2022 මැයි 22 වන ඉරිදා

ආර්ථිකය ඉහළ ගොස් යළි පහළට

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 56

2022 මැයි මස 17 වැනි කුජ දින උදේ 9 පසුවී විනාඩි 35ට ගුරුට අයත් මීන රාශියට පිවිසෙන අඟහරු 2022 ජූනි මස 27 වැනි සඳු දින පාන්දර 5 පසුවී විනාඩි 39 දක්වා මීන රාශියෙහි ගමන් කරයි. එහිදී මේ වන විටත් මීන රාශියෙහි ගමන් කරමින් සිටින බ්‍රහස්පති සමඟ යෝග වෙමින් ගමන් කිරීමේදී 2022 මැයි මස 29 වැනි ඉරු දින සවස 4.02ට සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතේ දෙවැනි පාදයේදී කුජ හා ගුරු එකම අංශකයක ගමන් කරමින් ග්‍රහයන් දෙදෙනා එකිනෙකා අභිබවා ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් යුද සංග්‍රාමයක් ඇතිවෙයි. එහිදී මේ ග්‍රහයන් දෙදෙනාගේම අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත පතිත වනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රටේ ආර්ථිකය යම් තාක් දුරට ශක්තිමත් කිරීමට උත්සාහ දැරීමක් සිදු කළද එය ටික දවසක් පමණක් සිදුවී රටේ ආර්ථිකය නොසිතූ ලෙස නැවත පහළ තත්ත්වයට පත්වී බිඳ වැටෙනු ඇත. රටේ ජනතාව පීඩිත තත්ත්වයට පත්වන අතර ආහාර ද්‍රව්‍ය හිඟ වී යාම මෙන්ම එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු සිදු කර ගැනීමට නොහැකි ගැටලුවකට මැදිවන බවද කිව යුතුය. රට තුළ සිදුවන අපරාධ ක්‍රියා ද නීතිවිරෝධී ක්‍රියාවන්හිද වර්ධනයක් වන අතර දූ දරුවන්ට අධ්‍යයන කටයුතුවලට සහභාගි වීමට නොහැකි වීමත් යම් යම් හේතු මත පාසල් ආශ්‍රිතව ඉගෙනීම් කටයුතුවලට බාධා ඇතිවීම්ද සිදුවන කාලයක් බවට පත්වනු ඇත. යම් යම් රාජ්‍ය සේවා ආයතන, ජලය විදුලිය, තැපැල්, ගමනාගමන (දුම්රිය, බස්, ගුවන්) සේවක කප්පාදු කිරීම්ද ඒ ආශ්‍රිත වැඩවර්ජන ඇතිවීම්ද සිදුවන කාලයක් වේ. පසුගිය වකවානුව තුළ සිදුවූ ලෙසට රට තුළ නැවත වරක් ගැටලු, අර්බුද, කඩාකප්පල්කාරී ක්‍රියා, ආරවුල් පැන නැගීමට ඇති ඉඩ වැඩිය.

මේෂ - මුදල් පාඩු

විශාල මුදල් පාඩු ඇතිවිය හැකි කාලයක් වේ. යම් යම් ආරංචි හේතුවෙන් බියට පත්වීම්ද සිදුවන අතර සතුන්ගෙන් යම් ශරීර පීඩාවක් ඇතිවිය හැකි කාලයක් බැවින් පරිස්සම් වන්න.

වෘෂභ - ආර්ථික වාසි

ව්‍යාපාරික කටයුතුවල නිරත ඔබට සුබ ඵල අත්වන අතර ආර්ථික වාසිද හිමිවන කාලයකි. යම්කිසි වැරදි ප්‍රචාරයක් නිසා තම ධනය හානි විය හැකි බැවින් පරිස්සම් වන්න. භූමියෙන් මතුවන සම්පතක් ද හිමිවන කාලයක් වේ.

මිථුන - නව රැකියා

නව රුකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයක් වන අතර උරුම හිමිකම්ද ලබාගත හැකි වේ. තම පවුලේ දරුවකුගේ දක්ෂතාවයක් මත සිතට සතුටක් ද ඇතිවන කාලයකි.

කටක - කෙටි ගමන්

ඔබට ද යහපත් ඵල අත්වන අතර නිර්මාණ කටයුතුවලින් ඵල ද අත්වනු ඇත. විශේෂයෙන් තාක්ෂණික කටයුතුවල නිරත අයට ඉතා සුබ වන අතර කෙටි ගමන්ද අධික වන කාලයක් වේ.

සිංහ - ලේ රෝග

හිතමිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. ඔබ කරන විවිධ කටයුතුවලට බාධාවීම්ද ඇතිවන අතර තම දේ රුකගෙන කටයුතු කිරීමට උත්සාහ දරණ කාලයක් වේ. ශරීරයේ ලේ ආශ්‍රිත රෝගයක් ඇතිවනු ඇත.

කන්‍යා - නීතිමය ගැටලුවක්

පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ද පාඩු අත්වන කාලයකි. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

තුලා - සතුරන් පසුබසී

ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව මර්දනය කරගත හැකි කාලයක් වුවද තම කාලත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන වකවානුවකි. තමාට ලබාගත නොහැකි වූ යම් යම් දේ ලබාගත හැකිවන කාලයක් ද වේ.

වෘශ්චික - භූමි ලාභ හිමිවේ

විරුද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වන අතර හදිසි කේන්ති ගතිද ඇතිවන කාලයක් වේ. තමා ළඟින් සිටි අයකු නිසා ප්‍රශ්න ඇතිවිය හැක. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට සුබ වනු ඇත.

ධනු - නව රැකියා

උරුම හිමිකම් ලබාගත හැකි කාලයක් වන අතර හිතේ දුක ද ඇතිවන සමයකි. නව රුකියාවක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයක් ද වේ. පපුව ආශ්‍රිත හදිසි රෝග තත්ත්වයක් මතුවන වකවානුවකි

මකර - මත ගැටුම්

තාක්ෂණික අංශයෙන් කටයුතු කරන අයට යහපත් වන අතර තම සහෝදර සහෝදරියන් සමඟ මත ගැටුම් ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් පරිස්සම් වී කටයුතු කරන්න. ඔබට එරෙහි යම් යම් සතුරු උපද්‍රව මර්දනය කරගත හැකි කාලයකි.

කුම්භ - ඉදිරියටම යයි

තම දේ රුකගෙන කටයුතු කිරීම උත්සාහ දරණ කාලයක් වන අතර තම වචනයෙන් අන් අය මෙල්ල කර ගැනීමට උත්සාහ දරණ සමයකි. යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වන කාලයක් ද වේ.

මීන - කේන්ති වැඩි වේ

හදිසි ලැබීම්ද ඇතිවන කාලයක් වේ. උරුම හිමිකම්ද ලබාගත හැකිවන අතර හදිසි කේන්ති ගතිද ඇතිවන අතර පවුල් දිවියේ සමගියට බාධාවීම්ද ඇතිවෙයි. ලේ ආශ්‍රිත පීඩාවක්ද මතුවනු ඇත.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල