2022 මැයි 29 වන ඉරිදා

තෙල් ඉවරයි කියා ෂෙඩ් එක අයිතිකරුගේ නිවෙසට ගිනිතැබූ නරුමයෝ

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 134

ආර්ථික පීඩාව හේතුවෙන් අසරණ වන ඇතැම්හු කෝප ගෙන අනෙකා වෙත වෛරය මුදාහරිති. එම වෛරය නිසාම බොහෝ විනාශයන් සිදුවී අවසන තවකෙක් අසරණ වෙයි. මෙවන් චක්‍රාකාර සිදුවීම් දිවයිනේ නන් දෙසින් වාර්තා වීමට පටන්ගෙන තිබේ. අප අවධාන යොමු කරන්නට සැරසෙන කැකිරාව ඉන්ධන පිරවුම්හල් හිමියාගේ නිවෙස ගිනි තැබීමේ සිදුවීම ද එවැන්නකි. අදාළ සිදුවීම සම්බන්ධ තොරතුරු මේ වන විටත් මාධ්‍ය සවිස්තරාත්මකව වාර්තා කොට හමාරය. එම නිසාම අප මෙහිදී උත්සුක වන්නේ අදාළ සිදුවීම පාදක කොටගත් කාලීන සමාජ දේශපාලනික විවරණයක් ඔබ හමුවේ තැබීමටයි.

කැකිරාව, රනජයපුර ප්‍රදේශයේ පිහිටි ලංකා IOC ඉන්ධන පිරවුම්හල හිමි ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවෙස කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කළේ ඉකුත් මැයි 21 වැනිදා රාත්‍රියේදීය. රාත්‍රියේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි සිදුවීම සම්බන්ධ විමර්ශන සිදු කළ ඉපලෝගම පොලිසිය පවසයි. අඳුරේදී අන්ධයන් විසින් සිදු කළ මෙයට හේතු වී ඇත්තේ යක්ෂයාගේ කෝපය බව අප අමුතුවෙන් කිව යුතු නැත. 

මෙම සිදුවීම සිදුවූ දිනයේ ඉන්ධන ලබාගැනීමට විශාල පිරිසක් රනජයපුර ප්‍රදේශයේ පිහිටි ලංකා IOC ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටියහ. ඒ අනුව දිගු පෝලිම්වල පැය ගණනාවක් මුළුල්ලේ ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් රුඳී සිටි බව කියැවේ. කෙසේ වෙතත් අවසානයේ  පිරවුම්හලේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් පෝලිමේ සිටි පිරිසකට ඉන්ධන ලබා දීමට නොහැකිව තිබේ. 

මේ මොහොතේදී පිරිසක් සාමකාමී ලෙස අදාළ ස්ථානයෙන් පිටව ගියද තවත් පිරිසක් ප්‍රකෝපකාරී ලෙස හැසිර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ප්‍රකෝපකාරී වූ මෙම පිරිසෙන් කණ්ඩායමක් එක්ව පිරවුම්හල් හිමියාගේ නිවෙසට මෙලෙස ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක කරයි. කෙසේ වෙතත් තවදුරටත් මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වේ.

මෙවන් ආර්ථිකමය කාරණාවක් අරභයා මෑතකාලීනව පෞද්ගලික නිවෙසක් ගිනිබත් වන පළමු අවස්ථාව මෙයයි. මැයි නම වැනිදා කෝලහලයේදී දේශපාලනඥයන්ගේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නිවාස ගිනිබත් වූ බව සැබෑය. එහෙත් එය දේශපාලනික කලහකාරී සිදුවීම් දාමයකි. කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වන මෙම සිදුවීම ඊට ඉඳුරා වෙනස්ය. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකික සමාජයීය බිදවැටීම පිළිබිඹු වන ප්‍රධානතම අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හැඳින්විය හැකිය.
මෙය පුරවැසියාට පුරවැසියා එරෙහිවීම නම් වූ ඛේදවාචකයක ඇරඹුමක් විය හැකිය. අදාළ සිදුවීම පිටුපස පෞද්ගලික පළිගැනීමක් හෝ වෛරයක් ඇද්දැයි අපි නොදනිමු. එය විමර්ශනය කිරීම ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරයකි. හේතුව කවරක් වුවද ආර්ථික පීඩනය හමුවේ පුරවැසි සදාචාර සීමාවන් බිඳවැටීම සහ නීතියට ජනයා අවනත නොවීම යන සමාජයීය යථාර්ථය මෙය හරහා පිළිබිඹු වේ.

