2022 මැයි 29 වන ඉරිදා

පනස් වසරකට පෙර ජනරජයක් බිහි වූ හැටි

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 70

අභිමානවත් ජාතියක් වශයෙන් තමන්ට ආඩම්බර විය හැකි, එසේම ස්වකීය උදාරතම අපේක්ෂාවන් පිළිබිඹු කරන අතර අනාගත පරම්පරාවන්ගේ ශුභ සිද්ධිය හා සන්තුෂ්ඨියට මග හෙළිකරන, තමන් විසින්ම සකස් කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට අපගේ ජනතාව තුළ පවත්නා මහත් ආශාව ඔවුහු එකහෙළා පළකළහ. යනුවෙන් 1970 ජූලි මාසයේදී ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය කැඳවමින් අගමැතිනි සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය පැවසුවාය.
ජනරජය බිහි කිරීමට අගමැතිනියගේ මේ ප්‍රකාශය ශක්තියක් විය.

ජනරජ පනත කෙටුම්පත් කළ කමිටුවට ආණ්ඩුක්‍රම සම්පාදක ඇමැති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍යංශයේ ස්ථීර ලේකම් සෝමසාර දසනායක, අධිනීතිඥ ජේ.ඒ.එල්. කුරේ, කැබිනට් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්. ආලිෆ්, ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ ලේකම් නොයෙල් තිත්තවැල්ල, අධිනීතිඥ එච්.ඇල්. ද සිල්වා, අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ඕ.ඇම්. ද අල්විස්, ආචාර්ය ෂෙල්ටන් කොඩිකාර, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යංශයේ ස්ථීර ලේකම් ඇම්. ෂන්මුගනාදන්, මහාචාර්ය සී.ඊ.ඊ. ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යංශයේ ස්ථීර ලේකම් නිහාල් ජයවික්‍රම, ජ්‍යෙෂ්ඨ රාජනීතිඥ ආර්.එස්. වනසුන්දර, ආචාර්ය ඩෙරික් ද සූසා, රාජනීතිඥ ඊ.ඩබ්ලිව්.පී.ඇස්. ජයවර්ධන යන මහත්වරු ඇතුළත් වූහ.
ආණ්ඩුක්‍රම සම්පාදක ඇමැති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුවන මූලිකවූත්, අතිශයින් වැදගත් වූත් මූලික වෙනස්කම් ගැන කතා කරමින් මෙසේ කියා තිබුණි.

&ලක්වැසි ජනතාව විසින් 1970 ජූලි 21 වැනි දින පිහිටුවන ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය 1972 මැයි මස 22 දින සිය කටයුතු නිමාවට පත්කළ අතර ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා එම මණ්ඩලය විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිය සහතිකයට අත්සන් තැබීය. සභාපතිතුමාගේ එම ක්‍රියාවෙන් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ වැඩ කටයුතු නිමාවට පත් විය. ඒ සමඟම මූලස්ථම්භ වන වෙනත් සිද්ධි දෙකක්ද ඇති වන්නේය. එක් අතකින් ශ්‍රී ලංකා ජනරජයේ උපත ඇතිවන අතර අනෙක් අතින් බ්‍රිතාන්‍ය ඔටුන්න සමඟ ලංකාව සම්බන්ධ කළ අවසාන පූරුක සිඳී ගොස් බ්‍රිතාන්‍ය කිරීටය විසින් අපට සියවස් වර්ෂ කාලයකට පමණ ඉහතදී දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි වී අවලංගු බවට පත් වන්නේය. 1972 මැයි මස 22 වැනි දින ක්‍රියාත්මක බවට පත්වුණු ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකරන ලද්දේ එහෙයිනි.

1972 මැයි 23 වැනිදා මංගල සිරියෙන් ජනරජය බිහි වූ බව &දිනමිණ පත්‍රයේ මුල් පිටුවේ ශීර්ෂය විය. එහි මෙසේ සඳහන් විය.

&සෙත් පැතුම් ජය හඬ මැද දිවයින පුරාම උත්සව පැවැත්විය. අද සෑම පන්සලකම හා දේවස්ථානයකම ආගමික වතාවත් පැවැත්වෙද්දී, දිවයින පුරා විවිධ උත්සවවලින් ජය හඬ පැතිරෙද්දී නියමිත ශුභ නැකැත් වේලාවට සෙත් පැතුම් මැද්දේ මංගල සිරියෙන් ශ්‍රී ලංකා ජනරජය බිහිවෙයි. ජනතාව කෙරෙන්ම ලබාගත් බලයත් අධිකාරයක් ඇතිව පිළියෙළ වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිගනිමින් ශ්‍රී ලංකාව අද නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් වන්නේය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කිරීමට ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය මැයි 22 වැනි සඳුදා දහවල් 12.30ට කොළඹ නව රඟහලේදී රුස්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නියම කර ඇති පරිදි ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ සභාපති අධිනීතිඥ ස්ටැන්ලි තිලකරත්න මහතා විසින් ව්‍යවස්ථාවට සිය අනුමැතිය දී අත්සන තැබීමෙන් පසු එය නීතිගත වන්නේය.

