2022 මැයි 29 වන ඉරිදා

පාසලේ දොර වැසුණු වීරකැටියේ දරුවා

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 726

“මේ ඉන්නේ අපේ ඉස්කෝ‍ලේ ප්‍රින්සිපල්, ප්‍රින්සිපල් හරියටම මට අවුරුද්දක් ඉස්කෝලේ එන්න දුන්නෙ නෑ”

කාලයක් තිස්සේ කුඩා දරුවකුගේ හිතේ පැසවමින් තිබූ අමිහිරි අත්දැකීමක් වචනවලට පෙරළීම හේතුවෙන් පිටවූ වේදනාබර වදන් පෙළකි. මෙය කියවූ විගසම සිද්ධිය කුමක්දැයි එය සිදුව ඇත්තේ කොහේදැයි නිසැකවම ඔබ හඳුනාගන්නවාට සැක නැත.
හොඳම දේ දරුවන්ට යැයි අපි අසා ඇත්තෙමු. රටේ අනාගතයේ මුල්ගල් පුංචි දරුවන්ය. දරුවන් ආරක්ෂා කිරීම, දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදීම රුකවරණය ලබාදීම සහ අවශ්‍ය සෑමවිටම දරුවන් වෙනුවෙන් පෙනී සිටීම වැඩිහිටියන්ගේ වගකීමකි. එම වගකීම් පැහැරහැරීමට කිසිවකුටත් හැකියාවක් නොමැත. ඇතැම් වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් අසරණ වූ දරුවන් ගැන කිහිප අවස්ථාවකදීම මාධ්‍ය මගින් අපි අසා ඇත්තෙමු. 

වීරකැටිය මැදමුලන නම කියූ පමණින් රටේ බොහෝ දෙනකු දන්නා හඳුනන මේ දිනවලදී වැඩි කතාබහට ලක්වන ප්‍රදේශයකි. ඒ කතාබහට පසුගිය දිනවලදී තවත් අලුත් මාතෘකාවක් එක්විය. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ දරුවකු සමාජ මාධ්‍ය ඔස්සේ සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේය. වසරක් තිස්සේ පාසල් යාමට නොහැකිව දරුවා විඳි වේදනාව සහ ඔහුට පාසලෙන් සිදුවූ බව කියන අසාධාරණකම් ගැන සජීවී වීඩියෝවක් ඉකුත් 19 වැනිදා සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි. 

කොණ්ඩය නොකැපූ බව කියන සිද්ධියක් හේතුවෙන් දරුවාට වසරක කාලයක් තිස්සේ පාසලට පැමිණීමට ඉඩ ලබා නොදුන් බව එම දරුවා පවසන අතර රජයෙන් නොමිලයේ ලබා දෙන පෙළපොත් ලබාගැනීමට පොලිසිය මැදිහත් කර ගැනීමට පවා සිදුවූ බව දරුවා කියයි. 

එම වීඩියෝවේ සඳහන් ආකාරයට දරුවා මෙසේ කියයි. 

“මේ ඉන්නේ අපේ ඉස්කෝ‍ලේ ප්‍රින්සිපල්, ප්‍රින්සිපල් හරියටම මට අවුරුද්දක් ඉස්කෝලේ එන්න දුන්නෙ නෑ. නාමලේඛනය අරගෙන බැලුවොත් අවුරුද්දක් මගෙ නම ලකුණුවෙලා නැහැ. සර්ලාගෙ ළමයි ඉස්කෝලෙ ඉන්නවා. ඒ අය හොඳට ඉගෙන ගන්නවා. අපිට විතරයි මේ වෙනස්කම් කරන්නේ. මට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න කවුරුවත් නැහැ. පොලිසි ගියාට පොලිසියෙන් ගණන් ගන්නෙ නෑ. සර්ගෙ පැත්ත ගන්නේ. මට ඉස්කෝලේ ෆෝන් එක තියාගන්න බැරිනම් අනිත් ළමයින්ටත් බෑ ෆෝන් එකක් තියාගන්න. ඒ අයවත් එළියට දාන්න ඕනෑ. අනිත් ළමයි කොහොමද ෆෝන් තියාගන්නේ?

මම 11 වසරෙ ළමයෙක්. මට ඉගෙනගන්න දුන්නෙ නැහැ. මාව එදා කෑගහල එළෙව්වා. ළමයි ඉස්සරහදීම මගේ කොණ්ඩෙ කැපුවා. කොණ්ඩෙ ගාන්න වුණා. ඒකට ලංකාවේ නීතියක් තියෙනවාද? ඇයි මට විතරක් එහෙම කරන්නේ. 