ඉන්ධන පිරවුම්හල් හිමියා තමා වෙත ලැබුණු ඉන්ධන බෙදා අවසන් කළ පසුව මෙම ඛේදවාචකයට මුහුණ දීම ඉතා සංවේදී තත්ත්වයකි. ලැබී ඇති තොරතුරු අනුව මෙහි ඉන්ධන බෙදා දීම සාධාරණව සිදුව ඇතැයි කියැවේ. එහෙත් ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඟවා තබාගැනීම්, කළුකඩ මිලට විකිණීම් වැනි අකටයුතුකම් සිදුවන බව අපි දනිමු. එවන් අවස්ථාවක ජන සමූහයක් ප්‍රකෝපකාරී වන්නේ නම් ඒ තුළ ගත යුත්තක් තිබේ. නීතිය අතට ගැනීමට කිසිවකුට අවකාශය නැතත් අසාධාරණය හමුවේ කෝප වීම මනුෂ්‍ය ස්වභාවය යැයි කියා නිහඬ විය හැකිය.

රාත්‍රි විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදු කරන විට නිවෙසේ සිට ඇත්තේ, ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ බිරිද සහ දරුවන් දෙදෙනා බව පොලිසිය පවසයි. ඔබට මොහොතකට ඔවුන්ගේ මානසිකත්වය චිත්‍රණය  කරගත හැකි නම් ඒ මොහොත කොතරම් බිහිසුණු වන්නට ඇද්දැයි අවබෝධ කරගත හැකිවනු නිසැකය. යම් තැනක් වැරදී ගියේ නම් දරුවන් සමඟ මවකගේ ජීවිතය පවා මෙම සිදුවීම හේතුවෙන් අහිමිව යාමට ඉඩ තිබුණි. 

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත දියණියක් ද මෙම නිවෙසේ වූවාය. මැයි මස 21 වැනිදා අදාළ ගිනි තැබීම සිදුවන විට ඇය මැයි මස 23 වැනිදා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණි. පොලිස් වාර්තා අනුව ගිනි ගැනීම හේතුවෙන් එම දෙමහල් නිවෙසට හා එහි තිබූ දේපළවලට බරපතළ හානි සිදුව තිබේ. විශේෂයෙන්ම දරුවන්ගේ පාසල් පොත්පත් ද ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා කළ යුතුය. ඇසිල්ලක කෝපය විසින් අහිමි කර ඇත්තේ දරුවන්ගේ අනාගතය බව අප සිහි තබාගත යුතුය.

ගිනි තැබූ පිරිසට දරුවන් පිළිබඳව හෝ ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳව කිසිදු වග විභාගයක් නොවූ බව ඉතා පැහැදිලිය. ඇතැම්විට මොහොතකදී නරුමයන් වූ මෙම පිරිස ද දරුවන් සිටින දෙමව්පියන් විය හැකිය. නීතිය අතට ගත් අපරාධකරුවන් වුවත් ඔවුන් ද මෙම තත්ත්වයට පත්ව ඇත්තේ අසමත් රාජ්‍ය ආර්ථික බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් නීතිය ඉදිරියේදී ඔවුනට කිසිදු සමාවක් නොලැබිය යුතුය. නීතිය තිබිය යුත්තේ සියල්ලටම ඉහළිනි. නීතිය අතට ගැනීමට හෝ යුක්තිය පසිඳලීමට වීදි සරන්නන්ට අවසර නැත.

මානවයා පරිණාමයේදී සිය පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ආගම, රාජ්‍ය, නීතිය, සදාචාරය වැනි සමාජයීය මෙවලම් සකස්කොට ගත්හ. අප ශිෂ්ටාචාර ගතවීම අරුත් දක්වන්නේ එම සිදුවීම් දාමයයි. එහෙත් මානවයා තුළ ඇති අශිෂ්ට ගති පැවතුම් කිසිවිටෙකත් ඔවුන් කෙරෙන් පහව නොගියේය. තනි තනිව හා සාමූහිකව තම පැවැත්ම සහ ආරක්ෂාව අභියෝගයට ලක්වුණු මොහොතක මානවයා කෙරෙන් අශිෂ්ට ගති පැවතුම්  පිළිබිඹු වන්නේ එබැවිනි. රාජ්‍ය, නීතිය, ආගම, සදාචාරය විසින් තමන්ගේ පැවැත්ම සාධනය නොකරන බව ශ්‍රී ලංකාව තුළ සිටින මානවයන්ට හැඟී යමින් තිබේ. සැබැවින්ම ඔවුන් කෙරෙන් අශිෂ්ට ගති පැවතුම් විද්‍යාමාන වන්නට පටන්ගෙන ඇත්තේ ඒ හේතුවෙනි. එනිසාම මෙය සමාජ විද්‍යාත්මක අර්ථයෙන් ද අතිශය භයානක තත්ත්වයකි. 

ඇවිලී ගිය නිවෙසෙහි ගින්න ගම්වාසීන් සහ ඉපලෝගම පොලීසිය එක්ව දැන් මැඩපවත්වා අවසන්ය. දේපළ හානි බොහෝය. මෙම පවුලේ දරුවන්ගේ අනාගතයට සිදු වූ හානිය ද බරපතළය. සැබැවින්ම ඔවුන් කළ වරද කුමක්ද? මෙවන් අසමත් රාජ්‍යයක ඉපදීමද? තාත්තා පිරවුම්හල් අයිතිකරුවකු වීමද? එම ප්‍රශ්නවලට ඔබට මට පිළිතුරු නොමැත. 

ආර්ථික පීඩාව හේතුවෙන් පුරවැසියා පුරවැසියාට එරෙහි වන මේ ආදී වූ බරපතළ සිදුවීම්වල පළමු සහ අවසන් සිදුවීම මෙය වෙතැයි අපි ප්‍රාර්ථනා  කරමු. ආර්ථික පීඩනය හමුවේ නිර්මාණය වන අවිචාරවත් සමාජයක් තුළ නීතිය සහ සදාචාර සීමාවන් ඉක්මවා ඛේදවාචකයට රට රුගෙන නොයාම පාලකයන් සතු වගකීමකි. එහෙත් එය පාලකයන් අවබෝධ කරගෙන ඇත්දැයි අප තුළ වන්නේ පැහැදිලි සැකයකි.

ආර්ථික පීඩනය හමුවේ අවිචාරවත් සමාජයක් නිර්මාණය වුවහොත් අරගලකරුවන්, දේශපාලනඥයන්, පුරවැසියන් ආදී බෙදීම් එහි නොවනු ඇත. එවන් අවිචාරවත් සමාජයක සිටින්නේ දුබල යන සහ ප්‍රබලයන්ය. දුබලයන් ප්‍රබලයන් ගොදුරු කර ගනු ඇත. සැබවින්ම මිනිසුන් එකිනෙකාට එදිරි වනු ඇත. එම නිසාම උසස් මනසක් ඇති මනුෂ්‍යයන් ලෙස මේ මොහොතේ අප වඩාත් ඉවසිලිවන්ත විය යුතුමය. 

ඔබ තුළ වන අනේකවිධ දුක් පීඩාවන් නිසාවෙන් අනෙකාගේ දුක නොදැනෙන තැනට ඔබ පත්වනු ඇත. ඒ නිසාම නිරන්තර එළඹගත් සිහියෙන් යුතුව කටයුතු කිරීමට ප්‍රවේසම් වන්න. මන්ද ඔබ තරම්ම අනෙකා ද පීඩිතව සිටියි.

 චමිඳු නිසල් ද සිල්වා 

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05