
“දොස්තර මහත්තයා අද මොකද මෙහෙම?”
“ඇඟටත් හොඳයිනේ ”
මේ නාට්‍යයක දෙබසක් ලෙස ඔබට වැටහෙන්නට ඉඩ ඇත. එහෙත් මෙය එසේ නොව අපේ රටේ බොහෝ පුරවැසියන් මුහුණ දී සිටින ඉන්ධන හිඟය හේතුවෙන් අපේ රටේ වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවලට ලක් වී සිටින වගට නිදසුනකි. බයිසිකලයෙන් රෝහලට ඇවිත් අන් සැමට සුවය සදන ජීවකවරු මේ මිහිපිට අප දෑස් ඉදිරියේ ජීවමානව වැඩ වසති. එවන් වූ මිනිසත්කමින් පිරි ජීවකයන් පිරිසක් පිළිබඳ අපට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන් වාර්තා වෙයි. බයිසිකලයෙන් රෝහලට යන අපේ රටේ ජීවකයන් වන මිහිපිට දෙවිවරුන් සොයා ගිය ගමනේ ඒ ආදරණීය කතාන්දරයයි මේ.
තරාතිරම් භේදයකින් තොරව පාපැදියෙන් ගමන්බිමන් යාම සම්බන්ධයෙන් අපේ රටේ බොහෝදෙනා වැඩි උනන්දුවක් නොදැක්වුවද අදටත් වායු දූෂණය අවම කිරීමේ අරමුණින් නෙදර්ලන්තය, ෆින්ලන්තය, ස්වීඩනය, ජර්මනිය, චීනය ආදී රටවල් සිය ප්‍රධාන ගමනාගමන ක්‍රමයක් ලෙස පාපැදිය භාවිත කරයි.
මෙරට ඇති ප්‍රධානතම රෝහලක් වන ගම්පහ මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් දිනපතා පාපැදිවලින් සේවයට වාර්තා කරනුයේ රෝගී ජීවිත ගැන දයානුකම්පාව පෙරදැරි කරගෙනය. මෙරට වෙසෙන ජනතාව සේම සියලු අපහසුතා සමසිතින් විඳ දරාගෙන මෙරට සිටින බහුතරයක් වෛද්‍යවරු මේ මොහොතේ වගකීමෙන් නොපිරිහෙලා සිය සේවය වෙනුවෙන් කැපවෙති.
ඉන්ධන හිඟය කිසිදු තරාතිරම් නොමැතිව මෙරට වෙසෙන බොහෝදෙනා පෝලිම් ගැස්වූ සමාජ ප්‍රශ්නයක් බවට පත් වී හමාරය. කිලෝමීටර් ගණන් දුරට විහිදෙන තෙල් පෝලිමේ සිටිමින් පිරවුම්හල වෙත පෝලිමේ පැමිණීමටද වෙනමම තෙල් ලීටර 10ක් පමණ තබා ගැනීමට අවශ්‍ය වෙයි. මේ ආකාරයට වාහන නොමැතිව පාපැදිවලින් රෝහලට පැමිණි වෛද්‍යවරුන් පිළිබඳ ඔවුන්ගේ වචනයෙන්ම ඒ අත්දැකීම විමසා බලමු.
බයිසිකලයෙන් රෝහල් සේවයට පැමිණි නම පැවසීමට අකැමැති වූ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඔහුගේ අත්දැකීම මෙසේ ගෙනහැර දැක්වීය.
