2022 ජුනි 05 වන ඉරිදා

කච්චතිවු යළි ඉන්දියාවට ගන්න දඟලන තමිල්නාඩු අයියලා

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 65

ශ්‍රී ලංකාවට අයත් කච්චතිවු දූපත යළි ඉන්දියාවට ලබාගැනීම සඳහා තමිල්නාඩු දේශපාලනඥයන් උත්සාහ කරන්නේ බොහෝ කාලයක සිටය. කච්චතිවු දූපත ඉන්දීය ධීවරයන්ගේ අවශ්‍යතා සඳහා යළි අත්පත්කර ගන්නා බව ඇතැම් තමිල්නාඩු දේශපාලනඥයන්ගේ දේශපාලන පොරොන්දුවක් බවටද පත්ව තිබිණි. පසුගියදා එය යළිත් කරළියට පැමිණියේ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ගේ ප්‍රකාශයක් හේතුවෙනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය 26 දින තමිල්නාඩුවේ චෙන්නායිහි පැවැති සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක උත්සවයට සහභාගී විය. එම අවස්ථාවේ උත්සව සභාව ඇමතූ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් දශක ගණනකට ඉහත ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිවු දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේය. 

අගමැතිවරයා තමිල්නාඩුවට පැමිණ සිටින මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් කිරීමට මා කැමතියි. තමිල්නාඩුවේ මුහුදුබඩ ප්‍රදේශවල සිටින ධීවර ජනතාවගේ ප්‍රධානතම ගැටලුවකට විසඳුමක් ලබාගත හැකි වන පරිදි කච්චතිවු දූපත නැවත පවරාගෙන ඔවුන්ගේ ධීවර අයිතිවාසිකම් යළි තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටින්නේ යැයි එහිදී ඔහු ප්‍රකාශ කළේය. එහෙත් එම අවස්ථාවේ ඔහුගේ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ. ශ්‍රී ලංකාව මේ වනවිට දුෂ්කර කාලයකට මුහුණ සිටින අතර සමීප මිතුරකු හා අසල්වැසියකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ, ඇතුළු අනෙකුත් ආධාර ලබා දීමට අප කටයුතු කළ යුතුයි.බොහෝ ඉන්දීය සංවිධාන සහ පුද්ගලයන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දී තිබෙනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ හැමදාම ඉන්නවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයට හා ආර්ථිකය ජයගැනීමට අපි සහය වෙනවා* යනුවෙනි  තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් පසුගිය දා ශ්‍රී ලංකාවට ඉන්දිය රුපියල් කෝටි 80 වටිනා සහල් ටොන් 40,000ක්, ඉන්දීය රුපියල් කෝටි 28ක් වටිනා ජීවිතාරක්ෂක ඖෂධ 137ක් සහ ඉන්දීය රුපියල් කෝටි 15ක් වටිනා කිරිපිටි කිලෝග්‍රෑම් 500ක්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට පියවර ගත්තේය. ඔහු අගමැති මෝදිගෙන් මෙම ඉල්ලීම කළේ ඊට දින කිහිපයකට පසුය. අගමැති මෝදි ස්ටාලින්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකොට ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට තමන් කටයුතු කරන්නේය යන්නෙන් පැහැදිලි වන්නේ ඔහු කච්චතිවු දූපත අත්පත් කර ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වන බවකි..

කච්චතිවු දූපත ඉන්දියාවේ රාමේස්වරමේ සිට කිලෝමීටර 17ක පමණ දුරින් හා කන්කසන්තුරයේ සිට කිලෝමීටර 90 පමණ දුරින් පිහිටි ශ්‍රී ලංකාවට අයත් අක්කර 285 ක් පමණ වන ජනාවාස රහිත දූපතකි. එය අතීතයේ ඉන්දියාවේ රාමනාද් රාජධානියට අයත්ව තිබූ බවට සැලකෙන අතර මෙම දූපත සම්බන්ධයෙන් දැනට හමු වී ඇති ඓතිහාසික තොරතුරු ක්‍රි. ව. 1609 වැනි අතීතයට දිව යන්නකි. ඒ අනුව මෙම දූපත සේතුපති නම් ඉන්දීය රාජකීය පවුලකට අයත්ව තිබූ බැව් පැවසේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ එහි පාලනය ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන දෙරටටම අයත්ව තිබිණි. එවක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති හෙයින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකටම කච්චතිවුවු දූපත පරිහරණය කිරීමට බාධාවක් නොවීය. එහෙයින් මෙම දූපත දෙරටේම ධීවරයන් විසින් භාවිතයට ගෙන තිබිණි. පානීය ජල බිඳුවක්වත් නොමැති මෙම දූපතට. ඉන්දියානු ධීවරයන් නිතර පැමිණි අතර, ඔවුහු තම දැල් වියලා ගැනීමට හා තම බෝට්ටු නවතා තැබීම සඳහාත් එය භාවිත කළහ. ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප වූ පැරැණි කතෝලික දේවස්ථානයක් එහි පැවැති හෙයින් සෑම වසරකම මාර්තු මස අවසානයේදී සතියක් පුරා පැවැත්වෙන පල්ලියේ මංගල්‍ය සඳහා සඳහා දෙරටේ වන්දනාකරුවෝ එහි පැමිණියහ.
බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසු තත්ත්වය වෙනස් විය. දිවයිනේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් මතභේද ඇති විය. කච්චතිවු දූපතේ අයිතිය පිළිබඳව 1947 සිට පැවැති ජාත්‍යන්තර අර්බුදයට නැවතුම තැබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා ඉන්දිරා ගාන්ධි අගමැතිනිය විසින් 1974 ජූනි 26දා අත්සන් කළ ගිවිසුම තුළිනි. එවක ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට පවරා දුන්නාය. කච්චතිවු සහ ඒ අවට ප්‍රදේශවල මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයන් භුක්ති විඳින පාරම්පරික ධීවර අයිතිය ද එම ගිවිසුම මගින් ආරක්ෂා කර තිබිණි. එහෙත් 1976 දී මන්නාරම් බොක්ක සහ බෙංගාල බොක්ක සීමා කිරීමේ සමුද්‍ර මායිම් ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ඉන්දියාවට එහි අයිතිය හා ඉන්දියානු ධීවරයන්ට එම දූපත පරිහරණය කිරීමේ අයිතියට බාධා පැමිණුනි. මෙම ගිවිසුම් දෙක තම කර්මාන්තයට දැඩි පහරක් එල්ල කර ඇති බව තමිල්නාඩුවේ ධීවරයෝ ප්‍රකාශ කළහ. එතැන් සිට ඉන්දීය ධීවරයෝ විටින් විට කච්චතිවු දූපත ඉන්දියාවට පවරා ගන්නා ලෙස තමිල්නාඩු රජයෙන් ඉල්ලීම් කළෝය. ධීවර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට හා එම කර්මාන්තය සඳහා එය අතරමැදි දූපතක් ලෙස භාවිත කිරීම තම කර්මාන්තය සඳහා විශාල පහසුවක් වන බව ඔවුහු පෙන්වා දුන්හ.

එවකට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාව සිටි කරුණානිධි මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යා යුතු බවට ප්‍රකාශ කළ නමුදු එය ක්‍රියාවට නැංවුණේ නැත. 2008 දී තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේ 1974 සහ 1976 අත්සන් කළ ගිවිසුම් බලරහිත කරන ලෙසට ඉල්ලමිනි. 1974 දී ඇති කරගත් ගිවිසුමට අනුව එම දූපත අවට මසුන් මැරීමට අවසර ලබා දී තිබුණද 1976 දී ඇති කරගත් ගිවිසුම මඟින් එම අයිතිය අහෝසි කර ඇතැයි බවට හිටපු මහ ඇමැතිනිය චෝදනා කර තිබිණි. 

2013 මැයි 3 වැනි දින ඒකමතික යෝජනාවකින් තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව, 1974 දී ශ්‍රී ලංකාවට පවරා දුන් පෝක් බොක්කෙහි පිහිටි කච්චතිවු දිවයිනේ  පාලනය නැවත ලබා ගැනීමට ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට ප්‍රකාශ කළෝය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින්ට අඛණ්ඩ සිදුකරන ප්‍රහාර, වධහිංසා පැමිණවීම් සහ අත්අඩංගුවට ගැනීම් නැවැත්වීම සඳහා එම පියවර ගත යුතුය* යන්න ඔවුන්ගේ යෝජනාව විය. 2016 ජූනි මාසයේදී පැවති තමිල්නාඩු ප‍්‍රාන්ත සභා රුස්වීමේදී කච්චතිවු දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම සඳහා තමා කටයුතු කරන බවට හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් ප‍්‍රතිඥාවක් ලබා දී තිබූ අතර ඇය මියයන තුරුම කච්චතිවු දූපත අත්පත් කර ගැනීමේ අදහස ඉවත් කරගෙන නොතිබිණි.
කච්චතිවු දූපතේ අයිතිය ඉල්ලා සිටින අතර ඉන්දීය ධීවරයෝ අනවසරයෙන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීමටද පෙළඹී සිටිති. ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශය ආක්‍රමණය කොට මෙරට මත්ස්‍ය සම්පත් සූරාගෙන යෑම සම්බන්ධයෙන් පවතින ගැටලුවට තවමත් විසඳුම් ලැබී නොමැත. ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රා සාගර පතුලට හානි කරන හෙයින් අපේ රටේ මත්ස්‍ය සම්පත් විනාශ වන බවට මෙරට ධීවරයෝ චෝදනා කරති. එමෙන්ම ඔවුන් ශ්‍රී ලාංකික ධීවරයනට පහර දීම, ඔවුන්ගේ දැල් කපා දැමීම, ඔවුන්ගේ මත්ස්‍ය අස්වැන්න සොරා ගැනීම වැනි ක්‍රියා නිතර අසන්නට ලැබේ. පසුගිය කාලයේ උතුරේ  විවිධ උද්ඝෝෂණ පැන නැගුණේ ද මෙම අර්බුදයට විසඳුම් ඉල්ලමිනි. නාවික හමුදාව ඉන්දීය ධීවරයන් හා ඔවුන්ගේ බෝට්ටු අත්අඩංගුවට ගැනීමද නිරන්තරවම සිදුවේ. 

