2022 මැයි 29 වන ඉරිදා

වෙළෙඳපොළෙන් පාරිභෝගිකයා විසිවෙලා වෙළෙන්දා රජවෙල

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 122

අද වනවිට වෙළෙඳපොළ පාරිභෝගිකයාට අහිමි වී ඇති අතර එහි පාලන බලය ලබාගෙන ඇත්තේ ව්‍යාපාරිකයන්ය. වෙළෙඳුන්ය. මෙය යථාර්ථයට පිටින් යාමකි. වෙළෙඳපොළ ගොඩනැගී ඇත්තේ පාරිභෝගිකයා සහ වෙළෙන්දා යන දෙදෙනාගෙන්මය. ඒ දෙපාර්ශ්වයේම සම්මිශ්‍රණය වන්නේ වෙළෙඳපොළයි.

වෙළෙඳපොළෙන් පාරිභෝගිකයා ඉවත් කර එතැන අයිතිය සම්පූර්ණයෙන්ම වෙළෙන්දා ලබාගෙන තිබේ නම් එහි ප්‍රායෝගික තත්ත්වයක් නැත. භාණ්ඩයක මිල තීරණය කිරීමට පාරිභෝගිකයා ප්‍රබලතම සාධකයකි. එයට හේතුව භාණ්ඩ මිල උස් පහත් වීමට ඔහුගේ ඉල්ලුම සාධක වන නිසාය. එසේම ආර්ථික විද්‍යාව අනුව පාරිභෝගිකයාගේ කේවෙල් කිරීමේ අයිතිය භාණ්ඩ මිලට ප්‍රබල ලෙස බලපායි. එහෙත් අද භාණ්ඩ මිල පිළිබඳ කේවෙල් කිරීමේ ශක්තියක් නොමැත. වෙළෙන්දා කියන මිලට ඒවා ලබාගත යුතුය. වෙළෙන්ඳෝ පාරිභෝගිකයා ගැන උනන්දුවක් නොදක්වති. එයට හේතුව එක් අයකු නැතිවූවාට ඔවුන්ට තවත් දහසකුත් එකක් සොයා ගත හැකි නිසාය.

මෙම වෙළෙඳපොළ ඒකාධිකාරීත්වය බිහිවූයේ ඇයි? එයට ප්‍රධානතම හේතුව වෙළෙඳපොළේ භාණ්ඩ හිඟවීමයි. ඉල්ලුමේ තරමට සැපයුම නැත. නිෂ්පාදනය අඩුය. ඒ නිසා මිල ඉහළය. වෙළෙන්දා තීරණය කරන මිලට භාණ්ඩය ගැනීමට පාරිභෝගිකයාට සිදුව ඇත. 2003 වසරේ අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ප්‍රකාරව පාරිභෝගික සේවා අධිකාරියක් පිහිටුවා ඇත්තේ පාරිභෝගිකයා වෙළෙඳ මාෆියාවෙන් ගලවාගෙන ඔහුට සහන සැලසීමටය. එවැනි ආයතනයක් තවමත් ශ්‍රී ලංකාවේ තිබෙන නමුත් එයින් පාරිභෝගිකයා බලාපොරොත්තු වන තරමේ සහනයක් සැලසී නැත. එහි පවතින විවිධ අඩුපාඩු අතරින් රිංගා ගොස් ස්වකීය අභිමථාර්ථයන් සලසා ගැනීමට වෙළෙන්ඳෝ වාසනාවන්ත වී සිටිති.

භාණ්ඩ හිඟවීම නිසා වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා බහුලය. වෙළෙඳ මාෆියාවක් නිර්මාණය වී ඇත. තොග සහ සිල්ලර වෙළෙඳුන් සම්බන්ධ වී දැනට කරන අක්‍රමිකතාවක් වනුයේ වෙළෙඳපොළට පැරණි මිලට පැමිණි භාණ්ඩ අලුත් මිල ගණන්වලට අලෙවි කිරීමය. ලේඛකයා විසින් වෙළෙඳපොළ තුළ කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඇතැම් වෙළෙඳ භාණ්ඩවල පැකැට්ටුවේ සඳහන් මිල එසේම තිබියදී ඒවා අලුත් මිල ගණන්වලට විකිණීම සිදුවීමය. ඇතැම් සුපිරි වෙළෙඳසල්වල පවා මෙම වංචාව කරන අතර, කිරිපිටි, පැකට් කළ ආහාර, බිස්කට්, සබන්, දත්බෙහෙත්, සෝදන කුඩු, බුරුසු ආදී ද්‍රව්‍ය අලුත් මිල ගණන්වලට අලෙවි කරයි. ඇතැම් අවස්ථාවල දක්වා ඇති මිල මත වෙනත් කොළයක් අලවා හෝ මිල වෙනස් කර අලෙවි කරන බවද දක්නට ඇත. මෙම තත්ත්වය වැළැක්වීමට බලධරයන් ක්‍රියා කරන බවක් දක්නට ඇත.

