනි.

■   ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00