2022 ජුනි 05 වන ඉරිදා

පාරිසරික නොබෙල් ත්‍යාගය ලද ශ්‍රී ලංකාවේ ස්වභාවික විද්‍යාඥයා

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 57

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වභාවික විද්‍යාඥයෙක් සහ ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයන්  පිළිබඳ වර්ගීකරණ විද්‍යාඥයෙක් වන රොහාන් ඩේවිඩ් පෙතියාගොඩ දැන් පාරිසරික නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන ලීනියන් සම්මානයෙන් පිදුම් ලැබූ ලෝකයේ පරිසරවේදීන් 7 දෙනා අතරට එක්ව හමාරය.

ලෝකයේ පැරැණිතම ක්‍රියාකාරී ජීව විද්‍යාත්මක සමාජය වන ලන්ඩනයේ ලින්නියන් සංගමය විසින් වාර්ෂිකව ඕනෑම ක්ෂේත්‍රයක ජීව විද්‍යාඥයන් එක් අයකුට හෝ දෙදෙනකුට මෙම පදක්කම ප්‍රදානය කරනු ලබන්නේ විද්‍යාවට කරන ලද සේවය අගයමින් සංගමයේ ගෞරවය ප්‍රකාශ කිරීමටය. එය වාර්ෂික සංවත්සර රැස්වීමේදී සමාජයේ සභාපති විසින් පිරිනමනු ලබන අතර, ඔහු පදක්කම ප්‍රදානය කර ඇති පදනම සඳහන් කරයි. වර්ෂ 1888 දී වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකික විද්‍යාඥයා ආචාර්ය පෙතියාගොඩ වේ.

1955 නොවැම්බර් 19 වැනි දින කොළඹ උපත ලැබූ ඔහු සිය අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අරඹා පසුව 1977 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කිංග්ස් කොලේජ් වෙතින් මූලික විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධියද, 1980 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යා ආචාර්ය උපාධියද දිනා ඇත.

1981 සිට 1982 දක්වා පෙතියාගොඩ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ ඉංජිනේරුවකු ලෙසත්, 1982 සිට 1987 දක්වා එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසත් සේවය කළේය. 1984දී ඔහු සමගාමීව ශ්‍රී ලංකා ජල සම්පත් මණ්ඩලයේ සභාපති ලෙස පත්කරන ලදී. ඔහු 2002 සිට 2004 දක්වා ශ්‍රී ලංකා රජයට පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ උපදේශක ලෙස සේවය කර ඇති අතර 2005 දී IUCN විශේෂ පැවැත්ම පිළිබඳ කොමිසමේ නියෝජ්‍ය සභාපති ලෙස තේරී පත් විය.

2008 දී පෙතියාගොඩ සත්වෝද්‍යාන නාමකරණය සඳහා වූ ජාත්‍යන්තර භාරයේ භාරකාර මණ්ඩලයට තේරී පත් වූ අතර, මීට පෙර බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ ජෛව විවිධත්ව හවුල්කාරීත්වයේ ඇෂුවරන්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති ලෙස වසර හතරක කාලයක් සේවය කර ඇත. 2009දී ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය, ඔහු සිඩ්නිහි පර් යේෂණ සහායකයකු ලෙස පත්කරන ලද අතර, 2015 සිට 2018 දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේය.

දිවයිනේ මිරිදිය මත්ස්‍යයන් ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීම සඳහා 1987දී ඔහු රජයේ සේවයෙන් ඉල්ලා අස්විය. එය ඔහුගේ පළමු පොත වන මෙරට මිරිදිය-මත්ස්‍ය විශේෂ පිළිබඳ පොහොසත් විස්තරයක් සහිත “ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයෝ   (1990)* ප්‍රකාශයට පත්කිරීමට මහත් පිටිවහලක් විය. පෙතියාගොඩ මෙම පොතෙන් ලද ලාභය තවදුරටත් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව ගවේෂණය සඳහා 1990දී ඔහු විසින් පිහිටුවන ලද පදනමක් වන Wildlife Heritage Trust (WHT) වෙත  ආධාරයක් ලෙස යොමු කළේය. 1991 සහ 2012 අතර WHT ශ්‍රී ලංකාවේ කුරුල්ලන්ට ක්ෂේත්‍ර මාර්ගෝපදේශය වැනි ඉංග්‍රීසි සහ සිංහල යන දෙඅංශයෙන්ම ගවේෂණ සහ පර් යේෂණ පොත් 40ක් පමණ ප්‍රකාශයට පත්කරන ලදී.

පෙතියාගොඩ සිය WHT හි  සගයන් සමඟ එක්ව ශ්‍රී ලංකාවෙන් මත්ස්‍යයන්, උභයජීවීන්  සහ කටුස්සන් ඇතුළු නව පෘෂ්ඨවංශීන් විශේෂ 100ක් පමණ සොයා ගැනීමට කටයුතු කර ඇත. මේ පර් යේෂණ අතරතුරදී මිරිදිය කකුළුවන් විශේෂ 43කට අමතරව පසුගිය වසර 130 තුළ ශ්‍රී ලංකාවේ උභයජීවී විශේෂ 19ක් පමණ වඳ වී ගොස් ඇති බව සොයා ගැනීමට හැකි විය, එය ලෝකයේ ඉහළම ජාතික වඳවීමේ වාර්තාව ලෙස සැලකේ.

ඔහුට ගෞරවය පිණිස නව විශේෂ කිහිපයක්ම ඔහු නමින් නම් කර ඇත. ඒ අතරට   Dawkinsia rohani සහ Rasboroides rohani; මාළුන්ද Calotes Pethiyagodai නමැති මකර කටුස්සාද Onomastus Pethiyagodai පනින මකුළුවා සහ Dragonfly හෙවත් බත්කූරන් විශේෂයක් වන    Macromidia donaldi Pethiyagodai ද ඒ අනුව ඔහුගේ නමින් වාර්තාගතව ඇත.

2020 නොවැම්බරයේදී, Zootaxa සඟරාවේ පළ වූ පත්‍රිකාවක, එම  ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායම, ශ්‍රී ලාංකික විද්‍යාඥ රොහාන් පෙතියාගොඩට ගෞරව පිණිස, කුඩා ආසියානු ගස් ගෙම්බන් වර්ගය නම් කරන ලදී. මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ඊසානදිග ඉන්දියාව සහ දකුණු චීනය හරහා විහිදෙන ‘රොහානික්සලස්’ කුලයට විශේෂ අටක් ඇතුළත් වේ. නව ගණයේ නම ඔවුන් නිර්මාණය කළ ආකාරය පැහැදිලි කරමින්, කතුවරුන් 2020 නොවැම්බර් 11 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ඔවුන්ගේ පිටු 55කින් යුත් පත්‍රිකාවේ මෙසේ ලියා ඇත, ‘ඔස්ට්‍රේලියානු කෞතුකාගාරයේ රොහාන් පෙතියාගොඩ විසින්  කළ විශාල වර්ගීකරණ දායකත්වය අගය කිරීම සඳහා මෙම කුලය ඔහු නමින් නම් කර ඇත. මෙම උභයජීවී කාණ්ඩයේ පොදු නම ‘රොහාන්ගේ ගස් ගෙම්බන්’ ලෙස වනු ඇතැයි ඔවුන් වැඩිදුරටත්  කියා තිබුණි. 

■  සුගත් පී. කුලතුංගආරච්චි