එසේම පරිප්පු, සීනි, වියළි මිරිස්, පොල්තෙල්, කරවල වර්ග, මාළු, කුකුළු මස්, බිත්තර ආදී ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ නොයෙක් වෙළෙන්ඳන් විවිධ මිලට අලෙවි කරන බව පෙනී ගොස් ඇත. එකම වර්ගයේ මයිසූර් පරිප්පු, මුං ඇට, කඩල වැනි වියළි ආහාර වර්ග විවිධ මිල ගණන් යටතේ අලෙවි වන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුය. ආනයන කිරි මෙන් පසු එකම තොග මිලක් වේ නම් ඒවා නගරයේ මෙන්ම ගමේ කඩයේද එකම මිලකට අලෙවි විය යුතුය. ප්‍රවාහනය සඳහා යම් මිල වෙනසක් සිදුවිය හැකිය. එහෙත් එය විශාල මිල වැඩිවීමක් නොවේ. එකම භාණ්ඩය උදේ අලෙවි කරන මිලට වැඩියෙන් සවස විකුණයි. නගරයේ යම් භාණ්ඩයක් හිඟ වූ විට තිබෙන ස්ථානයේ ඒවායේ මිල වැඩි වෙයි.

දේශීය සහල් අලෙවි කිරීමේදීද පාරිභෝගිකයා විශාල වශයෙන් ගසාකෑම සිදුවෙයි. සහල් මිල තීරණය කිරීෙම් ඒකායන බලය වෙළෙඳුන්ට හිමිව ඇත. මහා පරිමාණ මෝල් හිමියෝ බොහෝ අවස්ථාවල බෑග්වල උපරිම සිල්ලර මිල සඳහන් නොකරති. සතියෙන් දෙකෙන් සහල් මිල වැඩි කරන අතර පෙර එවූ සහල්වල ඉතිරිව ඇති පැකට් ද වැඩි කළ මිලට අලෙවි කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියෝ සිල්ලර වෙළෙඳුන්ට බලපෑම් කරති. ඔවුන් වැඩි වූ මිල සිල්ලර වෙළෙන්ඳාගෙන් අයකරන නිසා එම වැඩි මිලට අලෙවි කරනවා හැර වෙනත් විකල්පයක් නැත.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පවසන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මේ වනවිට වෙළෙඳපොළේ පවතින අර්බුදය උපයෝගී කරගෙන පාරිභෝගිකයන්ට හිරිහැර කරන අයට එරෙහිව විවිධ පියවර ගනිමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළකට යොමුව ඇති බවය. එහෙත් ඇතැම් ආත්මාර්ථකාමී වෙළෙඳුන් මේ අවස්ථාවේදී විවිධ උපක්‍රම යොදවමින් පාරිභෝගිකයා ගසාකෑමට යොමුව ඇතැයි ඔහු කියයි. අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමද ඉන් එකකි.

''ආහාර පැකට්වල බහා හෝ බෑග්වල දමා විකුණන විට පාරිභෝගික ආරක්ෂණ පනත අනුව පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි භාණ්ඩයේ නිෂ්පාදන දිනය සහ කල් ඉකුත් වූ දිනය ද, බර හෝ ප්‍රමාණය සහ උපරිම මිල ද සඳහන් කළ යුතු වෙනවා. එහෙත් මේ නියමය කඩ කරමින් භාණ්ඩ පැකට් අලෙවි කරන අවස්ථා අපට හමුවෙලා තියෙනවා. එසේම පැකැට්ටුවේ සඳහන් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට විකුණන බවද පෙනී ගොස් තිබෙනවා. පොහොර පැකට් මෙලෙස සඳහන් මිලට වැඩියෙන් අලෙවි කළ ස්ථාන කිහිපයක් අප පසුගියදා වැටලුවා. ඉන්දියාවෙන් ආනයනික පැකට්වල සඳහන් කළ මිල මකා අලුත් මිල සඳහන් කර අලෙවි කරන බව අනාවරණය වුණා.

