
කොළඹ නගරයට යාබදව පිහිටි අභය භුමි හා තෙත්බිම්වලින් නාගරික පරිසරයේ අධික උණුසුම සමනය කිරීමට මෙන්ම ගංවතුර පාලනයටත් ඉටුකරන මෙහෙය අපමණය. මේවා අභය භූමි ලෙස ප්‍රකාශ කිරීමට පෙර සැලකුවේ නාගරික කුණුකසළ පුරවන, බිම් ගොඩකර ගොඩනැගිලි තනන වගුරු බිම් ලෙසිනි. පරිසරවේදීන්ගේ දැඩි ඉල්ලීම මත ඒවා අභය භුමි ලෙස ප්‍රකාශයට පත් විය. ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය සහ බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය එසේ ප්‍රකාශිත රක්ෂත තෙත්බිම් දෙකකි. නීතියෙන් සුරක්ෂිත වුවද මේවායේ විනාශය නම් එසේමය. මුලින්ම දේශපාලන හෙංචයියලා විසින් කළ විනාශය පසුව දේශපාලන ලොක්කන් විසින්ම නියෝග දී කරන තැනට දැන් තත්ත්වය වෙනස් වී තිබේ. පසුගියදා ඇතුල්කෝට්ටේ විහාරයක නායක හාමුදුරුනමකගේ ඉල්ලීම පිට ඉහළ දේශපාලන බලය මත ඇතුල්කෝට්ටේ තෙත්බිම් සංවර්ධනය කරන මුවාවෙන් කරන කටයුතුවලින් සිදුව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට අයත් තෙත්බිම්වල පරිසරය විනාශ වීමයි.
පසුගිය මාර්තු මාසයේදී නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව කෝට්ටේ අභය භූමියට අයත් ඇතුල්කෝට්ටේ තෙත් බිම ගොඩකරමින් ඇළ මාර්ග හෑරීම සිදු කෙරිණි. මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු වුවද එවැන්නක් සිදුව නැත. අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදුවන මෙම කටයුත්තකට එරෙහිව කැණීම ආරම්භ කළ අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අභය භූමිය තුළ සිදුකළ සියලුම නීති විරෝධී ක්‍රියා නතර කිරීමට පියවර ගත්තේය. නමුත් පසුව දේශපාලන බලපෑම නිසා අද වනවිට නීතිය බල්ලාට දමමින් අභය භූමියේ ස්වාභාවික පැවැත්මට හානිකර බලපෑම් ඇති කරමින් යළිත් එම කටයුතු ඇරඹී තිබේ. එම සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහාය දැන් ලබාදෙමින් තිබේ.
පසුගිය කාලය පුරාම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්රිත තෙත් බිම්වල වනජීවින් ජීවත්වන බවවත් නොසලකා දේශපාලන බලපෑම් මත කොන්ක්‍රීට් භාවිතයෙන් මිනිසුන් සඳහා ඇවිදින මංතීරු, උද්‍යාන ආදිය ඉදිකිරීම නිසා පරිසර පද්ධතිය විනාශ වී ගොසිනි. ඒ අතරම ගංවතුර හානි වැළැක්වීමට ඒවාට ඇති හැකියාව අහිමි වී ගියේය.
වගුරුබිම් පද්ධතියක පිහිටි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැතිව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව පසුගිය කාලයේ පෙනුණි. දේශපාලනඥයන්ට පරිසරය අවශ්‍ය වන්නේ ඡන්දය දිනාගැනීමට දේශපාලන පොරොන්දුවක් ලෙස පමණි. වගුරු බිම්වලට සිදුකළ විනාශය නිසා අද වනවිට කොළඹ ආශ්රිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමට විශාල මුදලක් වැය කරමින් ගංවතුර පාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් කෝට්ටේ අභය භූමියේ විශාල කොටසක් ගොඩකර දියත උයන පිහිටුවීම සිදුවිය. මේ නිසා පක්ෂීන් ඇතුළු වනජීවිහු පරිසරය හැර ගියහ. ඒ අවට තෙත්බිම් පරිසරය සම්පූර්ණයෙන් විනාශ වී ගියේය.
කොළඹ, ලොව අනෙකුත් අගනගර හා සසඳන විට කුඩා නගරයක් වුවත් එහි පාරිසරික වැදගත්කම ඉහළය. පරිපාලන අගනුවර වන කෝට්ටේ කොළඹ නගරයට යාබදව පිහිටා ඇති අතර එය 13-14 වැනි සියවස්වල දී රටේ රාජධානිය වශයෙන් පැවතුණි. කෝට්ටේ ආරක්ෂිත රාජධානියක් වූයේද නගරය වටා පිහිටි වගුරු තෙත් බිම්වලින් ලැබුණු ආරක්ෂාව නිසා හෙවත් පංක දුර්ගයක් වූ නිසා බව ඉතිහාසයේ සඳහන් වේ.
