2022 මැයි 22 වන ඉරිදා

අබුඩාබි රජුගේ සරල අවසන් ගමන

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 65

වසර කිහිපයක් රෝගාතුරව සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Sheikh Khalifa bin Zayed Al Nahyan, වයස අවුරුදු 73 දී අවසන් හුස්ම හෙළීය. ඔහු දියවැඩියා සහ වකුගඩු ආබාධවලින් පීඩා විඳිමින් සිටියේය. අබුඩාබියේ පාලකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරියා වූ ෂෙයික් කලීෆාගේ දේහය අබුඩාබියේ අල් බතීන් සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

ජනාධිපති කටයුතු අමාත්‍යාංශය දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්නට යෙදිණි. ජනාධිපති ෂීක් කලීෆාගේ අභාවයෙන් පසු තෙදින ශෝක කාලයක් සෙනසුරාදා සිට ආරම්භ විය. කාර්යාල වසා දමනු ලද අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් නැවත සේවයට පැමිණියේ අඟහරුවාදාය. සඳුදා පාසල්ද වසා තැබුණි. වසර 18කට ආසන්න කාලයක් තම ජාතියට නායකත්වය දුන් ෂෙයික් කලීෆාට ලෝක නායකයන් උපහාර පුදකර තිබුණි. ලෙබනනය, මොරොක්කෝව සහ ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයක් මෙන්ම ඉන්දියාවද ශෝක කාල සීමාවන් ප්‍රකාශයට පත් කළේය.

රටපුරා මුස්ලිම් පල්ලි සිකුරාදා සවස සහ සෙනසුරාදා උදෑසන යාඥා පැවැත්විය.  ක්‍රිස්තියානි පල්ලි සහ ඩුබායි හි සික් ගුරුද්වාරද සෙනසුරාදා යාඥා මෙහෙයට එක්වූහ. සමස්ත රටම මේ ශෝකයේදී එක්ව සිටියහ. රාජ්‍ය  සහ පෞද්ගලික ආයතනවල කොඩි අඩකුඹු කරනු ලැබූ අතර අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ෆෙඩරල් සහ ප්‍රාදේශීය ආයතන සිකුරාදා සිට වැඩ අත්හිටුවා තිබුණි. පාලක පවුලේ සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්   සොහොන් බිම අසල යාඥා කරමින් සිටින අයුරු විදෙස් ඡායාරූප වලින් දැක්විණි.

වයස අවුරුදු 73දී මියගිය ෂෙයික් කලීෆාට රටපුරා මුස්ලිම් පල්ලිවල වන්දනාකරුවෝ ගෞරව දැක්වූහ. නිල ඇඳුමින් සැරසුණු හමුදා නිලධාරීහු ජනාධිපතිවරයාගේ දේහය ඔහුගේ පවුලේ අයට භාරදීමට පෙර රැගෙන ගියෝය. ෂීක් මොහොමඩ් සහ නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති කටයුතු පිළිබඳ අමාත්‍ය ෂෙයික් මන්සූර් බින් සයීඩ් සහ Al Nahyan පවුලේ සාමාජිකයන් විසින් ෂෙයික් කලීෆාගේ දේහය ඔහුගේ අවසන්  විවේක ස්ථානයට ගෙන යන ලදී.

ඔහු 2004 සිට 2022 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජනාධිපති විය. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම එමීර් රාජ්‍යය වන අබුඩාබි එමීර් රාජ්‍යයේ දහසයවන එමීර්වරයාද විය. අබුඩාබිහි නැඟනහිර ප්‍රදේශයේ ඔහු උපත ලැබුවේ 1948 සැප්තැම්බර් 7 වැනිදාය. ඔහු UAE හි නිර්මාතෘ, ජනාධිපති Sheikh Zayed bin Sultan Al Nahyan ගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර ඔහුගේ මවගේ නම ෂෙයිකා හෙසා බින්ට් මොහොමඩ් බින් කලීෆා බින් සයීඩ් අල් නහියන්ය. ඔහු Sheikha Shamsa bint Suhail Al Mazrouei සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් අට දෙනෙකි. ඔහුගේ පියා විසින් පිහිටුවන ලද Al Ain හි පළමු දේශීය පාසලට ගොස් Sandhurst රාජකීය හමුදා ඇකඩමියෙන් ඔහුගේ උපාධිය හැදෑරීය 1969 පෙබරවාරි 1 වැනි දින අබුඩාබි ඔටුන්න හිමි කුමරු ලෙස නම් කරන ලදී.  පසුවදා ඔහු අබුඩාබි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.  ඔහු 1980 ගණන්වල අගභාගයේදී උත්තරීතර ඛනිජ තෙල් කවුන්සිලයේ සභාපති බවට පත්විය. ඔහුගේ පියාගේ අභාවයෙන් පසු, ෂෙයික් කලීෆා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ 2004 නොවැම්බර් 3 වැනි දින අබුඩාබියේ පාලකයා බවට පත් විය.

ජනාධිපතිවරයා ලෙස ඔහු රටේ පවතින දේශපාලන හා සමාජීය තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් දියත් කළේය. ජනාධිපතිවරයකුට අමතරව, ඔහු ඩොලර් බිලියන 800 කට වඩා ගනුදෙනු කරන මූල්‍ය සමාගමක් වන අබුඩාබි ආයෝජන අධිකාරියේ සභාපතිවරයාද විය. ඔහු තම රටවැසියන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ අයෙකි. ෂෙයික් කලීෆා පර්සියානු ගල්ෆ් ජාතිය සංවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත භාවිත කළේය. ඔහු නමින්ම නම් කරන ලද ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa සඳහා අරමුදල් සැපයීමටද ඔහු උදව් කළේය. ඩුබායි  මූල්‍ය අර්බුදයේදී තෙල්වලින් පොහොසත් එමීර් රාජ්‍යය ඔවුන්ට කළ උදව්වට කෘතගුණ දැක්වීමක් ලෙස කුළුණේ නම 2010 දී  Burj Dubai සිට Burj Khalifa ලෙස මාරු කරන ලදී.

2016 අප්‍රේල් මාසයේදී ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් පැනමා පත්‍රිකාවල Sheikh Khalifa නම් කරන ලදී. මෙයින් පසු ඔහු රට පාලනය කිරීමේ එදිනෙදා කටයුතුවලට සම්බන්ධ වීම නතර කළේය. වැඩි කල් යන්නට මත්තෙන්, ෂෙයික් කලීෆාගේ අර්ධ සහෝදරයා වන අබුඩාබි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සයීඩ් ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති තීරණවල තත්‍ය පාලකයා සහ තීරණ ගන්නෙක් බවට පත්විය. Sheikh Khalifa ගේ ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 15ක් වන අතර Forbes සඟරාවට අනුව ඔහු තෙල් සංචිත බැරල් බිලියන 97.8 ක් පාලනය කළේය.

Sheikh Khalifa bin Zayed 2014 දී ආඝාතයකට ලක් වූ අතර ශල්‍යකර්මයකට භාජනය විය. නමුත් ඔහු දිගටම චාරිත්‍රානුකූල බලතල දරමින් සිටි අතර ඉඳහිට තීන්දු ලබාදුන් නමුත් ඔහුගේ අර්ධ සහෝදරයා වන අබුඩාබි ඔටුන්න හිමි මොහොමඩ් බින් සෙයිඩ් කුමරුට බලය පවරා තිබුණි.

සුගත් පී. කුලතුංගආරච්චි