2022 ජුනි 05 වන ඉරිදා

දුප්පතාට රිද්දන ධනවතාට පවන් සලන බදු සංශෙෘ්ධන

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 82

රජය නව බදු සංශෝධන කිහිපයක් පසුගිය 31දා හඳුන්වා දුන්නේය. එම බදු සංශෝධනවලින් කොටසක් වහාම ක්‍රියාත්මක වන අතර තවත් කොටසක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වෙයි. ඇතැම් සංශෝධන ක්‍රියාත්මක වන්නේ 2023 වසරේ අප්‍රේල් මස 01දා සිටය. අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ක්‍රියාත්මක මෙම බදු වෙනස්කම් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

මෙම ආදායම් උපයා ගැනීම සඳහා දැනට පවතින පනත් පහක් සංශෝධනය කිරීමටද රජයට සිදුව තිබේ. 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත 2022 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිතය. එසේම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත, 1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනත හා 2003 වසරේ අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ද සංශෝධනය කිරීමට කටයුතු කරනු ඇත. මෙම පනත් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගියදා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මේ පනත් අතරින් රජයට විශාල වශයෙන් ආදායම් ලැබෙන්නේ එකතු කළ අගය මත බදු පනතට (වැට්) සිදු කළ සංශෝධන වලිනි. මෙතෙක් 8% ක්ව පැවැති වැට් බද්ද 12% දක්වා වැඩිවන අතර එයින් බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 6කට ආසන්න වෙයි.

එසේම මෙතෙක් 11.5% ක්ව පැවැති විදුලි සංදේශ බද්ද ද 15% දක්වා ඉහළ යනවා ඇත. මෙම සංශෝධන දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි බලගැන්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක කියයි.

මෙතෙක් කෙනකුගේ ආදායම් බදු ගෙවිය යුතු අවම ආදායම වාර්ෂිකව රුපියල් මිලියන 3 ක්ව පැවතියද එය රුපියල් මිලියන 1.8 දක්වා පහළ දමා තිබේ. මේ හේතුවෙන් විශාල අමතර ආදායමක් ලබාගැනීමට නියමිතය. බදු අය කළ හැකි ආදායම් මත බදු කාණ්ඩ රුපියල් මිලියන 3 සිට රුපියල් මිලියන 1.2 දක්වා අඩුකිරීම සමඟ එක් එක් බදු කාණ්ඩයට 4% සිට 32% දක්වා බදු අනුපාත පැනවෙනු ඇත. සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බද්ද අනිවාර්ය කිරීමට සහ පොලී සහ ලාභාංශ මත රඳවා තබාගැනීමේ බදු අවාසනාත්මක ගෙවීම් ලෙස සලකන අතර ජ්‍යෙෂ්ඨ පුරවැසි කණ්ඩායම සඳහා රුපියල් මිලියන 1.5 පොලී ආදායම් මත සහනය යළි සලකා බැලීමටද නියමිතය.

දේශීය ආදායම් බදු පනත, වැට් බදු පනත හා ඔට්ටු හා සූදු බදු පනත්වල සංශෝධන ලබන ඔක්තෝබර් මස 1දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශකවරයා අනාවරණය කළේය. එසේම එකතු කළ අගය මත බදු පනත හා ඔට්ටු හා සූදු බදු පනතට කළ සංශෝධන 2023 වසරේ අප්‍රේල් 1දා සිට බලාත්මක කෙරේ.

මේ හැර මෙයට පෙර ප්‍රදානය කර තිබූ බදු විරාම පහක් 2023 අප්‍රේල් මස 1දා සිට ඉවත් කිරීමටද නියමිත වේ. ඉදිකිරීම් කර්මාන්තයේදී පෙර භාවිත කළ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ සඳහා ලබා දී තිබූ වසර 10 ක්වූ බදු විරාමය ද, තෘතියික හෝ වෘත්තීය අධ්‍යාපනයෙන් පසු ඇරඹි ව්‍යාපාරවලට දී තිබූ වසර 5ක බදු සහනය මෙන්ම බෝට්ටු සහ නැව් නිෂ්පාදනය සඳහා දී තිබූ අවුරුද්දක බදු සහනය ද මෙයින් අහෝසි වී ඇත. එසේම සන්නිවේදන කුලුනු ඉදිකිරීම සඳහා ප්‍රදානය කර තිබූ වසර 5ක බදු සහනය ද ලබන අප්‍රේල් 1දා සිට ඉවත් කිරීම සිදු කෙරේ. මේ සමඟම වරායවල අක්වෙරළ ව්‍යාපාරවලට සම්බන්ධ භන්ධිත ගුදම් හෝ ගුදම් කුලියට දීම සඳහා මෙතෙක් දී තිබූ බදු විරාම සහනය ද අහෝසි කෙරේ

