2022 මැයි 22 වන ඉරිදා

රෝහල් බත් පතට වෙච්ච දේ!

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 336

 

මෙරට ජනතාව මේ ගෙවමින් සිටින්නේ ආර්ථික අපහසුතා බොහෝමයක් සමඟ ඉතා අර්බුදකාරී කාල වකවානුවකි. බොහෝ භාණ්ඩවල මිල දරාගත නොහැකි ලෙසින් ඉහළ යාමත්, ඇතැම් ද්‍රව්‍ය හිඟවීමත් හේතුවෙන් ජනතාව පත්ව සිටින්නේ ඉතා අසීරු තත්ත්වයකටය. මේ අතර බොහෝ ඖෂධ හා වෛද්‍ය උපකරණවල පවතින හිඟය බරපතළය.

රටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ නේවාසිකව රෝහලගතව ප්‍රතිකාර ලබන රෝගීන් ඇතුළු රෝහල් කනිෂ්ඨ සේවකයන්ගේ බත් පතට අත්ව තිබෙන ඉරණම ද ඉතා ඛේදජනකය. බොහෝ ආහාරපානවල හිඟයක් පවතින බැවින් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා වෙනදාට ලබා දෙන කෑම පිඟානේ තිබිය යුතු මස්, මාළු, බිත්තර සහ පරිප්පු වැනි පෝෂ්‍යදායී ආහාර නැත්තටම නැති වී ගොසිනි. සති කිහියක් තිස්සේ ඇතැම් රෝහල්වලින් ලබා දෙන බත් පතේ මාළු කැබැල්ලක් තබා බිත්තර පළුවක්වත් නැත.

වෙනදාට උදෑසන නොමිලේ ලබා දෙන තේ වෙනුවට අද ලබා දෙන්නේ උණුවතුර පමණි. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් තමන්ට අවශ්‍ය කළමනා ළඟ තබාගෙන තමන්ගේ තේ වීදුරුව සාදාගත යුතුය. නිවැසියන්ට තම රෝගියා බැලීමට සෑම රෝගියකු වෙනුවෙන්ම එක් අවසර පත්‍රයක් රෝහලින් ලබා දුන්නද රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන් බැලීමට එම නිවැසියන්ට රෝහලට පැමිණීමේ අපහසුතා ඇත. කොළඹ කාසල් රෝහල, කොළඹ ජාතික රෝහල, මහරගම අපේක්ෂා රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි රෝහල්වල ඈත ගම්වල සිට පැමිණ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු ද වෙති. ඔවුන්ගේ නිවැසියන්ට දිනපතා තම රෝගීන් බැලීමට කොළඹට පැමිණීමට අවශ්‍යතාවය තිබුණද මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අකැමැත්තෙන් වුවද ඔවුන්ට සිදුව ඇත්තේ කොළඹට නොපැමිණීමටය. එබැවින් ඔවුන්ගේ පවුල්වල රෝගීන්ට සිදුව ඇත්තේ රෝහලින් ලබා දෙන බත් පත ගැනීම පමණි. මේ අතර දින ගණන්, සති ගණන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු ද වෙති.

බොහෝ රජයේ රෝහල්වල බත් පත සඳහා මේ දිනවල ලබා දෙන්නේ එළවළු දෙකක් සමඟ පලා මැල්ලුමකි. උදේ කෑමවේලට සෑම දිනකම සති දෙක තුනක් තිස්සේ ලබා දෙන්නේ රතු සහල් බත් සමඟ පොල් සම්බෝලයකි. ඉඳහිට දිනක කව්පි ලබා දෙයි. කිරි දෙන මව්වරුන්ට, දරුවකු බිහි කරන්නට සිටින ගැබිණි මාතාවකට, කුඩා රෝගී දරුවකුට පෝෂ්‍ය පදාර්ථ සහිත කෑමවේලක් ලබා දිය යුතු වුවද මේ කෑමවේලෙන් එවැනි පෝෂණයක් ලැබෙන්නේ නැත. දිනපතා හෝ දින ගණනක සිට තම රෝගීන් බැලීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට අවශ්‍යතාව තිබුණද දිනපතා ඈත ගම්වල සිට පැමිණීමට ඔවුන්ට හැකියාවක් නැත. වරින් වර රට තුළ ඇඳිරි නීතිය පැනවීමත්, වාහන ධාවනය සඳහා ඉන්ධන නොමැතිවීමත් හේතුවෙන් ඔවුන්ට රෝගීන්ව බැලීමට රෝහලට පැමිණීමට නොහැකිය. ඒ අනුව මෙරට රෝහල්වල රෝගී ජනතාව අසරණ වී සිටිති.