“රටේ තියෙන තෙල් අර්බුදයෙන් අනෙක් සෑම පුරවැසියන් සේම වෛද්‍යවරුන් විදිහට අපිත් දැඩි අපහසුතා විඳිනවා. වාහනවල තෙල් නැති නිසා අපේ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ම මේ දිනවල බයිසිකලයෙන් සේවයට පැමිණෙනවා. මම ඉන්නේ රෝහලට කිට්ටුවෙන්. ඉතින් මම මේ දවස්වල තියෙන තෙල් අර්බුදයත් එක්ක පයිනුත් රෝහලට යනවා. බයිසිකලයෙනුත් යනවා. මම නම් ඉතින් කැමැතියි බයිසිකලයෙන් හැමදාම හරි රෝහලට යන්න. ඒත් අපේ රටේ මාර්ගවල ගමන් කරන ඇතැම් රියැදුරන්ගේ විනය පිළිබඳ ගැටලු නිසා ඇත්තටම බයිසිකලයක තබා වාහනයකවත් පාරේ යන්න බයයි. බයිසිකලයෙන් පයින් යනවාට ගෙදරිනුත් බයයි. ඇත්තටම රස්සාවට තියෙන ආදරයත් කැමැත්තත් එක්ක ජනතාව වෙනුවෙන් සිතා බොහෝම කැමැත්තෙන් බයිසිකලයෙන් හරි සේවයට වාර්තා කරනවා.”

වත්මනෙහි රටේ මතුවී තිබෙන ඉන්ධන අර්බුදය විසඳාලීමට රටේ සිටින ප්‍රමුඛතම සේවාවක් ඉටුකරන උගත් පිරිසක් ලෙස නව යෝජනා මොනවාදැයි අප කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
''මා හිතන්නේ අපි විශේෂ පිරිසක් ලෙස නොවෙයි. අපිත් සාමාන්‍ය ජනතාව සමඟ එකට සිටින පිරිසක්. එහෙයින් ඉන්ධන බෙදාහැරීම සැමට සාධාරණව සමානව නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාහැරීමට හැකි නම් එය මේ අවස්ථාවේ ඉතා වැදගත්. ඒ වගේම වෛද්‍ය වෘත්තියේත් හදිසි අවස්ථා සඳහා අත්‍යවශ්‍යම වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ප්‍රමුඛතාවක් ලබාදෙමින් සියලු වෘත්තීන්ට එක සේ අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා සැපයීමට කඩිනම් අවධානය යොමු කිරීම සුදුසුයි'' යැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පවතින තෙල් අර්බුදය සම්බන්ධයෙන් අසීරුතා මධ්‍යයේ රාජකාරි කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් ධර්මසිරි පතිරණ මහතා මෙසේ පැවසීය.
අපේ රෝහලේත් දැඩි අසීරුතා මධ්‍යයේ තමයි කාර්ය මණ්ඩලය වැඩට එන්නේ. ගිලන් රථවලටත් තෙල් නැතිවෙච්ච වෙලාවල් තිබුණා. ඒත් අපි දැන් කොහොමහරි පිරවුම්හල් තුන හතරකට මුදල් වෙන් කරගෙන ඉන්ධන ලබාගන්නවා. තෙල් ප්‍රශ්නය නිසා වෛද්‍යවරු කිහිප දෙනෙක් බයිසිකල්වලින් වැඩට එනවා. දවසක් එහෙම බයිසිකලයකින් වැඩට එද්දී දොස්තර මහත්තයෙක්ව පොලිසියෙන් අල්ලලා ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. කොපමණ අසීරුතා තිබුණත් අපි අපේ රාජකාරිය වෙනුවෙන් උපරිමයෙන් කැපවෙමින් කටයුතු කරනවා යැයිද අධ්‍යක්ෂවරයා පැවසීය.
පවතින තෙල් අර්බුදය හේතුවෙන් අසීරුතා මධ්‍යයේ රාජකාරි කටයුතු සිදුකරන බස්නාහිර පළාතේ ශික්ෂණ රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙක් සිය අත්දැකීම මෙසේ විස්තර කළේය.
