2022 මැයි 29 වන ඉරිදා

පාන් පිටිවලටත් පොල්ලක්!

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 132

දරුණු ආහාර හිඟයක් ගැන කරුණු ප‍්‍රකාශ වෙමින් තිබේ. ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ‍්‍රී ලංකාව ආනයනයට ඇති බාධා ගැන ලතැවෙන බව පෙනේ. ජාත්‍යන්තර ප‍්‍රජාව මුහුණ දී ඇති තිගැස්ම එයට වෙනස්ය. මුදලට හෝ මිල දී ගත හැකි තරමට ආහාර ප‍්‍රමාණවත්ව නිෂ්පාදනය නොවනු ඇති බවට බියක් හටගෙන තිබේ. අලුත් වාර්තා දක්වන පරිදි තිරිඟු හා බඩ ඉරිඟු නිපැයුම පහත වැටෙනු ඇත. තිරිඟු පිටි සඳහා ඇති ඉල්ලුම වැඩිවෙනු ඇතැයි සැලකේ. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ආනයන ද්‍රව්‍යවල මිල ඉහළ නැග ඇති මෙම වකවානුවේ තිරිඟු පිටි වැඩිකර ඇත.

බේකරි නිෂ්පාදනවල මිල ගැන තැවෙන පාරිභෝගික ජනතාව ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන අවබෝධයක සිටීම වැදගත්ය. ලෝකයේ විශාලතම තිරිඟු නිෂ්පාදකයන් අතර සිටින යුක්රේනය හා රුසියාව යුද්ධයක පැටලී සිටින අතර යුද්ධය මෙහෙයවන්නෝ ලෝකවාසීන්ගේ කුසගින්න ආයුධයක් බවට හරවා ගන්නට ඉඩ ඇති බව එක්සත් ජාතීන් ගේ සංවිධානය පවා අනතුරු අඟවා ඇත.

• එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීම

කුසගින්නේ ජීවත්වන ප‍්‍රමාණය තවත් වටයකින් නංවන්නට යුද ගැටුම් හේතුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙන්ස් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණි. යුක්රේනයේ ගොවියන් වගාකරන තිරිඟු රටවල් ගණනාවක මිලියන සංඛ්‍යාත පිරිසකගේ බඩගින්න නිවන අතර ලෝක ආහාර සංවිධානයේ නොමිලේ බෙදාහරින ආහාරවලින් අඩක් සැපයෙන්නේ එරටින් බවද ප‍්‍රකාශ කර තිබුණි. ඊජිප්තුව, ලෙබනන් හා පකිස්තානය මෙම ආහාර ආධාරවලින් වැඩිම කොටසක් ලබාගනී. අභ්‍යන්තර සිවිල් අරගලවලට පසු හමුදා පාලනයක සිටින ඊජිප්තුව දැවැන්ත ප‍්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දී ඇති අතර එරට තෙල් හා තිරිඟු ආනයනය සඳහා වැයකරන්නට සිදුවී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක ප‍්‍රමාණය උපයා ගැනීම සඳහා බරපතල වෑයමක සිටී.  

ලෙබනනයේ තතත්වයද එයට නොදෙවැනිය. එහි උද්ධමන සියයට 206කින් ඉහළ ගොස් ඇති අතර දශක අටක ඉතිහාසයේ නරකම ආර්ථික තත්ත්වයට මුහුණ පා සිටී. ආහාර මිල ඉලක්කම් තුනක අගයකින් ඉහළ නැග තිබේ. ප‍්‍රවාහන වියදම පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් සියයට 492කින් වැඩිවී ඇති අතර සෞඛ්‍ය වියදම සියයට 477කින් වැඩි වී ඇත. මෙවැනි පසුබිමක් මත ලෝක ආහාර සංවිධානයේ ආධාර නොලැබුණහොත් එරට පැවැත්ම මරාගෙන මැරෙන තැනට පත්වනු ඇති බව කියැවේ. පකිස්තානයද දරුණු දේශපාලන අවුලක පසුවේ. එහි ආනයන සඳහා වත්කම් හිඟ අතර සවුදි අරාබියෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් ලබාගෙන ඇත. ඉන්ධන සැපයුම අඩාල වී ඇති අතර උද්ධමනය ඉහළ නැග තිබේ. මෙම අවුරුද්ද තුළ තුන්වතාවක් බැංකු පොලී අනුපාත නංවන්නට එරට මහ බැංකුව පියවර ගැණින. 

