
ශ්‍රී ලාංකික කාන්තාවක් ප්‍රථමවරට ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කරන්නට සමත්ව තිබේ. ඇය කැසැන්ඩ්‍රා ප්‍රනාන්දුය. පසුගිය සතියේ පැවැති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී කම්කරු පක්ෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ හෝල්ට් ආසනය නියෝජනය කළ ඇය ඡන්ද 40,187ක් (57.5% ක ප්‍රතිශතයක්) ලබා ගනිමින් එම අසුන ජයග්‍රහණය කර තිබේ. මෙවර පැවැති මහ මැතිවරණයට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඉදිරිපත්ව සිටියහ. කැසැන්ඩ්‍රාගේ ප්‍රතිවාදියා වූයේ ලිබරල් පක්ෂයෙන් හෝල්ට් ආසනයට තරග කළ ශ්‍රී ලාංකිකයකු වන රන්ජ් පෙරේරාය. ඔහුට ඡන්ද 29,732ක් හිමි විය. (ප්‍රතිශතයක් ලෙස 42.5%කි) ස්කලින් ආසනය සඳහා ලිබරල් පක්ෂයෙන් තරග කළ අනෙක් ශ්‍රී ලාංකිකයා වූ විරෝෂ් පෙරේරා ඡන්ද 17,385ක් ලබාගත් අතර ඔහු කම්කරු පක්ෂයේ ගිලිස් ඇන්ඩෘ හට පරාජය විය.
කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු සිය දෙමාපියන් සමඟ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 1999දීය. එවක ඇය එකොළොස් හැවිරිදි දැරියකි. වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු ඩැංඩෙනොංග් ප්‍රදේශයේ වාසය කළ ඇයට තම මවුපියන් දුන් අවවාදය වූයේ කිසිවක් සුළුකොට නොතැකිය යුතු බවට හා අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බවටත්ය. එමෙන්ම තම ප්‍රජාවට මෙන්ම ඕස්ට්‍රේලියාවටද කෘතවේදී වීමටත් හැකි සෑම අවස්ථාවකම තමන් ලද දෙයට කෘතඥ වීමට කටයුතු කළ යුතු බවටත්ය. එමෙන්ම මිනිසකු විසින් ඉටුකරන රාජකාරිය වෙනුවෙන් සාධාරණ වැටුපක් හිමිවිය යුතු බවත්, සමාජය උදෙසා කැපවීමේ වැදගත්කමත් ඇගේ මව්පියන් ඇයට උගන්වා තිබිණි. ආගන්තුක සත්කාරකත්වය පිළිබඳ ඩිප්ලෝමාවක් හා අධ්‍යාපන සහායිකාවක ලෙස සහතික ලබා ඇති ඇය ව්‍යාපාරික, බෙදාහැරීමේ සහ අනුබද්ධ සේවක සංගමයේ නියෝජිතවරියක වූ අතර පසුව එම සංගමයේ සංවිධායකවරියක ලෙස වසර පහක් කටයුතු කර තිබේ.

කුඩාකල සිට අද දක්වාම ඇය ආරක්ෂා කරන සාරධර්ම තුනක් ඇත. ඒ වෙහෙස මහන්සි වී වැඩකිරීම, කැපවීම සහ කෘතඥතාව පළකිරීම යන්නයි. ඇය වෘත්තියෙන් පේස්ට්‍රි චෙෆ් වරියක වන අතර අත්‍යවශ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියකි. ඇය නව යොවුන් වියේදී Woolies Dandenong Plaza හි සේවයට බැඳුණු අතර වසර 15 කට ආසන්න කාලයක් බේකරි කර්මාන්තයේ නියැලුණාය. වර්තමානයේ ඇය සිල්ලර හා ක්ෂණික ආහාර කර්මාන්තයේ නියුතු සේවකයන් නියෝජනය කරන්නීය. කොවිඩ් වසංගත සමයේ වෙහෙස නොබලා සේවය කළ අත්‍යවශ්‍ය සේවකයන්ගේ වැටුප් නිසිලෙස ලබාදීම සඳහා කටයුතු කළ ඇය ඔවුන්ගේ රුකියා කොන්දේසි ආරක්ෂා කර දීමටද පියවර ගත්තාය..
ඇය ඉංග්‍රීසි කතා කළ නොහැකි සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට ස්වේච්ඡාවෙන් ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කරන අතර භාෂාව නොදැනීම මත ඔවුන් එරට තුළ මුහුණ දෙන අසීරුතාවන්ගෙන් ගලවා ගැනීමට උපකාර කරන්නීය.
කැසැන්ඩ්‍රා හෝල්ට් ආසනය සඳහා කම්කරු පක්ෂයෙන් තරග කිරීමට තීරණය කළේ එම ප්‍රදේශයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළ හැක්කේ කම්කරු පක්ෂයට බැව් විශ්වාස කළ බැවිනි. 2022 මාර්තු මාසයේදී හිටපු කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්තනි බර්න් විශ්‍රාම ගැනීමෙන් පසුව, 2022 ෆෙඩරල් මැතිවරණය සඳහා හෝල්ට් ආසනය වෙනුවෙන් තෝරා ගැනුණේ කැසැන්ඩ්‍රා ප්‍රනාන්දුය. ඇය කම්කරු දක්ෂිණාංශික පාර්ශ්වයේ සාමාජිකාවක වන අතර, වාමාංශික පාර්ශ්වයට එම ආසනයේ ආසනයේ විශාල සාමාජික සංඛ්‍යාවක් සිටියද හෝල්ට්හි අපේක්ෂකත්වය ඇයට හිමි විය.
මෙතෙක් ඔස්ට්‍ර්ලියාවේ පාලන බලය හිමිව තිබුණේ ලිබරල් පක්ෂයටයටය. අගමැතිවරයා වූයේ ස්කොට් මොරිසන්ය. වසර 9ක ලිබරල් පාලනය අවසන් කරමින් මෙවර ජයග්‍රහණය කර ඇත්තේ කම්කරු පක්ෂයේ ඇන්තනි ඇල්බනීස්ය. ඔහු එරට රටේ 31 වැනි අගමැතිවරයා ලෙස පසුගියදා වැඩ බාර ගත්තේය. කම්කරු පක්ෂයට ආසන 71ක් හිමි වූ අතර ලිබරල් පක්ෂයට හිමි වූයේ ආසන 52ක් පමණි. බහුතර බලයක් ලබා ගැනීමට නම් මන්ත්‍රී ධුර 76ක් අවශ්‍ය වන අතර ඒ සඳහා සුළු පක්ෂවල සහයෝගයද ඇල්බනීස්හට හිමි වන බව පැවසේ. ඕස්ට්‍රේලියානුවන් වෙනසකට ඡන්දය දුන් බව නව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් තම ආධාරකරුවන්ට ප්‍රකාශ කර තිබේ. මේ අතර, හිටපු අගමැති ස්කොට් මොරිසන් පරාජය පිළිගෙන ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු මීළඟ පක්ෂ රුස්වීමේදී ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට නියමිතය.
කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු එලෙස ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අසුනක් හිමිකරගත් අතර ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ සහ සමාජ සේවිකාවක වන ෆෙරෑසා මුසම්මිල් මහත්මියගේ දියණියක වන ෆාතිමා ෂස්නා මුසම්මිල් මෙනවිය මෙවර එක්සත් රාජධානියේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කර ඇත. කන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකාවක වන වන ෂස්නා, මැයි 6 පැවැති මිල්ටන් කෙයින්ස් පළාත්පාලන මැතිවරණයේදී ටැටන්හෝ වෝඩ් අසුන නියෝජනය කළ අතර. ඡන්ද 1,167ක් හිමිකරගනිමින් එම අසුන ජයගෙන තිබේ.

ෂස්නා එක්සත් රාජධානියේ විවෘත විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන කළමනාකරණය පිළිබඳ එම්එස්සී උපාධිය සහ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් එම්බීඒ උපාධිය හිමිකරගෙන සිටී. විවිධ සමාජසේවා සංවිධාන රුසක ක්‍රියාකාරී ස්වේච්ඡා සේවිකාවක වන ෂස්නා මුසම්මිල් මෙනවිය දෙමව්පියන් සිරගතව සිටින දරුවන්හට උපකාර කරන චිල්ඩ්රන් හර්ඩ් ඇන්ඩ් සීන් නමැති සංවිධානයේ උපදේෂිකාවකද වෙයි.
මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර තිබුණේ “ටැටන්හෝ වෝඩ් ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් බහුතරයක් මට ඡන්දය දුන් අතර මම දැන් ඔබේ තේරී පත් වූ මන්ත්‍රීවරියයි. ඔබ සැමට මාගේ ස්තුතිය පුදකරමි. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය හා අපේක්ෂාව නිසා මම සැබවින්ම නිහතමානී වෙමි. මා කෙරෙහි දක්වන ලද විශ්වාසය මම සාධාරණීකරණය කරමි.” යනුවෙනි.
ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා 2011-2015 දක්වා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියක ලෙසද කටයුතු කළ අතර 2018 වන තෙක් කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළාය. ශ්‍රී ලංකාවේ කාන්තා සවිබල ගැන්වීමේ අරමුණු උදෙසා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානයක් වන විමෙන් ඊ චැම්පියන් සංවිධානයේ තානාපතිවරියක ලෙසද ඇය පත්කර තිබිණි. ෂස්නා මුසම්මිල් මෙනවිය කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා