2022 මැයි 29 වන ඉරිදා

නැත්තටම නැතිවෙන්න යන භූමිතෙල්

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 187

ගමේ ගො‍ඩේ පොඩි මිනිහාගේ ලාම්පු තෙල් ටිකටත් මෙහෙම කලක් යාවි කියා කිසිවකුත් නොසිතන්නට ඇත. එහෙත් මේ වනවිට භූමිතෙල් හිඟකම ජීවිතවල ඉරණම තීරණය කරන ප්‍රධාන සාධකයක් තරමටම ඔඩුදුවා අවසන්ය. 

පැය 5ක් 6ක් විදුලිය කැපෙන රටක කුප්පි ලාම්පුවට තෙල් නොමැතිව ජනතාවට අඳුරේ දිවිගෙවන්න සිදුවීම එක්තරා ඛේදවාචකයක් යැයි පැවසීම වරදක් නැතැයි සිතමි. සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍යම ඉන්ධනයක් ලෙස භූමිතෙල් පත් වී හමාරය.පසුගියදා විෂය භාර අමාත්‍යවරයා පැවසූයේ භූමිතෙල් සැපයීම සීමා කිරීමට සිදුවන බවයි. අප දන්නා තරමින් භූමිතෙල් යනු තහනම් ද්‍රව්‍යයක් නොවේ. එහෙයින් ‍මහජන පරිභෝජනය සඳහා අත්‍යවශ්‍ය ඉන්ධනයක් වන භූමිතෙල් සීමා කිරීමට සිදුවූයේ ඇයිද යන්න අප හමුවේ ඇති ප්‍රශ්නයකි. භූමිතෙල් ඉල්ලා රටපුරා බොහෝ ප්‍රදේශවල ජනතාව පාර වසා උද්ඝෝෂණ පැවැත්වූහ. ඇතැම් පෝලිම්වල දවස් ගණන් සිට ඇතැමුන් තම ජීවිතවලින් පවා වන්දි ගෙවූ අවස්ථා පසුගිය කාලයේදී අපි දුටුවෙමු.  

භූමිතෙල්වල පාරිභෝජන අවශ්‍යතාව සැලකීමේදී සාමාන්‍ය බෝට්ටුවලට සහ භූමිතෙල් එන්ජින් සහිත එක්දින ධීවර යාත්‍රාවලටත් භූමිතෙල් අවශ්‍ය වෙයි. භූමිතෙල් ඇතුළු ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ දිනවල දැඩි අසීරුතාවට පත් වී සිටින්නන් අතර  රටපුරා ධීවරයෝ ඉහළින්ම සිටිති‍.  

භූමිතෙල් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අසීරුතාවට පත් වී සිටින බව කියන තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ එක්දින යාත්‍රා ධීවරයෙක් මෙසේ පැවසීය. 

“තෙල් ප්‍රශ්නය නිසා අපිට දැන් ධීවර රුකියාව කරන්න විදියක් නැහැ. ඩීසල් නැති නිසා බහුදින ධීවර යාත්‍රා යන්නේ නැහැ. එක්දින ධීවර යාත්‍රාවක්වත් යන්න ලාම්පුතෙල් නැහැ. බහුදින යාත්‍රාවට මාසෙකට ඩීසල් ලීටර 7000ක් පමණ ඕනෑ. එක්දින යාත්‍රාවකට ලාම්පු තෙල් ලීටර 100ක් පමණ ඕනෑ වෙනවා. සාමාන්‍යයෙන් මේ දිනවලදී මාළු අහුවෙනවා. මේ දවස්වල මාළු මිලත් හොඳයි. ඒත් විකුණගන්න මාළු අල්ලන්න විදියක් නැහැ. දැන් වරායේ බෝට්ටු ගැටගහලා තියාගෙන ඉන්නවා. අපිට රස්සාව කරන්න විදියක් නැහැ.” යැයි හෙතෙම කීය. 

