2022 මැයි 22 වන ඉරිදා

පණ අදින ආර්ථිකයට සේලයින් දීම

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 95

ශ‍්‍රී ලංකාව ඉදිකරමින් තිබුණ ආර්ථික තොරණ ගැන කදිම විස්තර කථනයක් සිදුවෙමින් තිබුණි. විදුලි බුබුලෙන් අලංකෘත වන ආශ්චර්යය දෙස ජනතාව බලා සිටියහ. ලස්සන චිත‍්‍ර මනස පහන් කරන ලද බව නොරහසකි. මතුපිට හැඩගැස්ම අපූරු නමුත් ආකෘතිය සවිමත් තැනක නොතිබුණි. එතැනින් මෙතැනින් අමුණා තිබුණ ස්ථාන බිඳදමා තොරණ බිම ඇද වැටී තිබේ. පාස්කු ඉදිරි ප‍්‍රහාරය සහ කොවිඩ් වසංගතයෙන් ඇති වූ සුළු තිගැස්ම මහා අවපාතයක් බවට හරවා ඇත. මහත් අපේක්ෂා පෙරදැරිව ඉදිවූ ආර්ථිකය විනාශ වූයේ ජාතිකවාදී කෘත්‍රිම ලිබරල් ආර්ථික අංගෝපාංග සුනු විසුණු කර දමමින්ය.

තවත් වසරක් දෙකක් ගත වූ පසු හැදෙන අලුත් ආර්ථික තොරණ රාජයා ගැන විස්තර කථනය ඇරඹී තිබේ. සම්මාදම් එකතු කරන ව්‍යාපාර සරුවට කෙරේ. ඉදිකරන ව්‍යුහය සම්බන්ධයෙන් ඇති බාධා ගැන, කදිමට විස්තර කරන්නේ හුණුවටයේ - වැල් පාලමේ කතාව අතුරු එකක් කරගෙනය. තොරණ හදා ප‍්‍රදර්ශනය කිරීමෙන් පසු හදාගත් දරුවා අයිති කරගන්නට ද්වන්ධ දේශපාලන සටනක් ඇතිවිය හැකිය. ලංකාවේ ස්වභාවය සාමාන්‍යයෙන් එය බව අමතක කළයුතු නැත. හුණුවටය ඇඳ කතාව අවසානයක් සිදුවන්නේ කෙසේද යන්න දැන් සිටම කල්පනා කළ යුතුව ඇත.

• අර්බුදය මැද අලුත් පාර්ලිමේන්තුව

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රට මුහුණ පා ඇති අර්බුදයෙහි දිග පළල ගැන දක්වයි. 2022 අයවැය අනුව රජයේ ආදායම රුපියල් බිලියන 2,300ක් නමුත්  එය රුපියල් බිලියන 1,600 කට සීමාවනු ඇති බව ප‍්‍රකාශ වී තිබේ. රජයේ වියදම රුපියල් බිලියන 3,300ක සිට රුපියල් බිලියන 4,000 දක්වා වැඩිවනු ඇතැයි අනාවරණය කර ඇත. අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට දහතුන ඉක්මවනු ඇති බව සැලකේ. මුදල් අච්චු ගැසීමේ අනුමැතිය රුපියල් බිලියන 1000 කින් වැඩිකර ගැනේ. එහි අදහස අලුත් මුදල් සංසරණයට යෙදවෙන වගය. නැවත වටයකින් උද්ධමනය නැගෙන පියවරකි. රජයේ මුදල් අවශ්‍යතාවය අනුව වාණිජ බැංකු ඉතිරිකිරීම් සඳහා ජනතාව පොළඹවන වැඩ අරඹා ඇත. එහි අදහස සරලය. ඉතිරි කිරීම් ආකර්ශනය කරගන්නට නම් වැඩි පොලියක් ගෙවන්නට සිදුවේ. අවුරුද්දකට කලින් සියයට හතරක පමණ තැන්පත් පොලී අනුපාතයක තිබුණ වාණිජ බැංකු හා මුල්‍ය ආයතන සමහරක් දැන් සියයට විස්ස දක්වා වාර්ෂික පොලියක් ගෙවන්නට සූදානම්ය. මෙහි ප‍්‍රතිඵලය මිහිරි එකක් නොවේ. ඉතිරි කිරීම් වැඩිවිය හැකි අතර ඉහළ පොලිය නැවත වතාවක් නිෂ්පාදන හා සේවා අංශවලට පීඩනයක් එල්ල කරනු ඇත. ආර්ථික අර්බුදය අභිමුව මෙවැනි තීරණ වල විපාක සලකා බලන්නට අවකාශයක් නැත.