ඔක්තෝබර් මස 1දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔට්ටු හා සූදු ව්‍යාපාරවලට අය කරන දැනට රුපියල් මිලියන 200 ක්වූ බද්ද මිලියන 500 දක්වා ඉහළ නංවා තිබේ. සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බද්ද අනිවාර්ය කර ඇති අතර, පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන 3 සිට 1.2 දක්වා අඩුකර තිබෙන නමුත් එක් එක් බදු කාණ්ඩයට 4% සිට 32% දක්වා බදු අනුපාත හඳුන්වා දීමටද කටයුතු කෙරේ. විවිධ වෘත්තිකයන් සඳහා මසකට රුපියල් 10,000 ක් ඉක්මවන සේවා ගෙවීම් මත රඳවා ගැනීමේ බද්දක් පනවන අතර මෙයින් දැනට බදු නොගෙවන විවිධ වෘත්තිකයන් රුසක් ආවරණය වෙතැයි අපේක්ෂා කරයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ 2019 වසර අග භාගයේදී ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩුකිරීමට සහ එකතු කළ අගය මත බද්දේ (වැට්) හා පුද්ගල ආදායම් බද්දේ බදු පදනම සංශෝධනය කිරීමට රජය ගත් තීරණ නිසා රාජ්‍ය ආදායම පසුගිය සමයේදී විශාල ලෙස පහළ වැටී තිබුණු බවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය හා රාජ්‍ය ණය ඉහළ ගොස් තිබූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ 2014 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් කාලයේදී දිනකට රටේ ආදායම රුපියල් බිලියන 3.2 ක්වූ අතර වියදම බිලියන 4.9 ක්වූ බවය. මේ අනුව ඒ කාලයේදී රජයට සෑම දවසකට රුපියල් බිලියන 1.7ක ණයක් ගන්නට සිදුව තිබුණි. ඊට වසර 5කට පසු 2019 දී අපේ ආදායම දිනකට බිලියන 5කට ඉහළ ගියද ඒ කාලයේ රටේ වියදම දිනකට බිලියන 9.1 ක් වී තිබේ. ඒ නිසා 2019 දී දිනකට රුපියල් බිලියන 4.1 ක් ණයට ගන්නට සිදුව තිබූ බවද ඇමැතිවරයා පෙන්වා දී තිබිණි. මහ බැංකු දත්ත අනුව පසුගිය සමයේ දිගින් දිගටම අපේ ආදායම පහළ බැස තිබූ අතර, කොවිඩ් වසංගතය නිසා රට වසා දැමීම මෙන්ම ඒ නිසා බදු එකතු කිරීම අපහසු වීම සහ විවිධ අවස්ථාවල බදු කපා හැරීම ආදී කාරණා නිසා 2021 වසර වන විට රජයේ ආදායම දිනකට බිලියන 4 ක් සහ වියදම බිලියන 9.1 ක් වී ඇත. ඒ අනුව දිනකට බිලියන 5.6 ක් ණය ගන්නට සිදුව තිබිණ. දිනකට රජය කෝටි 400 ක් උපයා කෝටි 1000 ක් වැය කරන අතර දිනකට කෝටි 600 ක් ණය ගන්නට සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට විශාල වියදමක් දරණ අතර එම වියදම 2020 දී රාජ්‍ය ආදායමෙන් 86% ක් විය.ණය සහ පොලී ගෙවීමටද විශාල මුදලක් වැය වන අතර එම මුදල ද දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද පෙන්වා දුන් ඇමැතිවරයා ඒ නිසා මෙම යෝජිත ආකාරයට රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට අවශ්‍යව ඇති බවද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ මෙම සංශෝධන හේතුවෙන් ජීවන වියදම ඉහළ ගොස් දැනටමත් වැඩි වී ඇති උද්ධමන ප්‍රතිශතය ඉක්මනින්ම 50% ආසන්නයට ඉහළ යනු ඇති බවය. මෙයින් මේ වනවිට ජීවත්වීමේ අරගලයක නිරත වී සිටින ජනතාවගේ පීඩනය තවත් ඉහළ යන අතර අනාගතයේදී ජනතාවට දිනකට එක වේලක් හෝ ආහාර ගැනීමට අපහසු වනු ඇති බවද කියති. විදුලි සංදේශ බදු විශාල ලෙස වැඩි කිරීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ යොවුන් පරපුරට අත්‍යවශ්‍ය ජංගම දුරකථන හා අන්තර්ජාල කටයුතුවලට බාධා පැමිණෙන අතර ඒ අයගේ අධ්‍යාපනයට ද අහිතකර ලෙස බලපාන බව කියයි. එසේම විශ්‍රාමිකයන්ගේ තැන්පතුවලට ගෙවන පොලී අනුපාත ලිහිල් කිරීමට ඉඩ සැලසීමෙන් ඒ අයගේ වෛද්‍ය පහසුකම්වලටද බාධා සිදුවන අතර බෙහෙත් මිල 200% කට ඉහළ ගොස් ඇති සමයක මෙමගින් විශ්‍රාමිකයන්ගේ මරණ සංඛ්‍යාව ද ඉහළ යනු ඇතැයි ආර්ථිකවේදීහු පවසති. මෙම බද්ද දුප්පත් පොහොසත් සැමදෙනා මතම පැටවෙන නිසා දිළිඳු ජනකොටස මෙයින් නිදහස් කර ඇති හැකි අයට පමණක් බදු පැනවෙන ක්‍රමයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ඔවුහු පෙන්වා දෙති.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ ආණ්ඩුව බදු පිළිබඳ සමාලෝචනයක් කිරීමට පටන්ගෙන ඇත්තේ ප්‍රශ්නය උත්සන්න වූ පසුව බවයි. ඒ නිසා ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකි යැයි ඔහු කියයි. රෝගය බරපතළ වූ විට රෝගියා බේරාගන්න අතපය කපන්නට වෙයි. ඒත් අකැමැත්තෙන් හෝ එය කිරීමට වෛද්‍යවරයාට සිදුවීම නොවැළැක්විය හැකි බව ඔහු කියයි. දැන් සිදුව ඇත්තේ එය බව ඔහුගේ අදහසයි.

