2022 ජුනි 05 වන ඉරිදා

සැබෑ සිස්ටම් චේන්ජ් එකට චම්පිකගේ යෝජනා

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 59

වර්තමාන ආර්ථික දේශපාලන අර්බුදය හමුවේ විවිධ පාර්ශව සිය අදහස් සහ යෝජනා කරළියට ගෙන එති. දේශපාලන පක්ෂ සහ සංවිධාන ලෙසින් ගෙන එන යෝජනා සේම පෞද්ගලිකව ඉදිරිපත් කරනු ලබන යෝජනාද වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යනු අර්බුදයේ මුලසිටම එය විසඳීමට යෝජනා ඉදිරිපත් කළ අයෙකි. කුතුහලය දනවන දේශපාලන ගමනක නියුතු වී සිටින ඔහු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය යෝජනාවලියක් යැවීය. එසේම 43 වැනි සේනාංකය නම් සිය දේශපාලන සංවිධානය හරහාද යෝජනාවලියක් ජනගත කළේය. ඒ අනුවම එම යෝජනාව පිළිබඳව සේම ඔහුගේ වර්තමාන දේශපාලන භාවිතය පිළිබඳවත් සැකෙවින් සොයා බැලීමට අපි අදහස් කළෙමු.

පාඨලී චම්පික රණවක වර්තමාන අර්බුදය දකින ආකාරය මැනවින් පැහැදිලි වන්නේ ඉකුත්දා ඔහු ඉදිරිපත් කළ යෝජනාවලිය හරහාය. ඔහු ප්‍රධන කරුණු හයක් යටතේ සිය යෝජනා ඉදිරිපත් කොට තිබුණි.

01. රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම පිණිස හදිසි විදේශ විනිමය ලබා ගැනීම පිණිස ඔබතුමා යෝජනා කරන වැඩපිළිවෙළ රට හමුවේ ප්‍රසිද්ධ කළ යුතුය

02. රාජ්‍ය මූල්‍ය ස්ථායිකරණය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ඔබතුමාගේ අදහස විවෘතව රට හමුවේ තැබිය යුතුය.

03. තරුණ අරගලකරුවන්ගේ දේශපාලන ඉල්ලීම් මහජන ප්‍රතිපත්ති බවට පත් කර ගැනීමට ඉඩ සලසා දෙනු වස් ඔවුන්ගේ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ක්‍රියාදාමය අධීක්ෂණය කළහැකි ව්‍යුහයක් නිර්මාණය කර දෙන ලෙස යෝජනා කර සිටිමි.

04. ඊළඟ මැතිවරණයට පෙර දූෂණය වැළැක්වීම පිළිබඳ සිංගප්පූරු හා හොංකොං රාජ්‍යයන්හි පවත්නා ආකාරයේ දූෂණය මැඬලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළයුතු බව යෝජනා කරමි.

05. ශ්‍රී ලංකා මහා බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කොට එය මුළුමනින්ම දේශපාලනීකරණයෙන් බැහැරකොට පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් බවට පත්කළ යුතු යැයි යෝජනා කරමි.

06. රාජ්‍ය බුද්ධි අංශ හා ආරක්ෂක අංශ දේශපාලන අතකොළු බවට පත් නොවී ඒවා ස්වාධීන ලෙස පවත්වාගෙන යාම තහවුරු කළ යුතු යැයි යෝජනා කරමි.

දීර්ඝ ලිපියක් ලියා තබමින් පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනා සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි. තමා මේ කරුණු හය සම්බන්ධව එකඟ වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් මගින් පාඨලී දැනුවත්කොට තිබුණි. කෙසේ වෙතත් පාඨලී චම්පික රණවක ආණ්ඩුවේ තනතුරු භාර නොගත්තේය. එසේ වුවත් විටක ප්‍රකාශ කර සිටියේ ආණ්ඩු භාරගත් සැණින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වෙත චෝදනා කිරීමෙන් වරදක් බවයි.
මේ අතර 43 වැනි සේනාංකය හරහා  පාඨලී චම්පික රණවක විසින් තවත් යෝජනාවලියක් ජනගත කළේය. තනි තනියෙන් ක්‍රියාත්මක කොට විසඳුම් ලබාගත නොහැකි බව පළමු පිටුවේ දක්වා ලූ මෙම යෝජනාවලිය පිටු 13 කින් සමන්විත දීර්ඝ ලියවිල්ලකි. මෙහිදී එකවර එක වර්තමාන දේශපාලන අර්බුදය විසඳීමට කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යෝජනා 8ක් ඉදිරිපත් කොට තිබුණි.

• පාර්ලිමේන්තුවට මධ්‍යස්ථ, ක්‍රියාශීලී කතානායකවරයෙක් හා  අගමැතිවරයෙක් පත්කර ගත යුතුය. දැනට පත්වී ඇති අගමැතිවරයා සිය ආර්ථික දේශපාලන න්‍යාය පත්‍රය කාලරාමු සහිතව ඉදිරිපත් කළ යුතුය.

• පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ක්‍රමය බලවත් කර, සියලු මන්ත්‍රීවරු කාරක සභා 20කට වෙන්වී එහි සභාපති ලෙස පත්වන මන්ත්‍රීවරයා අදාළ අධීක්ෂණ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුතුය.

• අමාත්‍යංශ ලේකම්වරු හා මූලික රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක සභාවක් නැවත ස්ථාපිත කළ යුතුය.

• සංශෝධන සහිතව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කළ යුතුය.

• ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කළ යුතුය. ඒ සඳහා නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශ කළ යුතුය.

• අර්බුදය විසඳීම සඳහා වැදගත් ආයතන  වන, ශ්‍රී ලංකා මහ බැංකුව හා මූල්‍ය මණ්ඩලය, මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව, රාජ්‍ය බැංකු තුන (ලංකා, මහජන, ජාතික ඉතිරි කිරීමේ), විදුලිබල මණ්ඩලය හා ‌ෙලකෝ ආයතය, ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් පර්යන්තය, ලිට්‍රෝ ගෑස් සමාගම, ජල සම්පාදන මණ්ඩලය, ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන සඳහා පළපුරුද්ද හා වෘත්තීය නිපුණතා සහිත, අදූෂිත වෘත්තීය පරිපාලකයන් පිරිසක් පත්කර වසර එකහමාරකට ඔවුනට ඉලක්ක සහගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමට භාර දිය යුතුය.

• නව අයවැයක් 2022/23 වසර සඳහා ගෙන ආ යුතුය.

• රාජ්‍ය මූලය හා ණය ප්‍රතිවුහගත සැලසුම ක්‍රියාත්මක කර මාස හයක් තුළ රට ස්ථාවර වූ පසු මහා මැතිවරණයකට යා යුතු අතර, එයට පෙර ජනාධිපති ධූරය, මැතිවරණ ක්‍රමය, පිළිබඳ ව්‍යවස්ථා සංශෝධන අනුමත කරගත යුතුය. විශේෂයෙන් සාධාරණ මැතිවරණයක් තහවුරු කරගත හැකි පක්ෂ හා පුද්ගල මැතිවරණ වියදම්, මාධ්‍ය වියදම් ආදිය පිළිබඳ නව නීති අනුමත කරගත යුතුය.

පවතින දේශපාලන සාමාජීය වටපිටාව තුළ මෙම යෝජනා කොතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න ගැටලු සහගතය. කෙසේ නමුත් මෙම යෝජනා ක්‍රියාත්මක කළ හැකි නම් රට යහපත් මාවතක් කරා එළඹෙනු ඇතැයි බැලූ බැල්මටම පෙනී යයි.

පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කරන යෝජනා සහ ඔහු සිදුකරනු ලබන ප්‍රකාශ හරහා පැහැදිලිව පෙනී යන යථාර්ථයන් කිහිපයකි. ඔහු ස්වාධීන වූ දේශපාලන අරමුණක් පෙරදැරිව කටයුතු කරයි. සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ අදහස් එක්පසෙක තිබියදී ස්වාධීන චරිතයක් ලෙසින් පාඨලී සිය අදහස් සහ යෝජනා වෙනම ජනගත කිරීම සුවිශේෂී තත්ත්වයකි.

බංකොලොත්..! දැන් කුමක් කරමුද..? යනුවෙන් විද්වත් සංවාදයක් ඉකුත් සතියේ 43 සේනාංක විසින් සංවිධානය කර තිබුණි. රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ඒමට ඒ ඒ ක්ෂේත්‍ර සඳහා වන ආර්ථිකමය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් මෙහිදී ඔවුන් ජනගත කරන ලදී. 43 වැනි සේනාංක වෘත්තීයවේදීන් පිරිසක් විසින් කරනු ලැබූ දීර්ඝ පරීක්ෂණයක ප්‍රතිඵල පොදුවේ ජනතා ගැටලු හා ඒ සඳහා වන විසඳුම් ඇතුළත් මෙම කථිකාව ස්වෛරී බංකොලොත්භාවයෙන් රට නැවත ගොඩනැගීමෙහි ලා එක් දිශානතියක ආරම්භයක් ලෙස සැලකිය හැකි බව එහිදී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කොට තිබුණි.

පාඨලී චම්පිකගේ මෙම නව දේශපාලන භාවිතයන් ඉතාම සියුම්ව අධ්‍යයනය කළ යුතු යැයි අප සඳහන් කරනුයේ මේ ආදී කාරණා මත පදනම්වය. ඔහු විසින් නිරන්තර සිදු කරන ප්‍රකාශ එහිලා වැදගත්ය. ඔහුගේ දේශපාලන අරමුණ කවරක් වුවත් මේ මොහොතේ ඔහු ඇතුළු බොහෝ දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවල සාධනීය පැතිකඩක් ඇති බව අවසානයේ සඳහන් කළ යුතුය. එමනිසාම පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ යෝජනා සම්බන්ධවද වර්තමාන අන්තර්වාර පාලනයේ අවධානය යොමුවීම යහපත්ය.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00