ධීවරයන්ට අමතරව භූමිතෙල් සහ ගෑස් අතර ඇති දැවැන්ත මිල පරාසය නිසා බොහෝ ග්‍රාමීය නිවාසවල ගෘහණියෝ ගෑස් ලිපට ආයුබෝවන් කියා භූමිතෙල් ලිප් භාවිතයට පෙළඹී සිටිති. එසේම වතුර පොම්පයට මෙන්ම වගා යන්ත්‍රවලට භූමිතෙල්  සොයාගත නොහැකිව බත් වෙනුවට පස් වැළඳීමට සිදුවන තරමට අමාරුවේ වැටී සිටින ගොවීහු මෙරට ඕනෑතරම් සිටිති. මෙවැනි අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන නොමැතිව දහස් ගණනක් සෝ සුසුම් හෙළමින් සිටියදී තවත් පිරිසක් කූඨ ජාවාරම් කරමින් ලැබෙන තෙල් බිඳත් සූරාකන්නට උත්සාහ දැරීම කනගාටුදායක කරුණකි.  බස් රථවලට භූමිතෙල් කලවම් කර ධාවනය කිරීම රටේ දැඩි කතාබහට ලක්වූයේ අද ඊයෙක නොවේය. එකල එම විමර්ශනවලදී අනාවරණය වූයේ ඇතැම් පිරවුම්හල්වල බෙදුම්කරුවන් අධික ලාභ ලැබීමේ අරමුණෙන් බස් රථ සඳහා මෙම භූමිතෙල් ලබා දෙන බවයි. බස් රථවලට ඩීසල් වෙනුවට හෝ ඩීසල් සමඟ භූමිතෙල් කලවම් කිරීම සම්බන්ධයෙන් බස් රථ සේවකයන් පවසනුයේ භූමිතෙල් කලවම් කර තාවකාලික ලාභයක් උපයන්නට හැකි වුවද එය බස් රථයේ එන්ජිමට දීර්ඝ කාලීනව දරුණු ලෙස හානිදායක වන බවයි. බස් රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් ගැසීම නීතිවිරෝධී කටයුත්තක් බැවින් එවැනි පිරවුම්හල්වල බලපත්‍රය අහෝසි කරන බවට ඛනිජ තෙල් සංස්ථාව චක්‍රලේඛ පවා මීට කාලයකට ඉහතදී නිකුත් කළද මේ තාක් මේ හේතුව මත තහනම් කළ පිරවුම්හලක් ගැන අසා නැත.

භූමිතෙල් අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යාම හමුවේ එයට කැකිල්ලේ විසඳුමක් බලශක්ති අමාත්‍යංශය පසුගිය කාලයේ ඉදිරිපත් කළේය. එනම් අවශ්‍ය මට්ටමට භූමිතෙල් මදි වුවහොත් ඉදිරියේදී සාමාන්‍ය භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන සපයන බවයි. එහෙත් ඉන්ධන අර්බුදය හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා සඳහා ගෙන්වනු ලැබූ ප්‍රමිතියෙන් උසස් තත්ත්වයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණයක් භූමිතෙල් මිලට ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීම හරහා සංස්ථාවට විශාල පාඩුවක් සිදුකර ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරයි.  ‍

භූමිතෙල්වලට මොකද වුණේ? අප මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතාගෙන් කළ විමසිමේදී ඔහු මෙසේ අදහස් දැක්වීය. 