• අපනයනය පහත වැටීම

ගැටුම් තත්ත්වය සමග තිරිඟු වෙළඳපොළ පත්ව ඇති ස්වභාවය සලකා බලන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ ආධාර ලබන අතරවාරයේ දරුණු දේශපාලන වියැවුලක සිටින රටවල් බේරාගැනීම සඳහා අනුගමනය කළ හැකි ක‍්‍රම ගැන අවධානය යොමුකර ඇත. ඔවුන්ට අනුව යුක්රේනයේ තිරිඟු අස්වැන්න නොලැබීම ප‍්‍රශ්නයකි. අපනයනය පමණක් නොව යුක්රේනයේ ගොවියන්ට වගා කිරීමට පවා බාධා මතු වී ඇත. ගොවීන් වගාකිරීම අත්හැර ඇති අතර ඉන්ධන හිඟයද එයට බලපා ඇති බව වාර්තා වෙයි. 2021 වසරට සාපේක්ෂව එරටින් අපනයනය කරන තිරිඟු ප‍්‍රමාණය සියයට හැට හතරකින් පහත වැටී තිබේ. මෙහිදී අවධානය යොමුකළේ සහන ලැබිය යුතු ජන කොටසකට අහිමිවන අවස්ථා ගැනය.

එක්සත් ජාතීන්ට අමතරව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කින්ද රුසියාව අනුගමනය කරන පිළිවෙළ හෙලා දැක ඇත. ආහාර සිය ආයුධයක් බවට පත් කැරගෙන ඇති බව කියයි. කෙසේ නමුත් රුසියානු විදේශ අමාත්‍යවරයා දක්වන පරිදි තමන්ගේ රටට සම්බාධක පනවා ඇති අතර යුක්රේනයේ වරාය භාවිතා කිරීමට පවා ඉඩ නැත. රුසියාව ලෝකයේ තිරිඟු අපනයනයෙහි විශාල සාධකයක් වීම මෙහිදී වැදගත් කරුණකි. 2001 වසරේදී ලෝක අවශ්‍යතාවයෙන් සියයට එකක් වූ රුසියාවේ තිරිඟු අපනයනය 2018 වසරේදී සියයට 26.4 දක්වා ඉහළ නැගිණ. දැනට පවතින වාතාවරණය අනුව රුසියාව හා යුක්රේනය ලෝකයේ අවශ්‍යතාවලින් තුනෙන් එකක් සපයයි. මෙම රටවල් දෙක ගැටුමක පවතින අතර එහි අපනයනය සහ වගා කටයුතුවලට බාධා සිදුවීම කුසගින්න අවුළුවන තැනට පත්ව ඇත. ආහාර සඳහා අවශ්‍ය තිරිඟු හා තිරිඟු පිටි සැපයුම අඛණ්ඩව කරගෙන යන ලෙස ජාත්‍යන්තර ප‍්‍රජාව බලකරන නමුත් රුසියාව එයට සූදානම් නැති බව පෙනේ ඔවුන් දිගින් දිගටම සිය සම්බාධක ඉවත් කරන සේ දක්වන අතර යුක්රේනය බටහිර නැඹුරුවෙන් ගලවා ගත යුතු බවට තර්ජනය කරමින් සිටී. මෙහි අවසානය කෙබඳුද?

• පරිසර ප‍්‍රශ්න

රුසියාව, ඇමරිකාව, කැනඩාව, ප‍්‍රංශය හා යුක්රේනය ලෝකයේ තිරිඟු නිපදවන ප‍්‍රධානතම රටවල් වන අතර ඒවා දෙකට බෙදුනු පසු සෙසු රටවලට එහි පීඩාව අත් විඳින්නට සිදු වී තිබේ. ලෝකයේ ඇතැම් රටවල තිරිඟු පිටි මිල පසුගිය වසර පහළොව තුළ ඉහළම මිලට නැග ඇති අතර ජනතාව එයට විරෝධය පළකරමින් සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා නොබෝදා ප‍්‍රකාශයක් කරමින් පිටි මිල වැඩිවීම බරපතල කරුණක් බව කියා ඇත. 1977 වසරේ තිරිඟු බුසලක් ඩොලර් 212ක් වූ අතර අද එය ඇමරිකානු ඩොලර් 1,350ක් දක්වා පත්ව ඇත.