එදින වැඩ පිළිවෙළ මෙසේ විය.

(1) පන්සිල් හා සෙත්පිරිත් (පන්සිල් දෙනු ලබන්නේ මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථ ධර්මසිද්ධි මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

(2) ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ සභාපති ස්ටැන්ලි තිලකරත්න මහතා ජනරජ පනතට අත්සන් තැබීම.

(3) සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දීම.

(4) විලියම් ගොපල්ලව උතුමාණන් ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති වශයෙන් දිවුරුම් දීම.

(5) ජනාධිපතිතුමාණන් නව ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රුස්වීම කැඳවීමේ නිල නිවේදනයට අත්සන් තබා එය කියවීම.

(6) ජයමංගල ගීත සහ සෙත් පිරිත්.

(7) ජනරාජ ස්වස්තිය කියවීම.

(8) ජනාධිපතිවරයා නව රඟහලෙන් පිටත විශේෂ වේදිකාවක ජාතික කොඩිය එසවීම.

(9) හමුදා ආචාර පෙළපාලිය.

(10) වෙඩි මුර ආචාර.

(11) ජනරජ අභිනන්දන ගීත ගායනය.

1972 මැයි 22 වැනි සඳුදා මුල් පිටුවේ ශීර්ෂය වූයේ &ශ්‍රී ලංකා ජනරජයේ විජය ධජය ලෙල දෙයි යන්නය. එහි මෙසේද සඳහන් වෙයි.

දෙදහසකට වැඩි වසර ගණනක් මිහිමඬලේ සිව් කොණෙහි, ජන කෙහෙළි නැංවූ අති බලසම්පන්න රෝම, කාතේජ්, මිසර, පීකිං, පාටලීපුත්‍ර ආදී මහා රාජධානිවල කොඩි සමඟ තරගයට ලෙලදුන් ශ්‍රී ලංකා විජය ධජය නූතන ලෝකයේ ස්වාධීන දේශ මාතාවන් හා සමඟ උරෙ^නුර ගැටෙමින් ලෝකාම්බරයේ සදහටම බැබලෙන ලෙලදෙන විහිදෙන පරිද්දෙන් ස්වෛරී ස්වාධීන ශ්‍රී ලංකා ජනරජය අද මධ්‍යහ්නයේ මංගල නැකතින් ප්‍රතිෂ්ඨාපනය වන්නේය.

එදා සිංහලයේ ස්වාධීනත්වය පාවා දෙමින් අත්සන් තබන්නට නියමිතව තිබුණු උඩරට ගිවිසුම අත්සන් කරන්නට මඳ මොහොතකට කලින් බ්‍රිතාන්‍ය කතිර කොඩිය සෙංකඩගල නුවර මහ මඟුල් මඩුව අබියස තිබෙනු දුටු වීර වාරියපොළ හිමියන් අවිගත් මුර සෙබලුන් ඉදිරියේ නොබා නොසැලී නොඇඹරී ඉංග්‍රීසි කොඩිය බිම හෙළා මොහොතකට වුවත් සිංහල ධජය ඔසවමින් පෑ දේශප්‍රේමී ප්‍රාතිහාර්යය යළි යළිත් සිහිපත් කරමින් සිංහ කොඩිය පස්වාන් දහසක් පවතින්නට මහනුවර මඟල් මඩුව අබියස දී අගමැතිනිය අතින් එසවෙන්නේ 1972 මැයි 24 වැනිදාය.

නව ජනරජයක් බිහිවීමත් සමඟම ජාතික කොඩියට බෝ කොළ  සලකුණුද එක් වූ බව දිනමිණ වාර්තා කොට තිබුණි. එතෙක් ජාතික කොඩියේ මුළු හතරේ සටහන් වී තිබූ සලකුණු වෙනුවට අලුත් කොඩියේ බෝ කොළ සලකුණු ඇතුළත් විය. ජනරජ උළෙලේ නව රඟහලේදි අගමැතිනිය හා ප්‍රථම ජනාධිපතිවරයා විසින් ඔසවනු ලැබුවේ අභිනව ජාතික කොඩියයි.

1972 මැයි 23 වැනි අඟහරුවාදා දිනමිණ පුවත්පතේ ශීර්ෂය වූයේ &ශ්‍රී ලංකාවට සෞභාග්‍යය උදාවේවා ජනරජ මංගල උළෙලේදී ජනාධිපතිතුමාගේ පැතුම^යි. මේ වාර්තාව ලියා තිබුණේ දිනමිණ විශේෂ නියෝජිත ඩී.සී. කරුණාරත්න (පසුව සිළුමිණ කර්තෘ හා ලංකාදීප උපදේශක) විසිනි.

රටේ තත්ත්වයට ගැලපෙන පරිදි චාම් ලෙසත්, අවස්ථාවට උචිත ලෙසත් ඊයේ කොළඹ නව රඟහලේදී පැවැත්වුණු ඓතිහාසික උත්සවයකදී ලංකාව නිදහස් සෛවරී ස්වාධීන ජනරජයක් බවට පත්විය. උත්සව ශාලාවට ඇතුළුවන දොරටුවේ පමණක් රුළි පාලම් සහිත චාම් සැරසිල්ලක් විය. ශාලාවේ එක් කොනක නව ජනරජයේ සංකේතය ඉදිකර තිබූ අතර අනිත් කොනේ ඉහළින් කිරිගරුඬෙන් තැනුන බුදු පිළිමයක් විය. රුස්වීම් ශාලාවේ කිසිම සැරසිල්ලක් නොවීය. උත්සවයේ සියලු වැඩකටයුතු සිංහල බෞද්ධ චාරිත්‍ර අනුව සිදුවිය. ඉංග්‍රීසියට කිසිම තැනක් නොලැබිණි. සියලු වැඩ කටයුතු සිදුවූයේ සිංහලෙනි.

මැයි 22 වැනිදා ශ්‍රී ලංකා ජනරජය පිහිටුවීම නිමිත්තෙන් නව රඟහලේදී පැවැත්වූ රාජ්‍ය උත්සවයේදී කියවන ලද ජනරජ ප්‍රශස්තිය අවසන් ඡේදය මෙසේය.

අද පටන් නිදහස් නිවහල් ජාතියක් ලෙස සෙසු නිදහස් ජාතීන් සමඟ උරෙන් උර ගැටී ජාතිවාත්සල්‍යයෙන් හා ස්වදේශාභිමානයෙන් ඔද වැඩුණු සිතනින් හා තෙද ගැනුණු හදවතකින් හා යුක්තව ලංකා පුත්‍රයන් සතු උදාරතර වීර වික්‍රමය විදහා පාමින් කෙත්වතු තනවා නිදහස් සිරිලක් පොළොව එකසේ වගා කොට නොයෙක් කම්හල්වලින් දිවයින පුරවා ස්වාධීන ස්වයංපෝෂිත නව නිර්මාණ්‍යන් හි නිරත ලංකා පුත්‍රයන් සේ නැගී සිටුම්හ. රට දැය සමය සිය දිවි දෙවෙනි කොට සලකා තමන් සතු යුතුකම් නොඅඩුව ඉදිකොට මේ දිවයිනක් බවට පමුණුවනු පිණිස ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරමි යන දෘඪතර අධිෂ්ඨානයෙන් හා අභිමානයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිමි.

මැයි 24දා මහනුවර මහ මළුවේ පැවැත්වුණු උත්සවය ආරම්භ වූයේ විශේෂ දළදා පූජාවකිනි. මෙදින විශේෂ දළදා දැක්මක්ද විය. ජනාධිපති විලියම් ගොපල්ලව, සිරිමා බණ්ඩාරනායක අගමැතිතුමිය සහ කථානායක ස්ටැන්ලි තිලකරත්න ප්‍රධාන මැති ඇමැතිවරු සමන්මල් දෝතින් ගෙන දළදා පුදට පෙරහරින් ගියහ. අවුරුදු 157කට පසු යළිත් නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනතාවක් වශයෙන් ප්‍රීති උත්සව පැවැත්වීම සඳහා 1972 මැයි 24 වෙනිදා එක්රොක් වූ ජනකායෙන් කන්ද උඩරට සිරි දළදා මැදුර අබියස ඓතිහාසික මහා මළුව පිරී ඉතිරී ගියේය.

ජනරජ දින උළෙල නිමිත්තෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු සංස්කෘතික සංදර්ශනය ඇරඹුණේ විජේරත්න වරකාගොඩ කලාකරුවාගේ ප්‍රශස්ති ගායනයකිනි. හමුදා සොල්දාදුවන් ඉදිරිපත් කළ විචිත්‍ර නැටුම් ගැයුම්වලින් මේ සංදර්ශනය අලංකාර විය. 

■  ඒ.ඩී. රන්ජිත් කුමාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00