පසුගිය දිනවල බොරලැස්ගමුවේ සහ කුරුණෑගල මෙවැනි වැඩි මිලට පොහොර අලෙවි කරන ස්ථාන දෙකක් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීති මගින් ක්‍රියා කිරීම ඇරඹුවා. පිටරටින් ආනයනය කරන ද්‍රව්‍යවලට ගෙවන මිල සහ නැව්ගත කර ලංකාවට ගෙන එන විට වන වියදම් සහ ගබඩා ගාස්තු මෙන්ම රජයේ බදු ආදිය ගණනය කර ඒවායේ මිල තීරණය කළ යුතු වෙනවා. අධිකාරිය ඒ පිළිබඳ සොයා බලා උපරිම සිල්ලර මිල නියම කරනවා. එයට වඩා අලෙවි කරන අය සොයා බලා එම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරනවා.

අනිත් ගැටලුව වන්නේ පැකට් සහ බෑග්වල සඳහන් කර ඇති මිලට වැඩියෙන් අලෙවි කිරීමයි. අද බොහෝ ද්‍රව්‍ය මෙලෙස අලෙවි කරන බවට අපට පැමිණිලි ලැබෙනවා. මෙහිදී අපට සොයා ගන්නට හැකි වූ දෙයක් වන්නේ මේවායේ ඇසුරුම් පෙට්ටි, බෑග් ආදිය ලක්ෂ ගණනින් එකවර නිෂ්පාදනය කරනවා. ඒ අවස්ථාවේ පවතින මිලයි ඒවායේ සඳහන් වන්නේ. එහෙත් අද පවතින තත්ත්වය අනුව මෙම ද්‍රව්‍යවල මිල නිතර වෙනස් වෙනවා. මසකට කිහිප වතාවක් සිදුවිය හැකියි. එසේ වූ විට ව්‍යාපාරිකයන්ට නිතරම ඒ පැකට්වල මිල වෙනස් කළ නොහැකි නිසා එම බෑග් ආදිය ඇසුරුම්වල දමා ඒවායේ සඳහන් මිලට වඩා වැඩි මිලට අලෙවි කරනවා. මේක ප්‍රායෝගික ගැටලුවක්. මෙවැනි අවස්ථාවලදී සඳහන් කර තිබෙන මිල ගැන නොසලකා අලෙවි කරන්නට වෙළෙඳුන්ට සිදුවෙනවා. එසේ නොවේ නම් ඒ ඇසුරුම්වල මිල වෙනස් කර හෝ එය මතින් යම් කඩදාසියක් අලවා ඒ මිලට අලෙවි කරනවා. අද වෙළෙඳපොළේ අලෙවි කරන්නේ එලෙස තිබෙන භාණ්ඩයි. මෙම තත්ත්වය මත අපට ප්‍රායෝගික තත්ත්වය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වරද පාරිභෝගික සේවා අධිකාරිය මතම පටවන්න බැහැ.

සීනි ගැන පැවසුවොත් සීනි ඉන්දියාවෙන් ගෙනෙන විට ගෙවිය යුතු මිල මෙන්ම ආනයනයේදී සිදුවන වියදම්ද සලකා බලා ලාභයක්ද තබාගෙන මිල නියම කළ යුතු වෙනවා. අපි සෑම සතියකටම දෙවරක් අපේ නිලධාරීන් ලවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ගෙන්වා ගන්නවා. එහිදී යම් අසාධාරණ ලෙස වැඩි මිලට අලෙවි කිරීමක් කරනවාදැයි සොයා බලනවා. සීනි කිලෝව කොළඹ රුපියල් 210ක් වෙනවා නම් අනුරාධපුරය, යාපනය ආදී ඈත පළාත්වල රුපියල් 250ක් වෙන්න බැහැ. කොහොමද ගත්තේ කියලා සොයලා බලලා ඒ අනුව මිල තීරණය කිරීමට නියම කරනවා.''

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ ඉංජිනේරු තුෂාන් ගුණවර්ධන

''ප්‍රමිතිය නැති බඩු ගෙන්වනවා. ඒවා ඉහළ මිලට අලෙවි කරනවා. රේගු නීතිය අනුව භාණ්ඩ අලෙවි කිරීමේ අවසාන දිනයට (Expiry Date) මාස තුනකට පෙර භාණ්ඩ ආනයනය කළ හැකියි. ඒ රටවලින් නැව්ගත කළ විට විවිධ ප්‍රමාදවීම් නිසා මෙරටට ගෙන ඒමට කල් යනවා. එලෙසම වරායෙන් පිටතට ගැනීමේදීද කල්පසු වෙන නිසා ඇතැම් ආනයන භාණ්ඩ වෙළෙඳපොළට එන විට කල් ඉකුත්වීමේ අවසාන දිනයට දින කිහිපයක් තිබෙන තත්ත්වයට පත්වෙනවා. එවැනි භාණ්ඩ පාරිභෝගිකයා රුගෙන ගොස් පාවිච්චිය පටන්ගත් විගසම වගේ අවසාන දිනය ඉකුත් වෙනවා. ඒ තත්ත්වය මගහැරීම සඳහා කල් ඉකුත්වන දිනය ව්‍යාජ ලෙස වෙනස් කර අලෙවි කරනවා. නැතිනම් විශාල ලෙස වට්ටම් දෙන බව සඳහන් කරනවා. මෙහිදී පාරිභෝගිකයා අමාරුවේ වැටෙනවා. ඔවුන් රැවටෙනවා.