රජයේ රෝහල්වලට මෙලෙස ආහාරපාන ලබා දෙන්නේ ටෙන්ඩර් කැඳවීම මගිනි. එමගින් මෙවර බොහෝ රජයේ රෝහල් සඳහා ආහාරපාන සැපයුම්කරුවන් ලෙසින් ටෙන්ඩරය හිමිව ඇත්තේ වික්‍රමරත්න පෞද්ගලික ආයතනයටය.

&මෙවර මෙම ආහාරපාන සැපයුම්කරුවන් ලෙසින් තේරී පත්වූයේ වික්‍රමරත්න ආයතනයයි. ඒ අයට රෝහල විසින් ලබා දිය යුතු ආහාරපාන ලැයිස්තුවක් දීලා තියෙනවා. මේ ලැයිස්තුව අපි ලබා දෙන්නේ ටෙන්ඩරය කැඳවන විටයි. අපේ රෝහල්වලට පමණක් නොව ඔවුන් අපේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයටත් ආහාරපාන ලබා දිය යුතු වෙනවා. ඒ සැමටම සරිලන පරිදි තමයි අපි ඒ ලැයිස්තුව සකසන්නේ. ඒ ලැයිස්තුවට සරිලන මිල ගණන් ආයතන කිහිපයක්ම සඳහන් කරලා තිබුණා. ජාතික රෝහලේ ආහාරපාන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් යම්කිසි මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල ටෙන්ඩරයෙන් අවසානයේ එකඟ වන මුදලට අනුගත විය යුතු වෙනවා. අවසානයේදි ඒ මිල ගණන්වලට අනුව වික්‍රමරත්න ආයතනයට මෙවර ටෙන්ඩරය හිමි වුණා.* යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

නමුත් සිදුවූයේ කිසිවකු නොසිතූ දෙයකි. කාලයක් සුපුරුදු පරිදි අදාළ ලැයිස්තුවට අනුව ආහාරපාන ලබා දුන්නද පසුගිය මාස දෙක තුන ඇතුළත සියලුම භාණ්ඩවල බඩු මිල ඉතා විශාල ගණනකින් ඉහළ ගියේය. ලැයිස්තුවේ ඇති ඇතැම් ද්‍රව්‍ය හිඟ විය. විශේෂයෙන් කිරිපිටි වැනි ද්‍රව්‍යවල හිඟයක් ද පවතී. මේ නිසාම ටෙන්ඩරයෙන් ලබා දුන් මිල ගණන් යටතේ වික්‍රමරත්න ආයතනය ඇතුළු රෝහල් වෙත ආහාර ලබා දෙන සැපයුම්කරුවෝ විශාල අර්බුදයකට මුහුණ පා සිටිති. ලංකාවේ බොහෝ රෝහල්වලට ආහාරපාන ලබා දෙනු ලබන්නේ වික්‍රමරත්න ආයතනය මගිනි. ඒ අතර රෝහල් දෙක තුනක් වෙනත් ආයතන වෙත එම ටෙන්ඩරය ලබා දුන්නද ඒවායේ තත්ත්වය ද එසේමය. මේ නිසාම මොවුන් මෙම ලැයිස්තුවට සරිලන ආහාරපාන රෝගීන් ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට ලබා දීමට මිල ඉහළ නංවන ලෙස ඉල්ලා සිටිති. නමුත් එම මුදල ගෙවීමට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් නොමැත.