අපේ රටේ දිගටම සිදුවී ඇත්තේ හැකියාවට වැඩිය වියදම් කිරීමයි. මේ තත්ත්වය වළක්වා ගැනීමට කිසිවිටෙකත් පියවර ගෙන නැහැ. මෙය ඒ ඒ අවස්ථාවල කළ යුතුව තිබුණු දෙයක්. එහෙත් මෙතෙක් පත්වූ බොහෝ ආණ්ඩු එය මගහැරියා. ඒවාට දඬුවම තමා දැන් විඳින්න සිදුව ඇත්තේ. මෙලෙස වියදම වැඩිවීම රජයේ අයවැයට සහ විදේශ ගෙවුම් ශේෂයට ඉතාම අහිතකර ලෙස බලපානවා. මෙය වසරින් වසර උග්‍ර වෙනවා.

බොහෝ විට අපේ ආදායම අඩුයි. වියදම වැඩියි. මෙහිදී සිද්ධ වෙනවා ණය ගන්න. අපි දිගටම කළේ එයයි. අපි අමාරුවේ වැටිලා තියෙන්නේ දේශීය ආදායම වැඩිකර ගැනීමට උනන්දුවක් නොගෙන ණය මත යැපෙන්න යාම නිසයි. බදු සංශෝධනයට රජය වඩාත් උත්සාහ කළ යුතු වෙනවා. එහෙත් නොකරන්නේම එයයි. දෙපැත්ත තුලනය කිරීමට බදු සංශෝධනය වැදගත්. දැන් මේ ප්‍රමාද වෙලා හෝ කරන්න පටන්ගෙන ඇත්තේ එයයි. අපේ රටේ ඍජු බදු ආදායම අඩුයි. බදු ගෙවිය යුතු පුද්ගලයන් බදු ගෙවන්නේ නැහැ. එහෙත් ආණ්ඩුව මෙම දුර්වලතා මගහරවාගෙන පුද්ගල බදු ඉහළ නැංවීමට දක්වන උනන්දුව අඩුයි. ඔවුන් මෙයට අතගසන්නේ නැත්තේ එලෙස බදු නොගෙවා පැහැර හරින බොහෝ දෙනා ප්‍රබල දේශපාලනඥයන් වීමයි. ඒ වගේම ඔවුන්ට සම්බන්ධ දේශපාලන හිතවත්කම් ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද ඉන්නවා. ආණ්ඩුව මේ අයට අතගහන්න බයයි. ඇතැම් ව්‍යාපාරිකයන් එක් එක් දේශපාලන පක්ෂවලට විවිධ පැතිවලින් අනුග්‍රහය දක්වනවා. අරමුදල්වලට දායක වෙනවා. ඒ අය බදු දැලට කොටුකර ගැනීම දේශපාලනඥයන්ට අහිතකර වන නිසා ඒ අයට නිදැල්ලේ ඉන්න දෙනවා. බදු ගෙවිය යුතු අයගෙන් නිසි පරිදි බදු අයකර ගන්නවා නම් බදු ප්‍රතිශත ඉහළ නංවන්න අවශ්‍ය වන්නේ නැහැ. කුඩා මිනිහාට තමා ඍජු බදු ගෙවන්න වෙලා තියෙන්නේ. දේශපාලනඥයන් තම බලය යොදලා බදු ගෙවීම පැහැර හරිනවා.