“අපේ රටේ භූමිතෙල් පාවිච්චි කරන්නේ අහිංසක ගොවියන්ට වතුර පොම්පයට අවශ්‍ය ඉන්ධනයක් විදිහටත්, භූමිතෙල් එන්ජින් තියෙන එක්දින යාත්‍රාවලටත්, ඊට අමතරව සාමාන්‍ය බෝට්ටුවලට සහ කුප්පි ලාම්පුව පත්තු කරගන්න ඉන්ධනයක් විදිහටත්. මේක අපේ රටේ බහුතරයක් ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය ඉන්ධනයක් බවට පත්වෙලා තිබෙනවා. භූමිතෙල් හදන්නේ බොරතෙල්වලින්. බොරතෙල්වලින් පිරිපහදු කිරීම යස අපූරුවට කරපු වැඩක්. පිරිපහදුවට බොරතෙල් ගෙන්වා ඒ බොරතෙල්වලින් ගන්නවා කෙරොසින් කියලා ජාතියක්. කුප්පි ලාම්පුවලට දාන්න, එන්ජින්වලට, වතුර මෝටර්වලට දාන්න, බෝට්ටුවලට දාන්න, කෙරොසින් වෙන් කර ගන්නවා. ඒ කෙරොසින්වලින්ම තව එකක් වෙන් කර ගන්නවා ලෝස් කියලා.ඉන්පසු ඒ කෙරොසින්වලින්ම වෙන්කරගෙන වඩාත් ඉහළ ප්‍රමිතියක් සහිත භූමිතෙල්වලින් ඇවුටාර් නමින් ගුවන් යානා තෙල් හදනවා. ඒක ගුවන්යානාවලට ඉහළ මිලකට විකුණලා අපි ඩොලර් ගන්නවා. ඒකෙන් තමා අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය කෙරොසින් කියන භූමිතෙල් දෙන්නේ. මේ ක්‍රමය තමා අපේ රටේ මේ වෙනකල් කරගෙන ආවේ. එහෙත් දැන් බොරතෙල් ගෙන්වීම සම්පූර්ණයෙන් නවතා පිරිපහදුව වහලා. ඉතින් දැන් කෙරොසින් ගන්නත් බෑ, ඇවුටා හදන්නත් බෑ. දැන් පිටරටින් කෙරොසින් ගෙන්වන්න සිද්ධවෙනවා. පිටරටවල කුප්පි ලාම්පුත්, භූමිතෙල් එන්ජින්වත්, වතුර පොම්පත් නොමැති නිසා කෙරොසින් හදන්නේ නෑ. ඒ රටවල හදන්නේ ගුවන්යානාවලට විතරයි. ඒක අධික මිලක්. ඉතින් අපේ රටේ කුප්පි ලාම්පුවට දාන්න භූමිතෙල් ගෙන්වන්නේ පිටරටවල ගුවන් යානා තෙල්. මේ කරන්නේ පිස්සු වැඩ. අපේ පිරිපහදුවෙන් අපේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවලට ඕනෑකරන භූමිතෙල් ඉතාම අඩු මිලකට හදාගන්න පුළුවන්. ඒකෙන්ම ඇවුටාර් ටික ගුවන් යානාවලට විකුණලා සල්ලි ගන්නත් පුළුවන්. මේ තාක් කරගෙන ආපු මේ ක්‍රමය නැවැත්වීම තමා මෙතැන ලොකුම වරද. බොරතෙල් ගෙන්වලා පිරිපහදුව අරඹා අපේ රටට අවශ්‍ය භූමිතෙල් ටික දෙන්න කියලා තමා අපි බල කරන්නේ. අතුරුඵලයක් විදිහට සංස්ථාවට ඇවුටාර් විකුණුවාම ඩොලර් එනවා. ගුවන් යානා එන පමණට මේ ඇවුටාර් තෙල් විකුණන්න පුළුවන්. ඊට අමතරව බොරතෙල්වලින් හැදෙන ඉහළම ඵලය වන නැප්තා ටික විදුලිබල මණ්ඩලයේ ගෑස් ටර්බයින්වලට දෙන්න පුළුවන්.යටම එන ඝනකම් එක දෙන්න පුළුවන් දැවි තෙල්වලට. පෙට්‍රල් භූමිතෙලුත් දෙන්න පුළුවන්. මේ ඉන්ධන හිඟයටත් ඩොලර් ඉතිරි කර ගැනීමටත් ඩොලර් උපයා ගැනීමටත් මේ සියලු දේ කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි නොකරන්නේ? පිරිපහදුව වහලා දැම්මාම පිටරටින් ගෙන්නන්නම වෙනවා. ඒ නිසායි අපි කියන්නේ මේ පිරිපහදුව නැවැත්වීම කුමන්ත්‍රණයක් කියලා.” යැයි සභාපතිවරයා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉකුත් 24 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූයේ භූමිතෙල් මිල සංශෝධනය කරන විට භූමිතෙල් සඳහා සහනයක් අවශ්‍ය පිරිස්වලට මූල්‍ය ආධාරයක් ලබා දීමට කටයුතු කරන බවයි. භූමිතෙල් ලීටරයක් රුපියල් 87කට අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 275.26ක අලාභයක් ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. භූමිතෙල් සඳහා සහනාධාරයක් දිය යුතු ධීවර, වතු කම්කරු පිරිස් ඇතුළු අඩු ආදායම්ලාභී පිරිස් වෙත ධීවර පරීක්‍ෂක, තේ පරීක්‍ෂක, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මාසිකව මූල්‍ය ආධාරයක් දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කරන බවද එය එසේ සිදු කරනුයේ  භූමිතෙල් මිල මේ ආකාරයට පවත්වාගෙන යාම නිසා එය අවභාවිත කරන පිරිසෙන් සිදුවන හානිය අවම කර ගැනීමට බවද අමාත්‍යවරයා පැවසීය‍. 

එසේම ඇතැම් බස් රථ රියැදුරන් ඩීසල් මිල වැඩිවන විට භූමිතෙල් තොග රුස්කරමින් ඒවා යොදා ප්‍රවාහන කටයුතුවල යෙදෙන බව කී ඇමැතිවරයා ඇතැමුන් සියයට සියයක් භූමිතෙල්වලින් ධාවනය කරන බව නිරීක්‍ෂණය වී තිබෙන බව ද පැවසීය. මෙම තත්ත්වය නිවැරුදි කරන තුරු භූමිතෙල් නිකුත් කිරීම සීමා කර ඇතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

බත් පත උයාගන්න භූමිතෙල් ගැනීමට නොහැකිව අහිංසක ජනතාව මහමග මාස ගණන් දුක් විඳිති.‍ ඒ පෝලිම්වල තවම ඉවරයක් නැත. ඇමැතිවරයා සීමා කරනවා යැයි කීවාට සීමා කරන්නවත් භූමිතෙල් මිලදී ගැනීමට ඇත්තේ නැත.

ප්‍රශ්නයත් උත්තරයත් දෙකම ඇත්තේ බලධාරීන් අතේය. අහිංසක ජනතාවට සිදුව ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමටය. දියුණුව පිළිබඳ සුබ සිහින දුටුවද රටක ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය මූලික අවශ්‍යතාවත් සපුරාලීමට අසමත්වීම රටක් හැටියට අප කෙතරම් ප්‍රාථමික තැනක සිටිනවාදැයි අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතු වෙමු. විදේශ සහනයක් යටතේ හෝ නැවතත් බොරතෙල් ගෙන්වීමටත් පිරිපහදුව ඇරඹීමෙනුත් මෙම භූමිතෙල් ගැටලුව යම් තාක් දුරකට හෝ මගහරවාගත හැකි යැයි අපි විශ්වාස කරමු.

■  සසංක චලන ගිම්හාන