වගුරු ආශ්රිත ශාක, පඳුරු සහිත බිම්, තණ බිම්, ගංගාධාර සහ කඩොලාන වනාන්තර ඇතුළත් ප්‍රධාන ශාකාවරණ 7කින් කොළඹ තෙත් බිම් සමන්විතය. මෙම කලාපය තුළ ජලජ සත්ව විශේෂ 209 ක් වාර්තා වන අතර මින් 17 ක් ආවේණික විශේෂ වීම වැදගත්ය. තවත් සත්ව විශේෂ 26ක් ජාතික වශයෙන් තර්ජනයට ලක්ව ඇත. ජලජ සත්ව විශේෂ අතුරින් සියයට 60ක් ජාතික වශයෙන් තර්ජනයට ලක්ව සිටින විශේෂ වේ. තර්ජනයට ලක්වූ විශේෂ අතර අඳුන් දිවියාද සිටී. ආවේණික ශාක විශේෂ 09ක් ඇතුළත්ව කොළඹ තෙත් බිම් ආශ්‍රිතව ශාක විශේෂ 252ක් පමණ වාර්තා වේ.
කෝට්ටේ පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔය කේන්ද්‍ර කරගත් තෙත්බිම් හෙක්ටයාර් 449.2ක් අභය භූමියක් ලෙස ප්‍රකාශ කෙරුණේ 1985 ජනවාරි 9 දිනයි. පසුකාලීන සංවර්ධන කටයුතු නිසා මේ වනවිට එහි ඉතිරිව ඇත්තේ සුළු බිම් ප්‍රමාණයක් පමණි. දියවන්නා ඔය හා පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය දැනට අභය භූමියට ඉතිරිව පවතින අතර පාර්ලිමේන්තුවට වම්පසින් තිබූ තෙත් බිමෙන් විශාල කොටසක් දියත උයන නාගරික උද්‍යානය හා වෙළෙඳසල් තැනීමට ඉවත්කර තිබේ. එකම තෙත්බිමක් ලෙස ආරක්ෂා කරනු වෙනුවට විවිධ උද්‍යාන තනමින් මේ තෙත්බිම් පද්ධතිය කැබලි කිරීම පසුගිය කාලයේදී සිදුවිය. තලවතුගොඩ ප්‍රදේශයේදී දියසරු උයන නාගරික තෙත්බිම් උද්‍යානය පිහිටවූ අතර පාර්ලිමේන්තුවට නුදුරින් කෝට්ටේ අභය භූමියේ හෙක්ටයාර් 18ක බැද්දගාන තෙත්බිම් උද්‍යානය පිහිටුවා තිබේ. එම උද්‍යානය විවෘත කළේ 2016 වසරේ ජූනි 15 වැනිදා වැනි අතර පාලනය වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේය.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර මේ ගැන දැක්වූයේ මෙවන් අදහසකි:
''නාගරික සංවර්ධනය හා නගර අලංකරණය යන වචන භාවිත කර සිදුකළ මෙම තෙත් බිම් පද්ධති විනාශ කිරීම හේතුවෙන් අද වනවිට තෙත් බිම් ආශ්රිත ජෛව ප්‍රජාවට දරුණු බලපෑම් එල්ල වෙලා. කොළඹ අවට ප්‍රදේශවලට පැමිණෙන තෙත් බිම්වලට ප්‍රිය කරන සංක්‍රමණික පක්ෂි විශේෂවලටද මේ නිසා ගොදුරු බිම් අහිමි වී වෙලා. එපමණක් නොව වෙරළාශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල වගුරු පද්ධති කැණීම් කර විශාල ගැඹුරු ජලාශ ඉදි කිරීමෙන් මුහුදු ජලය රට අභ්‍යන්තර ප්‍රදේශවලට කාන්දුවීම වර්ධනය වී පස ලවණීකරණයට ලක්වීමෙන් අනාගතයේ ගැටලු බොහොමයක් ඇතිවීමට පුළුවන්.''
කෝට්ටේ අභය භූමියේ නේවාසික හා සංක්‍රමණික පක්ෂි විශේෂ 147ක් පමණ වාර්තා වී තිබේ. අභය භූමියේ ඇළ මාර්ගවල දිවිගෙවන දේශීය මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 18කි. සමනළ විශේෂ 67ක් පමණද අභය භූමිය අලංකාර කරමින් සරති.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත බලවත් පනතකි. එහි 2(2) උප වගන්තිය යටතේ ප්‍රකාශිත අභය භූමියක වනජීවීන්ගේ පැවැත්මට හා තෙත් බිම් පද්ධතියේ පැවැත්මට බලපෑම් වන ඕනෑම හානි කර ක්‍රියාවක නිරත වීම පැහැදිලිවම නීතිවිරෝධීය. අහිංසක ගැමියකු දර කෑල්ලක් කඩා ගත්තත් අල්ලා හිරේ දමන වනජීවි අඩවි ආරක්ෂයන්ගේ දෑස් මේ සම්බන්ධයෙන් අන්ධව පවතී. තෙත්බිම තුළ සිදුවන අනීතික කටයුතු නතර කිරීමට සමත් බලධරයෙක් මිහිපිට නැති බවයි අපට පෙනෙන්නේ.
කුසුම්සිරි විජයවර්ධන