ආණ්ඩුව උත්සාහ කරන්නේ ඍජු බදු අයකර ගැනීම පසෙකලා වක්‍ර බදු අයකර ගැනීමටයි. වක්‍ර බදු වෙනස් කරලා බදු ආදායම වැඩිකර ගන්න බලනවා. මෙවර උත්සාහ කර ඇත්තේද එයමයි. අනිත් අතට වක්‍ර බදු අයකර ගැනීමද පහසුයි. වැඩි මහන්සියක් නැතුව ආදායම් ලබාගැනීමට පුළුවන්. එයට හේතුව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල් පරිහරණය කරන විට නිතැතින්ම බදු ගෙවන්න සිදුවීමයි. එහෙත් මෙහිදී සිදුවන්නේ ජීවන වියදම ඉහළ යාමයි. උද්ධමනය ඉහළ ගොස් ජනතාව අමාරුවේ වැටීම සිදුවෙනවා. අපේ රටේ වක්‍ර බදු සංකීර්ණයි. බදු ඉහළ පහළ දැමීමද අසංවිධාන්මකයි. එක් එක් පුද්ගලයන්ගේ මුහුණු බලලා ඒ අයට වාසි ලැබෙන අයුරු බදු පැනවීම සිදුවෙනවා. පසුගිය කාලයේ එය සිදු වුණා. ඇතැම් අයට වාසි ගෙන දෙන අයුරු බදු වැඩිකර යළි අඩුකිරීම් පවා සිදුවෙලා තියෙන බව පෙනෙන්නට තිබෙනවා. වක්‍ර බදු ඉහළ දැමීම බඩු හිල වැඩිවීමට හේතු වෙනවා. එය ආයතනවලට ප්‍රධාන ලෙස බලපාන බව පෙනෙනවා. මේ නිසා ගැටලු පැන නගිනවා. වක්‍ර බදු අයකර ගැනීමේ මූලික දෝෂ තිබියදී පවා බදු ප්‍රතිශත ඉහළ දමනවා. තිබෙන බදු අයකර ගැනීමට දක්වන උනන්දුව මදි.

2020 වසරේදී විවිධ බදු වෙනස්කම් සිදුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ බදු ආදායම 1/3 කින් පහළ වැටුණා. එලෙස පහළ ගිය බදු ආදායම වැඩිකර ගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. වියදම වැඩිවීම ඊළඟ ගැටලුවයි. සාමාන්‍ය ජනතාවගේ පමණක් නොව ඉහළ සිට පහළට වියදම් කැපිය යුතුයි. එහෙත් අද සිදුවන්නේ දුප්පතාගේ වියදමට සීමා පනවලා ධනපතියාට - ප්‍රබලයාට රිසි සේ වියදම් කිරීමට අවස්ථාව දීමයි. බදු එකතු කිරීම ඉහළ නැංවීම මෙන්ම වියදම් කැපීමද සමාන්තරව යා යුතු වෙනවා. ජාතික බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අද කරන්නේ කෑලි කෑලි පූට්ටු කිරීමක්. එයින් ලැබෙන ප්‍රතිඵල අවමයි. තාවකාලිකයි.

රටේ උද්ධමනය ඉහළ යාමට හේතු දෙකක් බලපානවා. භාණ්ඩ හිඟය සහ විදේශ විනිමය ඉපයීම දුර්වල වීම නිසයි මෙය සිදුවන්නේ. බදු වැඩිවීම නිසාද භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනකාරී ස්වරෑපය උත්සන්න වෙනවා. දැන් සිදු කරන්නට යන බදු සංශෝධන නිසා අනාගතයේදී රටේ උද්ධමනය තවත් ඉහළ යා හැකියි. පසුගිය සමයේ කොවිඩ්-19 රෝග ගැටලුව නිසා රටේ නිෂ්පාදනය පහළ ගොස් භාණ්ඩ මිල වැඩි වුණා. දැන් වනවිට කොවිඩ් වසංගතය නැති තත්ත්වයට පත්වෙලා. එහෙත් රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. අලුතින් සිදු කරන බදු සංශෝධන නිසා මෙම මිල ඉහළ යාම තවත් වැඩිවෙලා උද්ධමනය ඉහළ ගොස් ජනතාව පීඩනයට පත්වන බව කිව යුතුයි. මේ ගැන බලධාරීන් අවධානය යොමු කිරීම වැදගත්.*

 යසවර්ධන රුද්රිගූ