''මේ දිනවල දැඩි අසීරුවකින් තමා කටයුතු කරන්නේ. රාත්‍රී වාට්ටුවට යන්න තෙල් ඉතුරු කරගන්න ඕනෑ නිසා මේ දවස්වල වෙන කිසි ගමනක් ගියේ නෑ. රෑ ගිහින් රෝගීන් 75ක් විතර බැලුවා. දැන් මිනිස්සුන්ට සල්ලි ප්‍රශ්න නිසා රෝගීන් සියලුදෙනාම පාහේ ඉස්පිරිතාලෙට එනවා. පොඩි දේටත් රෝහලට එන්නේ. ඒ ගිහින් ඇවිත් එලාර්ම් තියලා නිදාගන්නවා ආයෙ 2ට 3ට විතර තෙල් පෝලිමට යන්න. මහ රෑ ගිහින් හරි තෙල් ගහගන්න බලනවා. තෙල් ගහගන්න එහෙමවත් බැරිවුණොත් අපිත් ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා. ඉන්ධන බෙදාහැරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලියුමක් ගැහුවාට ඒක ක්‍රියාත්මක නෑ. අධ්‍යක්ෂගෙන් ඇහුවාම කියන්නේ පහසුකම් සපයන්න කියලා ලියුමක් දෙන්නම් කියලා. කිලෝමීටර් ගණන් පෝලිම් තියෙද්දී අපි ගිහින් එහෙම තෙල් ගහගන්නේ කොහොමද? ඒ කරන වැඩේ සාධාරණ නෑ. මේ දිනවල සෑමදෙනාම සිටින්නේ මානසික පීඩනවල. සමහර පිරවුම්හල්වල අත්පිට මුදල් නැත්නම් තෙල් දෙන්නේ නෑ. ඇතැම් රෝහල්වලත් සල්ලි ප්‍රශ්න. කෝමහරි ගිලන් රථ ටිකට තෙල් ගහගෙන තිබෙනවා. වාට්ටුවට ගිහින් එන ගමන් බලද්දී මේ දවස් ටිකේම රූ දොළහටත් තෙල් පෝලිම හැතැක්ම එකහමාරක් විතර. මගෙ දුවගෙ බයිසිකලයක් තියෙනවා. ඒක හදාගන්න බැලුවා ගෙදර ඉඳන් ඉස්පිරිතාලෙට යන්න. තෙල් නෑ කියලා මට ගෙදර ඉන්න පුළුවන්. ඒත් අපිට වගකීමක් තිබෙනවා. ගෙදර ඉඳන් උපදෙස් දිදී බේත් කරන්න බෑ. මේ සම්බන්ධයෙන් සැමට සාධාරණ විධිමත් ක්‍රමවේදයක් බලධාරීන් සැකසීම අත්‍යවශ්‍ය කරුණක්'' යැයිද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි ඡායාරූප සමග පළකර තිබූ පෝස්ටුවක සඳහන් වූයේ දහසක් දුෂ්කරතා මධ්‍යයේ වුවද මේ අවස්ථාවේ රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔහු දෙහිවල සිට කොළඹ ජාතික රෝහලට පාපැදියෙන් පැමිණීමට තීරණය කළ බවයි. එසේම මීට වසර ගණනාවක් තිස්සේ දුප්පත් රටක් පොහොසත් කරන්න ප්‍රජා අක්ෂි වෛද්‍ය අසේල අබේධීර මහතා පාපැදියෙන් සිය රාජකාරියට යන්නේ මුළු රටටම නිහඬ ආදර්ශයක් සපයමිනි.
එසේම ශල්‍ය වෛද්‍ය කන්දීපන් කනගරත්නම් මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි ඡායාරෑප සමග පළකර තිබූ පෝස්ටුවක සඳහන් වූයේ ඔහු සිය රාජකාරිය සඳහා අක්කරෙයිපත්තුවේ සිට කල්මුණේ දක්වා කිලෝමීටර් 43ක් පැය 1යි මිනිත්තු 30ක වේලාවකින් පාපැදියෙන් ගමන් කරන බවයි.