ප‍්‍රංශයෙහි පවතින උණුසුම් කාලගුණය ජාත්‍යන්තරය තවත් අවධානයට ගෙන ඇති අවශේෂ කරුණකි. තිරිඟු නිපැයුමට එය බාධාවක් වෙතැයි සැලකේ. ජාත්‍යන්තර ධාන්‍ය කවුන්සිලය ප‍්‍රකාශ කර ඇති පරිදි තිරිඟු නිපදවීම මෙම වසරේදී මෙට්‍රික් ටොන් මිලියන 736ක් විය හැකිය. එය වසර තුනක මෙපිට කාලයේ අඩුම අස්වැන්න බවට පත්වනු ඇත. තිරිඟු නිපදවන රටවලටද එනම් ඇමෙරිකාව හා ප‍්‍රංශයටද ඉදිරි කාලයේ බැහැරින් ආනයනය කරන්නට සිදුවනු ඇති බව කියැවේ. රුසියාවට සම්බාධක පනවන ජාත්‍යන්තර ප‍්‍රජාව මෙම ව්‍යුහය සමග කෙබඳු තීරණයකට අවතීර්ණ වනු ඇත්ද යන්න පැහැදිලි නැත.

• තිරිඟු පිටි පරිභෝජනය අඩු කරන්නට වෑයමක්

ප‍්‍රීමා සමාගම හා සෙරන්ඩිබ් යන තිරිඟු පිටි නිපදවා අලෙවි කරන සමාගම් දක්වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරියේ අවසර අවශ්‍ය නැත. රුපියලේ අගය අවප‍්‍රමාණය හා ලෝක වෙළඳ පොළේ තිරිඟු මිල ඉහළයෑම යන කරුණු දෙකම පදනම් කරගෙන පිටි මිල වැඩි වී ඇත. මෙම වැඩිවීම වතුකරයට වැඩිපුර දැනෙන අතර පසුගිය කාලයේ ආර්ථික දුෂ්කරතාවලට ගොදුරු වූ වතු ශ‍්‍රමිකයන්ට තිරිඟු පිටි සහන මිලකට දෙන යෝජනාවක්ද ක‍්‍රියාත්මක වූ බව මතක් කළ යුතුය.
1996 වසරේදී මෙරට මහජනතාවගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ සියයක් වනවිට තිරිඟු පිටි කිලෝ 36.9ක් භාවිතා කර තිබුණ අතර වසර 2010 වනවිට ඒක පුද්ගල වාර්ෂික සහල් පරිභෝජනය කිලෝ 114ක් වන විට තිරිඟු පිටි භාවිතය කිලෝ 27ක් දක්වා අඩුවී තිබේ. එය යහපත් ප‍්‍රවනතාවයකි. නමුත් මෙම ස්වභාවය නැවත ආපසු හැරී ඇත. ආහාරයෙන් සෑහෙන කොටසක් තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන බව දැක්වේ. රසායනික පොහොර තහනමක් ක‍්‍රියාවට නැගුණු වකවානුවේදී සහල් නිෂ්පාදනය අඩු වූ අතර පසුගිය කන්නයේ නිපැයුම පහත වැටීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රුපියල් මිලියන 400ක ආධාර ගොවියන්ට ලබාදීමට පවා සිදුවිය. ජාත්‍යන්තරයේ සිදුවන ආහාර හිඟය ගැන වාර්තා වන අතරවාරයේ ශ‍්‍රී ලංකාව ගතයුතු පියවර ගැන කල්තබා තීරණ ගත යුතුය. ඉදිරි යල කන්නය සඳහා රසායනික පොහොර ගෙන්වන සූදානමක් ඇති අතර ආණ්ඩුව පොහොර කිලෝග්‍රෑම් පනහක් රුපියල් දස දහස බැගින් ගොවියන්ට ලබාදීමට තීරණය කර තිබේ. මෙම සහන සමග ආහාර නිෂ්පාදනය නැංවුවහොත් රටට අස්වැසිල්ලක් වනු ඇත.

 සාරා කන්දෙගොඩ

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05