• අලුත් අයවැයක්

පසුගිය වසරේ අයවැය යෝජනා හා සසඳන විට මතු වී ඇති ආදායම් හිඟය පාලනය කිරීම සඳහා බදු නංවනු ඇත. වැට් බද්ද වැඩි කරන්නට යෝජනා වී ඇති බව දැක්වේ. වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට අටක පමණ ප‍්‍රතිශතයක් දක්වා පහළට වැටී ඇත. එය සියයට 15 දක්වා නංවා ගැනීම අවශ්‍ය බව මුල්‍ය අරමුදල පෙන්වා දී ඇති කරුණකි. ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවලින් සියයට හතළිහක පමණ ආදායම හරි අඩකින් අඩු වී ඇති බව මුල්‍ය අරමුදල පෙන්වා දෙන කරුණකි. එය එසේ තිබියදී වැට් ආදායම නංවාගන්නට ගත හැකි පියවර ඉතාම තීක්ෂණ එකකි. විපාකවලට ගොදුරුවෙන්නේ සාමාන්‍ය ජනතාව බව නොරහසකි.

රටට අවශ්‍ය අයවැය පියවන පියවරක් නොවේ. පසුගිය අවරුද්දේ අයවැය හිඟය සියයට 12.5 කි. 2022 අයවැය හිඟය සියයට දහතුනක් විය හැකි බව දැනට ප‍්‍රකාශ වී තිබේ. මෙම හිඟය පියවන්නට බදු අයකරන ක‍්‍රම වැදගත් පියවරක් නොවේ. අලුත් පරිවර්තනයක් අවශ්‍යය. රට තුළ ධනය උත්පාදනය කරන ක‍්‍රියාවලිය ආරම්භ කළ යුතුව තිබේ. ඉලක්කම් සමපාත කිරීමෙන් ජන ජීවිතය තවත් අපහසුතාවයකට පත්වන අතර මහජන නියෝජිතයන්ට වගබලාගන්නට සිදුවන කරුණක් බව අවධාරණය කළ යුතුය. නිෂ්පාදනයට උපකාරී වන සහ ආයෝජන දිරිගන්වන යෝජනා රටට ඉදිරිපත් කිරීම අවශ්‍යය. සංචාරක කර්මාන්තය පහසුවෙන් විනිමය උපයන අංශයකි. දෙස් විදෙස් ව්‍යවසායකයන්ට ධනය යෙදවිය හැකි පරිදි අලුත් නීති සකස් කර දිය හැක. සමාගම් උපයන ලාභයෙන්න සුපිරි කොටසක් රජයට අත්පත් කරගන්නට අය වැයෙන් යෝජනා කළ බව මතක තිබිය යුතුය. මෙම බද්ද ආයෝජන දිරිගන්වන එකක් නොවේ. ආයතනවල ලාභ අධ්‍යක්ෂක මණ්ඩලය බෙදාගන්නේ නැත. කොටස් හිමියන්ට බෙදු පසු වැදගත් ප‍්‍රතිශතයක් නැවත ආයෝජනයට වෙන්කරයි. අපට වැදගත් මෙවැනි පියවරකට යොමු කිරීමය. ලාභය ආණ්ඩුවට පවරාගෙන ජනතාවට සහන බෙදාදීම නුසුදුසුය.

• විශ්වාසය ඇති කරන වැඩපිළිවෙළක්

ආර්ථිකයක් අර්බුදයකට පත් වූ පසු ගන්නා ක‍්‍රියාමාර්ග ඉතාම වැදගත්ය. පසුබෑමකට ලක් වූ රටවල් ඇත. බ‍්‍රසීලය ණය ගෙවාගත නොහැකි තැනට පත් වූ රටකි. අග්නිදිග ආසියානු අර්බුදයේදී තායිලන්තය, තායිවානය හා මැලේසියාව ඇතුළු රටවල් විශාල තර්ජනයකට පත්විය. ඇමරිකාවේ බැංකු කඩා වැටුණු අතර එයට හේතුව නිවාස ණය අය කරගත නොහැකි වීම බව මතක් කළ යුතුය. අර්බුදය සමග අවදානමකට ලක් වූ ඇමරිකාවේ සිටි බැංකුව තාවකාලිකව රජයට පවරා ගත් අතර එය විනාශය මග හරවන්නට හේතුවක්  විය. මෑතකදී ග‍්‍රීසියේ උද්ගත වූ තත්ත්වය තවත් උදාහරණයකි. මෙම රටවල් නිවැරදි සැලැස්මක් අනුගමනය කරන ලද අතර ඒවා විශ්වාසනීයත්වයෙන් ජගත් ප‍්‍රජාව හමුවේ තැබීය. අර්බුදයකින් පසු පහත වැටෙන ආර්ථිකයකින් අලුත් අවස්ථා ජනනය කරගත හැකි අතර එම රටවල දේශපාලන නායකයෝ එයට සරිලන ප‍්‍රතිසංස්කරණ ඉදිරිපත් කළහ.

ශ‍්‍රී ලංකාවටද අවස්ථාවක් තිබේ. දේශපාලන ගැටුම් වෙනම සලකා බැලිය හැකිය. ව්‍යවස්ථා සම්පාදනය, ජනතාවගේ සුබසාධනය සඳහා අනන්‍ය ප‍්‍රතිපත්තියකට යා හැක. දේශපාලන නායකයන් සියලුම දෙනා ආර්ථික ප‍්‍රතිපත්ති ගැන හා රට කෙරෙහි විශ්වාසය ඇති කරන ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණවීම අවශ්‍යය. තාවකාලික ආණ්ඩුවක් වශයෙන් පෙනී සිටින නමුත් ප‍්‍රධාන පක්ෂ එකඟ ක‍්‍රම ඉදිරිපත් කළහොත් ඉදිරි රජයක පවා රැකවරණය ලැබෙන බව ආයෝජකයන්ට දැනේ. මුදල් යොදවා ආරම්භ කරන ව්‍යවසායයකට වසරකට හෝ දෙකකට පසු වෙනස් නීති පැනවෙන අලුත් ආණ්ඩු වලින් හිරිහැර සිදුවනු ඇතැයි බියක් ඇති කළ යුතු නැත. අද ඇති කරගන්නා ක‍්‍රියාමාර්ගවල වාසිය ලැබෙන්නේ ඉදිරියේ බලයට පත්වන ආණ්ඩුවකට වන අතර උපායශීලී ප‍්‍රතිපත්තිවල වැදගත්කම එයින් අවබෝධ වනු ඇත.

• අපට ඇති මානව සම්පත 

ශ‍්‍රී ලංකාව හොඳ සාක්ෂරතාවයක් ඇති රටකි. පරිගණක සාක්ෂරතාව ප‍්‍රශස්ථ මට්ටමක තිබේ. මහ බැංකු වාර්තා පෙන්වන පරිදි අන්තර් ජාලය හුරු පිරිස ජනගහනයෙන් සියයට තිහ ඉක්මවයි. එය තොරතුරු සන්නිවේදන සේවා අංශයට වාසිදායකය. දක්ෂ හා ඕනෑම අභියෝගයකට ඔරොත්තු දිය හැකි මානව සම්පතක් රටට ඇති අතර නිර්මාණශීලී බව ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් තිබේ. දැනටමත් තාවකාලිකව රටින් බැහැර සිටින ජනගහනය මිලියන දෙක ඉක්මවයි. එයින් වැඩි කොටසක් ශිල්පීය දක්ෂතා සහිතය. ගෝලීයකරණය අද භාවිතාවට ගැනෙමින් තිබේ. අලුත් වාර්තා දක්වන පරිදි කොවිඩ් වසංගත තත්ත්වයට පසු සැපයුම් චක‍්‍රයෙහි සුළු වෙනස්කම් සිදුවී ඇත. රටවල් කිහිපයකින් සපයා ගත් අමුද්‍රව්‍ය එකතු කර අඩුම පිරිවැය සහිත මානව සම්පත ඇති රටක එකලස් කර නිපදවන දේ වෙළඳ පොළට එවන සංකල්ප මඳක් නවීකරණය වී තිබේ. එයට හේතුව ප‍්‍රවාහන පිරිවැය අධිකවීම හා අනවශ්‍ය පරිදි ප‍්‍රමාදයක් සිදුවීම බව පර් යේෂකයෝ සඳහන් කරයි.

ප‍්‍රතිපත්ති සම්පාදන අංශ මෙම ප‍්‍රවණතා අධ්‍යයනය කළ යුතු අතර අලුත් යෝජනා ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ යුතුය. යටිතල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි තිබේ. ගුවනින් හා වරාය ඔස්සේ සම්බන්ධ වන සැපයුම් ජාලයකට ශ‍්‍රී ලංකාවේ අවස්ථාව ඇත. ආර්ථිකය නගා සිටුවන පියවර තුළ නව ප‍්‍රවණතා හඳුනාගත හැකි අතර ඒවා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වශයෙන් අලුත් අය වැය යෝජනාවලට ඇතුළත් කරන්නට අවශ්‍යය. අමතක කළ යුතු නැති එක වැදගත් සාධකයක් තිබේ. අය වැයකට ඉදිරිපත් කරන නමුත් ඒවා ක‍්‍රියාත්මක වෙන්නේ නැත. පසුගිය දශක පහ හය තුළ යෝජනා නිසි පරිදි ක‍්‍රියාවට නැගුණේ නම් අද පවතින ඉරණමට මුහුණ දෙන්නට රටට සිදුනොවේ.

■  සාරා කන්දෙගොඩ