මෙයට පෙරත් පාපැදියෙන් ගමන් බිමන් ගිය ලෝක ප්‍රසිද්ධ චරිත පිළිබඳ අපි අසා ඇත්තෙමු. නවසීලන්තයේ කාන්තා කටයුතු බාර ඇමැතිනිය වූ 42 හැවිරිදි ජූලී ජෙන්ටර් සිය දරු ප්‍රසූතියට මුහුණ දීම සඳහා සිය සහකරු සමග පාපැදියෙන් රෝහලට පැමිණි බවට වාර්තා විය. නෙදර්ලන්ත අගමැති මාක් රූට්ටේ සැමදාම පාහේ අගමැති කාර්යාලයේ වැඩට එන්නේ පා පැදියක නැගීය. එය ඔහුගේ දිනචර්යාවේ කොටසකි. එසේම ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිය නීතිඥ ගාස්තුව වැඩි නොකර එලෙසම පවත්වාගෙන යෑමේ විසඳුමක් ලෙස මෙරට ඇඹිලිපිටිය ප්‍රදේශයේ නීතිඥවරයෙක් පාපැදියෙන් උසාවියට පැමිණියේය.
එලෙසම විශේෂයෙන් කිවයුතු කරුණක් වන්නේ මේ වනවිට පවතින දරුණු ඉන්ධන හිඟය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ සේවා සපයන ප්‍රධානපෙළේ ආයතනයක සේවකයන්ද ඉකුත්දා යතුරුපැදිවලින් පාපැදිවලට මාරු වී බෑග් පිටේ බැඳගෙන සිය සේවා සැපයීමට කිලෝමීටර් ගණන් යන අයුරු හද කම්පා කරවන සුළු දසුනක් විය. එවන් වූ අසිරිමත් මිනිසුන්ගෙන් පිරි මේ උතුම් පින්බිමේ බාධක හමුවේ නොසැලී කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව සිය වගකීම නොපිරිහෙලා ඉටුකිරීම අගය නොකරම බැරිය.
මීට කලකට ඉහතදී ‘සුව දිවියකට පාපැදියෙන් වැඩට යමු’ තේමාව යටතේ කඹුරුපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පාපැදිවලින් මාතර සිට රෝහලට ගිය බවට වාර්තා විය. රාජ්‍ය සේවකයන්ට පාපැදියෙන් වැඩට එන්න යෝජනාවක් පසුගිය කාලයේදී කරළියට ආවේය. එසේ පැමිණෙන රාජ්‍ය සේවකයන් අගයා තෑගි ලබාදීමේ වැඩපිළිවෙළක්ද සැලසුම් කෙරිණි. පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පවා සකස් කෙරුණද එය ලත් තැනම ලොප් විය. පාපැදියෙන් වැඩට යන්න කියා කියන බලධාරීන් යන්නේ සැප වාහනවල බවට ජනතාව චෝදනා කරති. නගරාන්තර සේවා ස්ථාන සඳහා බස් සේවාවක් කොළඹ නගරය අවට ආරම්භ කෙරුණද එයද නිසි කළමනාකාරිත්වයකින් සිදු වන බවට පෙනෙන්නට නැත. අපේ රටේ විශේෂයෙන් නාගරික පෙදෙස්වල ඇති වායු දූෂණය අවම කිරීම, ලෙඩ රෝග පාලනය, වාහන තදබදයට සාර්ථක පියවරක් ලෙස පාපැදි ප්‍රවර්ධනය කාලෝචිතය. එහෙත් එහි ක්‍රමවේදය සහ රාජ්‍ය සේවයට සාරියෙන් ඔසරියෙන් සැරසී හැඩවී පැමිණෙන කාන්තාවන්ට කෙතරම් ප්‍රායෝගික බවක් තිබෙනවාදැයි සහ දුර ඉඳන් රාජකාරියට පැමිණෙන නිලධාරීන් පාපැදිවලින් පැමිණෙන්නේ කෙසේ දැයි යන්න විමසා බලා ඒවාටද නිසි පිළියම් සහ විකල්ප හඳුන්වාදීම අත්‍යවශ්‍යය. මෙවන් වූ අර්බුදකාරී තත්ත්වයක රෝගීන් අපහසුතාවට ලක් නොකර සිය රාජකාරිය බාධා හමුවේ වුවද ඉටු කිරීම වෛද්‍යවරුනට ප්‍රශංසා කළයුතුමය.
I සසංක