මම මැරෙනකල් මෙතැන ඉන්නවා. මට සාධාරණයක් කරන කල් මම යන්නෙ නෑ. නීතියක් නැද්ද ලංකාවේ. ඇයි ළමයින්ට මෙහෙම කරන්නේ? අපේ තාත්තත් අසාධාරණය කරන්නේ. අනිත් අය සේරම ඉස්කෝලෙ යනවා. ඇයි මට විතරක් මෙහෙම කරන්නේ. මම එදා ඉඳන් සාධාරණය ඉල්ලුවා. අනිත් ළමයින්ට වගේ මටත් සාධාරණය ඕනෑ. 

මම එදා ඉඳන් කතා කළා. අඩුම ගාණේ ඇප්ලිකේෂන් එක දාන්නවත් මට ඉස්කෝලෙ ඇතුළට එන්න දුන්නෙ නැහැ. මට අච්චු පොත් ටික දුන්නේ නෑ. පොලිසිය හරහා අච්චු පොත් ටික ගත්තේ. මට එක දවසක්වත් කතා කරන්න ඉස්කෝලෙ ඇතුළට එන්න දුන්නෙ නැහැ. අපේ ඉස්කෝලෙ සමහරුන්ට ඇඩ්මිෂන් දෙන්නෙ නෑ කොණ්ඩෙ කපල නෑ කියලා. හැබැයි ටැටූ ගහගෙන කොණ්ඩෙ වවාගෙන එන අය ඉන්නවා. ඒ අයට එක වචනයක් කියන්නෙ නෑ.

සිසුවා මෙසේ එක පෙළට ඉදිරිපත් කරන චෝදනා පත්‍රය සුළුකොට තැකිය නොහැකිය. සිසුවා මෙහිදී ප්‍රධාන චෝදනාව එල්ල කරනුයේ පාසලේ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන් පිරිසකටය. අප මේ සම්බන්ධයෙන් වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති ඒ. චමින්ද චින්තක මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසුවේය.

“දැනට මේ ගැන ආයතන තුනකින් විමර්ශන කටයුතු කරනවා. අපි ඒ අදාළ ආයතනවලට අවශ්‍ය ප්‍රකාශ ලබා දුන්නා. ඒ දරුවා මෙවර විභාගයට මුහුණ දෙනවා. දැනට විමර්ශන කටයුතු කෙරෙන නිසා වැඩිදුර ප්‍රකාශයක් කිරීම අපහසුයි” යැයි ඔහු පැවසීය. 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉකුත් 19 වැනිදා පැමිණිලි සිදු කර ඇත. එහෙයින් අප මේ සම්බන්ධයෙන් එක්සත් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂිකා ප්‍රනීතා වර්ණකුලසූරිය මහත්මියගෙන් මේ ගැන විමසීමේදී ඇය මෙසේ කීවාය. 

අපි ස්ථීර කරනවා මේ දරුවා වසරක් පාසල් ගිහින් නැහැ. ඇයි දරුවා ආවෙ නැත්තේ. ඒ වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ. මේකද රටේ දරුවො බලාගන්න ක්‍රමවේදය?

විදුහල්පතිතුමාට මා කතා කළා. විදුහල්පතිතුමා පිළිගත්තා දරුවාගේ කොණ්ඩය කැපුවා කියලා. ළමයි හතරදෙනෙක්ගෙ කොණ්ඩය කපා තිබුණා. ළමයා කියන දේ අහන්නෙ නැත්නම් අම්මා තාත්තාට සිද්ධිය පැහැදිලි කරල දීලා පන්ති බාර ගුරුතුමිය, විනය බාර ගුරුතුමිය සහ විදුහල්පති අත්සන් කරලා ළමයාව අම්ම තාත්තට බාර දීලා කොණ්ඩෙ කපපු දවසට ළමයාව එක්කන් එන්න කියලා සර්ට කියන්න බැරි ඇයි? සර්ලා මොනවටද කොණ්ඩය කපන්නේ? ළමයාගෙ මානසික තත්ත්වය මොකක්ද? ළමයාට ඇතිවෙන ලජ්ජාව ගැන හිතුණෙ නැද්ද? ළමයට පෙළපොත් දුන්නෙ නැති එකට මොනවද දෙන්න තියෙන උත්තර. දරුවා කියන සිදුවීම් සත්‍ය බවට අපි හඳුනාගෙන තියෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික ළමාරක්ෂක අධිකාරියට සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේ ගැන පැමිණිලි කළා. 

දරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේදී දරුවන් වෙනුවෙන් පෙනී සිටින මෙරට ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනය වශයෙන් සලකනුයේ ජාතික ළමාරක්ෂක අධිකාරියයි. එහෙයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මියගෙන් කළ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය. 

“මේ ගැන දැනගත් වහාම දකුණු පළාතට අදාළ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි මහත්මයා මෙයට සම්බන්ධ වී මූලික විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න නිසා අපි ප්‍රමුඛතාව දෙන්නේ විභාගයට මුහුණ දෙන එක ගැන. විභාගයෙන් පසුවයි ඉතුරු විමර්ශන කටයුතු කරන්නේ. විභාගයට මුහුණ දීම සඳහා දරුවාගේ මානසික තත්ත්වය ගොඩනැගීම සිදු කළා. ඉන් අනතුරුව සුදුසු විමර්ශන කටයුතු සිදු කරනවා. හැමෝම මේ දරුවාට නිදහස දෙන්න. ඇතැම් සංවිධානවලින් දරුවාගෙන් තොරතුරු ඉල්ලනවා. ඒක නෙවෙයි මේ වෙලාවේ කෙරෙන්න ඕනෑ. නිදහසේ විභාගය කරගන්න දරුවාට ඉඩ දෙන්නැයි මා ඉල්ලා සිටිනවා” යැයි ද ඇය පැවසුවාය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා:

“මේ ගැන වාර්තා කරන්න ළමාරක්ෂක අධිකාරියෙන් වීරකැටිය පොලිසියට ගිහින් තිබෙනවා. ළමයාගේ කොණ්ඩය කැපුවා කියන හිමිනමක් මේ වෙද්දි පාසලේ නැහැ. ඒ හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න සූදානම් කර තිබෙනවා. 

මේ සිද්ධිය ගැන මීට කලින් පොලිසියට සම්බන්ධයක් තිබිලම නැහැ. ළමයට මීට කලින් ඉස්කෝලෙ යන්න දෙන්නෙ නැහැ කියලා 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් අරගෙන තිබුණා.ඒ සිද්ධියට දරුවාගෙ ගෙදර ගියාට පස්සේ පැමිණිල්ලක් ඕනෑ නැහැ ඒක දැන් හරි කියලා එතැනින් අවසන් කර තිබුණා. ළමාරක්ෂක අධිකාරියෙන් දැනුම්දුන් නිසා පොලිසියෙන් මේ වන විට විමර්ශනයක් කෙරෙමින් පවතිනවා” යැයි ඔහු පවසයි. 

එසේම නීතිය අවභාවිත කළ බව කියමින් මෙම 16 හැවිරිදි පාසල් සිසුවා මෙරට නීතිය සම්බන්ධයෙන් ප්‍රශ්න පත්‍රයක් මෙම සජීවී වීඩියෝ දර්ශනයෙහි දිගහරියි. නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති, ශ්‍රීපාලි මණ්ඩපයේ වත්මන් මණ්ඩපාධිපති ජ්‍යෙෂ්ඨ නීතිවේදී ප්‍රතිභා මහානාමහේවා මහතා මෙසේ අදහස් දැක්වීය.

පාසල් දරුවන් ඇඳන් එන්න ඕනෑ ඇඳුම, ටයි එක ගැන සඳහනක් තිබුණත් කොණ්ඩය ගැන කිසිදු තැනක සඳහනක් වෙන්නේ නැහැ. ගැටලුවක් තිබෙනවා නම් විනය බාර ගුරුවරුන්ට තිබෙන්නේ දරුවා ගැන භාරකාරත්වය දැනුම්වත් කිරීමයි. ඔවුන් හරහා ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අනෙක් දරුවන්ගේ යහපත සඳහා සාධාරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂගේ නියෝග හරහා ක්‍රියාත්මක විය යුතුයි. එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම් කොමිසමට සෑම වසර 5කට වරක්ම වාර්තාවක් සපයනවා. එම වාර්තාවේදී ළමයාගේ අධ්‍යාපන අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගන්නවා. ළමයා පාසල් යවන්නේ නැතුව ගෙදර තියාගන්න බැහැ. එය ළමයාගේ අයිතිවාසිකම් කඩවීමක්. මානසික වදහිංසාවක්. 

අනීෂා මානගේ