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පිහිටුවා ගත්තා යැයි කියන පාරිභෝගික සේවා අධිකාරියෙන් පාරිභෝගිකයාට සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ අයගේ ක්‍රියා පිළිවෙළ නිසා ආරක්ෂා වන්නේ ව්‍යාපාරිකයන් පමණයි. පාරිභෝගික සේවා අධිකාරියට අවශ්‍ය පමණටත් වඩා නිලධාරීන් සිටිනවා. මම හිතන හැටියට 540ක් පමණ ඉන්නවා. එහෙත් ඒ අයගෙන් නිසි රාජකාරියක් ලබාගත්තේ නැහැ. පරිපාලනය විධිමත්ව සිදුවන්නේ නැහැ. වැටලීම් සිදුකිරීම ආදියට ඇති යටිතල පහසුකම් අඩු බව ඇත්තයි. එහෙත් එය නිදහසට කරුණක් නොවෙයි. ප්‍රාදේශීය කාර්යාලවලින් නිසි සේවයක් සිදුවේදැයි සැකයි.''

මහජන අයිතින් සුරුකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත්

''කළුකඩ මාෆියාව ගැන අපි හෙළි කරන්නේ සෑහෙන කාලයක සිටයි. අපි ආණ්ඩු ගණනාවකට කිව්වා. කිසි දෙයක් වුණේ නැහැ. කළුකඩ ව්‍යාපාරයට හැම ආණ්ඩුවකම ප්‍රබලයන් සම්බන්ධයි. ඔවුන් තමා ඉහළ සිට පහළට මෙය සිද්ධ කරන්නේ. වෙළෙඳපොළ හැසිරීමේ රටාව ගැන අවබෝධයක් නැති අයයි ඉහළ රාජ්‍ය ආයතනවල ඉන්නේ. ඒ නිසා කළුකඩ මැඩලීමට ඔවුන් ගන්නා බව පෙනෙන උත්සාහයන් අසාර්ථක වෙනවා.

රුපියල් 180 බිස්කට් පැකැට්ටුව 200ට විකුණනවා. ගෝනියේ 350 ගසා ඇති පරිප්පු රුපියල් 550ට අලෙවි කරනවා. සහල්වල මිල දිනපතා ඉහළ යනවා. මිල තීරණය කිරීමට කිහිප දෙනකුට අවස්ථාව දීලා තියෙනවා. අල, ලූනු ආදී සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අසාධාරණ ලෙස ඉහළ දමනවා. මිරිස්, සුදු ලූනු, කරවල, පොල්තෙල් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අවිනිශ්චිතයි. අද මිල නොවේ හෙට. මහා පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම ගමේ සිල්ලර කඩේ මුදලාලිත් බලන්නේ අවස්ථාව අනුව මිල තීරණය කරලා හිතූ හිතූ ගණන්වලට විකිණීමටයි. උතුරු නැගෙනහිර ජනතාව තමා අපේ රටේ නිෂ්පාදනයට ඍජුවම දායක වෙන්නේ. ඒත් ඒ අයට රුපියල් 320කට තමා පිටි කිලෝව ගන්න ලැබෙන්නේ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය පාන්පිටියි.
ආණ්ඩුව මිල පාලනය මේ වනවිට සම්පූර්ණයෙන් අතහැරලා. මිල පාලනය කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ මොනවද කියල ඉහළ තැන්වල සිටින නිලධාරීන්ට කිසිම දැනුමක් නැහැ. මිල තීරණය කිරීම වෙළෙන්ඳාට බාරදීලා තියෙනවා. එහෙම නම් ආණ්ඩුවක් මොකටද? අද ආපනශාලා නැත්තටම නැතිවෙලා. ඒවා වහලා දමලා. සේවකයන් මහ මගට වැටිලා.''

 යසවර්ධන රුද්රිගූ