කෙසේ හෝ මෙම අවදානම මධ්‍යයේ වික්‍රමරත්න ආයතනය රෝගීන් ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට ආහාරපාන සපයයි.

වික්‍රමරත්න පෞද්ගලික ආයතනය රෝහල්වලට පමණක් නොව හමුදා කඳවුරු බොහෝමයකට ද ආහාරපාන සපයන ආයතනයයි. කාලයක් තිස්සේ එම ආයතනය ටෙන්ඩරයේ සඳහන් වුණු ලැයිස්තුවට අනුකූලව රෝහල්වලට ආහාරපාන සපයනු ලැබීය. නමුත් අද වන විට පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත කෑමවේලක් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට හිමි නොවේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එයින් ද අසරණ වන්නේ මේ රටේ අහිංසක අසරණ රෝගීහු වෙති.

&ටෙන්ඩරයේදී ලබා දුන් ලැයිස්තුව මේ රටේ පවතින තත්ත්වයත් එක්ක මේ වන විටත් අපිට දීමට නොහැකි තත්ත්වයක් තමයි උද්ගතවෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලයි තියෙන්නේ. පසුගිය සතියේ තිබුණු රුස්වීමේදී අපි මේ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළා. ඉතා ඉක්මනින් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් සිදුවේවි යැයි අපි විශ්වාස කරනවා. එවිට ඉතා ඉක්මනින් අපි අවශ්‍ය ආහාරපාන ලබා දෙනවා. වර්තමාන වෙළෙඳපොළට අනුව මිල වැඩි කර සෞඛ්‍ය අමාත්‍යාංශය අවසරය ලබා දේවි යැයි අපි විශ්වාස කරනවා.* යැයි වික්‍රමරත්න පෞද්ගලික ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මධුර වික්‍රමරත්න මහතා දේශයට පැවසීය.

රෝහල්වලට පමණක් නොව හමුදා කඳවුරුවලටද ආහාරපාන සැපයීම සිදු කරන මෙම ආයතනය දිනකට ඉතා විශාල ප්‍රමාණයකින් ආහාරපාන ලබා දීම සිදු කරයි. දළ වශයෙන් අල කිලෝ 15,000 – 20,000 අතර ප්‍රමාණයක් දිනකට මෙම ආයතනය මගින් සැපයීමට නියමිතය. අනෙකුත් ද්‍රව්‍යවල තත්ත්වය ද එලෙසය. රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට දරුණු ලෙස මුහුණ දුන් ආයතනයක් ලෙස මෙම ආයතනය හැඳින්විය හැකිය. නමුත් කෙසේ හෝ ඔවුහු නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ඇතුළු කනිෂ්ඨ සේවක මණ්ඩලය සඳහා ආහාර ලබා දෙති. ඒවායේ අඩුපාඩු තිබුණ ද ඉතා ඉක්මනින් එය යථා තත්ත්වයට පත්වේවියැයි එම ආයතනය අපේක්ෂා කරයි.

&එම ආයතනය මේ සම්බන්ධයෙන් අපි සමඟ සාකච්ඡා කළා. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීමට අනුව මිල වැඩි කිරීමට අවශ්‍ය අනුමැතිය අපි ලබා දීලයි තියෙන්නේ. වෙළෙඳපොළේ පවතින මිලට සාපේක්ෂව අපි මිල වැඩි කරලා තියෙනවා. ඒ අනුව ඉතා ඉක්මනින් රෝහල්වල ආහාරපාන යථා තත්ත්වයට පත් වේවි.* යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වයි.එල්.එම්. නවාවි මහතා දේශයට පැවසීය.

ඔවුන් පවසන පරිදි නොබෝ දිනකින් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත ආහාරවේලක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි ප්‍රාර්ථනය කරමු.

■   දිශානි ජයමාලි කරුණාරත්න