තමිල්නාඩු දේශපාලනඥයන් කච්චතිවු දූපත යළි ඉන්දියාවට ලබා ගන්නා ලෙසට ඉල්ලීම් කරනුයේ තම දේශපාලන පැවැත්ම සඳහා බව පැහැදිලිය. කලකට ඉහත ඉන්දියාවේ හින්දු පුවත්පත කියා තිබුණේ ඔවුන් රාමේෂ්වරම්, පුදුකෝට්ටෙයි සහ නාගපට්ටම් යන වෙරළබඩ ප්‍රදේශවල ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවටය. කච්චතිවු දූපත යළි ඉන්දියාවට ලබාගත හැකි වුවහොත් රාමේෂ්වරම් ධීවරයන්ට අමතර නාවික සැතපුම් හතක ප්‍රදේශයක් හිමිවෙනු ඇත. එහෙත්  ඉන්දීය ධීවරයන් ධීවර කටයුතු සඳහා නාවික සැතපුම් හතක ප්‍රදේශය තුළ පමණක් මසුන් මැරීමට කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය. එම දූපත ඉන්දියාවට හිමි වුවද ඔවුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ආක්‍රමණය කොට අපේ මත්ස්‍ය සම්පත් සූරා ගනු ඇත. අනවසර ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම වැළැක්වීම සඳහා තවමත් පැහැදිලි විසඳුමක් ලැබී නොමැත.

ඩෙකෑන් හෙරල්ඩ් වෙබ් අඩවියේ සඳහන් වන පරිදි කච්චතිවු දූපත සම්බන්ධයෙන් නම සඳහන් නොකළ ප්‍රකාශකයකු පවසා ඇත්තේ 1974 අත්සන් කළ ගිවිසුම වෙනස් කළ නොහැකි නමුදු එම ගිවිසුම අකුරටම ක්‍රියාත්මක කිරීමට ක්‍රම සහ විධි සොයමින් සිටින බවයි. කච්චතිවු ගිවිසුමේ 6 වැනි වගන්තියේ සඳහන් ආකාරයට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා අතර ශ්‍රී ලංකාව එයට එකඟ වන්නේ නම්, ගැටලුව පහසුවෙන් විසඳාගත හැකි බව ඔහු පෙන්වා දී තිබේ. 1974 ගිවිසුමේ 5 සහ 6 වගන්තිවලට අනුව ඉන්දීය ධීවරයන්ට සහ වන්දනාකරුවන්ට කච්චතිවු දූපත පරිහරණය කිරීමේ සහ ශ්‍රී ලංකා සහ ඉන්දියානු ධීවරයන්ට එම මුහුදු කලාපයේ මසුන් මැරීමේ අයිතිය තහවුරු කර තිබේ. කලාපයේ ශීඝ්‍රයෙන් වෙනස් වන භූ දේශපාලනික තත්ත්වයත් සමඟ, ශ්‍රී ලංකාව ඉන්දීය ධීවරයන්ගේ අයිතිවාසිකම් පිළිගනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

ස්ටාලින්ගේ ඉල්ලීමට අගමැති මෝදි ප්‍රතිචාරයක් නොදැක්වුවද තවමත් තමිල්නාඩු ප්‍රාන්තය තුළ වැඩි ජනප්‍රියතාවක් ලබා ගැනීමට නොහැකි වී ඇති භාරතීය ජනතා පක්ෂය, 2024 ලෝක් සභා මැතිවරණයට පෙර මෙම  දිගුකාලීන ගැටලුවට විසඳුමක් ලබා දෙනු ඇතැයිද, එතුළින් ඔවුන්ට දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකිවනු ඇතැයිද තමිල්නාඩු දේශපාලනඥයන් තුළ විශ්වාසයක් පවතී. දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත්තේ ඒ සඳහා කාලයක් ගතවනු ඇති බවයි. ඉන්දියාව ඉක්මන් වී ශ්‍රී ලංකාවට බල කරන බවට හැඟීමක් ඇති නොකළ යුතුවන අතර එය සෙමින් ඉටුකර ගැනීමට පියවර ගත යුතුය. එකිනෙකා තුළ විශ්වාසය ගොඩනඟමින් ශ්‍රී ලංකාව සමඟ සුහද විසඳුමකට එළඹිය යුතුය. යනුවෙන් ඔවුන් සඳහන් කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා