2022 මැයි 15 වන ඉරිදා

රටම ඇවිළ වූ ගෝල්ෆේස් ප්‍රහාරය

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 268

ගෝල්ෆේස් අරගලය ආරම්භයත් සමඟ තරුණයන් එම ස්ථානයේ කඳවුරු බැඳගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නික්ම යන තෙක්ය. ඒ නිසාම ගූගල් සිතියමට පවා ඇතුළත් වූ ගමක් ලෙස ගෝඨාගෝගම නිර්මාණය විය. දැන් ගෝල්ෆේස් එක හා සමානව ගෝඨාගෝගම ලෝකය පුරාම ජනප්‍රිය වී ඇත. අරගලයක තිබෙන සටන්කාමී බව රකිමින් ප්‍රචණ්ඩත්වය පසෙක තබා පොදු අරමුණක් වූ ගෝඨාගෝගම ක්‍රමයෙන් වැඩිදියුණු වූයේ කලාගාරයක් සහ සංස්කෘතික ගම්මානයක් ලෙසය. විවිධ සංස්කෘතීන්ට, විවිධ ආගම්, විවිධ කලාවන්ට ඉඩදෙමින් අරගල භූමිය 21 වැනි ශත වර්ෂයේ වෙනස්ම ආකාරකින් පෝෂණය වන්නට විය. මෙය දුටු බොහෝ දෙනා අගය කළා සේම ඇතැම් අයගේ දෘෂ්ටිකෝණය අනුව කානිවල් ස්වරූපයක් පෙනිණි. එසේ දැකීම වරදක්ද නැත. ඒ එකම ඇසින් ලෝකය දෙස බැලීම නියතයක් නොවන නිසාය.

ගෝඨාගෝගම හා සාපේක්ෂව තවත් තරුණ කණ්ඩායමක් අරලියගහ මන්දිරය ඉදිරිපිටද කඳවුරු ලෑමට තීරණය කළෝය. ඒ මයිනාගෝගම නමිනි. ප්‍රධාන දොරටුව අසල කඳවුරු ලෑ අරගලකරුවන් කීපවතාවක්ම එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ උත්සාහ ගත්තේය. එක් අවස්ථාවක පොලීසියේ බස්රථ සහ ට්‍රක්රථ එම ස්ථානය හරස්කොට ගාල් කළේය. ගෝඨාගෝගමට වඩා වැඩියෙන්ම අභියෝගයට හා තර්ජනයට ලක්වුණේ මයිනාගෝගමය. අවසානයේ පොලීසිය අධිකරණයෙන් නියෝගයක් ලබාගත්තේ අ‍රලියගහ මන්දිරයේ පදික වේදිකාව අවහිර කර ඇති බවට චෝදනා ගොනු කරමිනි. අධිකරණය අපක්ෂපාතී තීන්දුවක් ලබාදෙමින් පොලීසියේ වාහනත් අරගලකරුවන්ටත් ඉවත්වන ලෙස දැනුම් දුන්නේය. මේ නිසාම එම අරගලකරුවෝ පාරෙන් පැන අරලියගහ මන්දිරයට මුහුණලා කඳවුරු ගැසූහ.

මේ සියල්ල සිදුවන විට කිහිපවතාවක් එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වන බවට රාවය පැතිර ගියේය. ඒ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවය. එහෙත් ඒ සියල්ල අභ්‍යන්තර කතා වුවත් ඇත්ත කතාව එළියට ආවේ නැත. එපමණක් නොව අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමට උත්සාහ කළත් අමාත්‍යවරු සහ පවුලේ ඇතැමුන් ඊට එකඟ නොවීම නිසා කීපවතාවක් ඒක වැළකුණු බව දැනගන්නටද ඇත.

කෙසේ වෙතත් තීරණාත්මක දිනය උදාවුණේ පසුගිය සිකුරාදාය. එදා සවස හදිසියේ කැඳවූ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා සෘජුව අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස දැනුම්දුන් බව ප්‍රචාරය විය. එපමණක් නොව කැබිනට් මණ්ඩලයේ කීපදෙනෙක්ද ඊට එකඟ වූ බවත් තවත් පිරිසක් විරුද්ධ වූ බවත් සැලවිය. එහි හොඳම පුවත වූයේ සඳුදා දිනයේ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉවත්වෙන බවය. මෙම පුවත ලැව් ගින්නක් සේ පැතිරිණි. ජනාධිපතිවරයාගේ ඉල්ලීම විවිධ අවස්ථාවල සාන්ද්‍රණය අඩුකරමින් වෙනස් වුවත් ඇත්ත කතාව රටපුරා ප්‍රචාරය වී තිබුණේය.

එය එසේ වනවිට එදිනම රාත්‍රියේ සමාජ මාධ්‍ය පුරා පෝස්ටුවක් ආණ්ඩු හිතවාදීන් විසින් ප්‍රචාරය කර තිබුණි. ඒ මැයි 9 වනදා උදේ 9ට අග්‍රාමාත්‍යවරයාට ඉවත් නොවන ලෙසට බලකිරීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස කියාය. මෙය බොහෝදෙනා තම තමන්ගේ මුහුණු පොතේ පළකරමින් පිරිස කැඳවා තිබුණි. කෙසේ වෙතත් මේ වෙන්න යන සිදුවීම මහා අවදානමක් බව ඕනෑම කෙනකුට බැලූ බැල්මට පෙනෙන දෙයකි. එහෙත් පාලකයන්‍ට එය නොපෙනීම පුදුමයකි.

ඉරිදා වනවිට මෙම සිදුවීම ගැන ගෝල්ෆේස් අරගල භූමියේ ඇතැම් අයට පොහොට්ටුවේම හිතවාදීන් විසින් තොරතුරු ලබාදී තිබුණේ සඳුදා දින යම් සිදුවීමක් සිදුවීමට නියමිත බව දැනුම් දෙමිනි. මේ නිසාම අරගල භූමියේ අරගලකරුවෝ සිය මුහුණු පොතේ පණිවිඩ හුවමාරු කරගත්හ. ඒ පාතාලයේ පිරිසක් පැමිණ ගෝඨාගෝගමට පහරදීමට සූදානමක් ඇති බවත් වහාම එදින අරගල භූමියට පිරිසට පැමිණෙන ලෙසත් කියාය. එහෙත් එවැනි ප්‍රහාරයක් ගැන රටේ බහුතරයක් දෙනා හිතුවේම නැත. මහින්ද රාජපක්ෂ වැනි දේශපාලනයේ හතර කොණ දන්නා කෙනෙක් මෙවැනි තත්ත්වයක් ඇතිකරාවි යැයි බොහෝ අය සිතුවේ නැත.

මැයි 9 වැනිදා උදාවිය. උදෑසන වනවිට සතර දෙසින් බස්රථවල නැගි පොහොට්ටු හිතවාදීහු අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නට වූහ. කළුතර, කුරුණෑගල, ගම්පහ පිරිස ඒ අතර ඉහළින්ම සිටියෝය. එසේ පැමිණි සියලුදෙනා මහින්ද රාජපක්ෂ මහතා ඕන යැයි හඬ නැගූහ. ඒ මොහොතේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු පාක්ෂියන්ගේ ලේ කකියන කතාවක් කරමින් අද සිට සටන පටන් ගන්නා බව කීය. මේ අවස්ථාවේ එම සභාව ඇමතූ මහින්ද රාජපක්ෂ මහතාද තමන් අභියෝග හමුවේ පළා නොයන බවත්, පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මගේ මව්රට බවත් කීවේය. එවිට පාක්ෂිකයන් කෑ ගැසුවේ ඉවත් නොවෙන ලෙසය. ඒ සමඟම මහින්ද මහතා ප්‍රශ්නයක් විමසුවේය. මම ඉවත් වෙන්න ඕනෑද කියාය. පාක්ෂිකයෝ මහ හඬින් එපා යැයි කීහ. එය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඉවත්වෙන බව කී මහින්ද රාජපක්ෂ අවසානයේ ඉන්නා බව තීන්දු කළේ පැමිණ සිටි ජනතාවගේ (එපා) කියන වචනයටය.

භීෂණය පටන් ගන්නේ එතැනින් පසුවය. සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් ලෙස පොහොට්ටුවට කටයුතු කළ කීපදෙනෙක් වීඩියෝ කරමින් ජනතාවට ආරාධනා කළේ ''මේක තමයි වෙලාව - ගෝල්ෆේස් යන්නට'' යැයි කියාය. වැඩිවෙලාවක් ගියේ නැත. අරලියගහ මන්දිරයට අත් වන වනා ගිය පොහොට්ටු සාමාජිකයෝ රීප්ප පටි, යකඩ පොලු රැගෙන එළියට පැමිණ මයිනාගෝගම පිරිසට අමානුෂික ප්‍රහාරයක් එල්ල කළේය. නිරායුධ තරුණ තරුණියන් මහමග බිම දමා පොලුවලින් පහර දුන්හ. එක් තරුණියකට පිරිමි දහයක් පමණ වටකර පහර දුන්හ. මයිනාගෝගම සියලු කූඩාරම් කඩා මහමගට දමා ගිනි තැබනු ලැබීය. මේ සියල්ල සිදුකළේ ශ්‍රී ලංකා පොලීසිය අත් ඉනට තබාගෙන බලා සිටින මොහොතේය.

එම සිදුවීම සමඟ ගෝඨාගෝගමට තොරතුරු ආවේ එම පිරිස කොල්ලුපිටිය සිට ගොල්ෆේස් ගෝඨා ගෝ ගමට පහර දෙන්න පාගමනින් පැමිණෙන බව කියාය. ගෝඨාගෝගම තරුණයන් තරුණියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිය ආරක්ෂාවට පැමිණෙන ලෙසට කොළඹ සිටින සියලුදෙනාට ආරාධනා කළහ. ඒ සිදුවන්නට යන මහා ඛේදවාචකය නිසාය. කඳුළු ගෑස් ජල ප්‍රහාරක රථ සූදානම්ව සිටියත් පොලීසිය ගෝල්ෆේස් හෝටල් වටරවුමට පැමිණෙන්නට පෙර මැරයන් එළවා දැමුවේ නැත. පොලීසිය ඉතාම බරපතළ විහිළුවක් කළේ ටාජ් සමුද්‍රා හෝටලය අසලින් පොලිස් නිලධාරීන් පිරිසක් මාර්ගය වසා දැමීම හරහාය. ගෝල්ෆේස් පිට්ටනිය තුළින් වුවද ඇතුළුවීමට ඉඩ පේන්න තිබියදී පාර වැසීම ඇත්තටම පොලීසිය ලෝකයටම කළ විහිළුවක් විය.
කෙසේ වෙතත් මැරයෝ අරගල භූමියට කඩා පැන්නෝය. අහුවෙන අහුවෙන සියලු දෙනාට ප්‍රහාර එල්ල කළහ. කූඩාරම් කඩා දමා ගොඩගසා ගිනි තැබූහ. චිත්‍ර ගිනි තැබුවෝය. 1981දී යාපනය පුස්තකාලය ගිනි තැබුවා හා සමානව ගෝඨාගෝගමේ පුස්තකාලයටද ගිනි තබනු ලැබීය. එය අහස පොළව නුහුලන අපරාධයකි. ගෝඨාගෝගම ක්‍රමයෙන් මැරයන්ට නතුවෙමින් තිබුණේය. මේ සියල්ල සමාජ මාධ්‍ය හරහා සජිවීව ප්‍රචාරය වෙමින් තිබුණේය. ඒ නිසා සියල්ල වෙනස් විය. කොළඹ පෞද්ගලික ස්ථානවල, රජයේ රුකියා ස්ථානවල බොහෝ පිරිසක් තම කාර්යාලයෙන් එළියට පැන ගෝඨාගෝගම වෙත දුවගෙන පැමිණියහ. ඒ අතට අහුවුණු පොලුද රුගෙනය. ඇතැම් කාර්යාලවල ඉහළ නිලධාරීන් පවා ආවේය. ඒ පැමිණි සියල්ල ගෝඨාගෝගමට ඇතුළු වූ සියලු මැරයන්ට එළව එළවා පහර දෙන්නට වූහ. පිරිසක් කොටුව ප්‍රදේශයෙනුත්, තවත් පිරිසක් කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයෙනුත්, තවත් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයෙනුත් පැමිණීම නිසා මැරයෝ කොටුවූහ. මැරයන්ගේ ප්‍රහාරයට වඩා ප්‍රතිප්‍රහාරය දරුණු විය. ඒ මොහොතේම කොළඹින් බැහැරට යන පොහොට්ටු සාමාජිකයන් රුගෙන පැමිණි බස්රථ නවත්වන්නට විය. නවත්වා ඉන් බස්සවා පහර දුන්නේය. බේරේ වැවටද පිරිසක් තල්ලු කළේය. තවත් පිරිස් දණ ගැස්සුවේය.

මේ අතර කුපිත වූ පිරිස් එම බස් රථවලට පහර දී පෙරළා දැමූහ. ඇතැම් බස් රථ බේරේ වැවේය. තවත් පිරිසක් බස් රථ ගිනි තැබූහ. සෑම ප්‍රධාන පාරක්ම වසා දමා පරීක්ෂා කොට අරලියගහ මන්දිරයට ගිය සියලුදෙනාට ප්‍රහාර එල්ල කෙරිණි. මහින්ද කහඳගම වැනි අය මහමඟ පහරදී නිරුවත් කර තිබුණි. කෙසේ වෙතත් ප්‍රති ප්‍රහාරය හේතුවෙන් පොහොට්ටු පාක්ෂියන් පිරිසක් දුවගෙන ගොස් ජීවිත ආරක්ෂාව පැතුවේ අරලිය ගහ මන්දිරය තුළය. ඒත් ප්‍රතිප්‍රහාරකයන් අරලියගහ මන්දිරයට ඇතුළු වෙතැයි බියෙන් මන්දිරයේ සියලු දොරවල් වසා දැමිණි. මේ නිසා පිරිසකට අමානුෂික ලෙස පහර කෑමට සිදුවිය. මේ අතර විශාල ජනතාවක් ගෝඨාගෝගමට ආවෝය. ඒ ආරක්ෂාව සඳහාය. උද්ඝෝෂණය තීව්‍ර විය. කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් රැස්වී විශාල උද්ඝෝෂණයක් කරමින් සිටියහ. තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින් තිබුණේය. බස් රථවලට පහරදීම් හැමතැනින්ම සැලවෙන්නට විය. එපමණක් නොව අරලිය ගහ මන්දිරයේ රුස්වීම සූදානම් කළ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ඒ වනවිට ප්‍රහාරයට ලක්වෙන්නට පටන්ගෙන තිබුණි. ඒවා ගිනිබත් කරමින් තිබුණේය. ඒ ගම්වාසීන් විසින්ය. ඊටත් වඩා ඇතැම් පටු දේශපාලනය කරන පිරිස්වල අවස්ථාවාදී අරමුණු සඵල කරමින්ය.

එසේ සියල්ල සිදුවනවිට මහින්ද රාජපක්ෂ මහතා සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන බව කීවේය. ඒ පණිවිඩය රටපුරා පැතිර යාමත් සමඟ තත්ත්වය තව තවත් දරුණු විය. ප්‍රාදේශීය, නගර සභා සභිකයන්ගේ නිවෙස්වලට පවා කුපිත වු පිරිස් ප්‍රහාර එල්ල කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන්වත්තේ නිවසක් පවා ගිනිබත් කළේය. එසේම රාජපක්ෂවරුන්ගේ දෙමාපියන් සිහිකිරීම සඳහා නිර්මාණය කර තිබූ සොහොන් කොත විනාශ කර දැමුවේය. එන්න එන්නම රටපුරා භීෂණය වැපිරෙමින් තිබුණේය.

මේ අතර තවත් අපරාධයක් නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවිය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා ගමන්ගත් වාහනය මග නවත්වා ඊට ප්‍රහාර එල්ල කරන්න ගිය මොහොතේ එතැන සිටි තරුණයකුට වෙඩි තබා මන්ත්‍රීවරයා සහ ආරක්ෂකයා අසල ඇඳුම් කඩයක් තුළට යාමය. මේ නිසා කුපිත වූ පිරිස් එම ස්ථානයේ කලබල කරන්නට වූහ. අවසානයේ පැය ගණනකට පසුව මන්ත්‍රීවරයාගේත් ඔහුගේ ආරක්ෂකයාගේත් මළසිරුරු හමුවිය. එම මළසිරුරු පැය ගණනක් පදික වේදිකාවේ තිබුණු අතර ඒ සිරුරු තිබුණේ අඩ නිරුවතිනි. කෙසේ වෙතත් එම මරණ සියදිවි නසාගැනීම් ලෙස ඒ මොහොතේ ප්‍රචාරය වුණත් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ වෙනත් පාර්ශ්වයක් විසින් වෙඩි තබා පහර දී සිදුකළ ඝාතනයක් කියාය. සැබැවින්ම එය නොවිය යුතු ක්‍රියාවක් ලෙස සඳහන් කළ යුතුමය.

මේ සියල්ල සිදුවන අතරතුර ගෝල්ෆේස් සිටි පිරිස නැවත කලබල‍ෙවන්නට විය. එයට හේතුවූයේ අරලිය ගහ මන්දිරය තුළ පිරිසක් සිටින බවට තොරතුරු ලැබීම නිසාය. විශේෂයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ ඇතුළු දහසක කණ්ඩායමක් සිටින බවට තොරතුරු වාර්තා විය. වහාම කුපිත වූ පිරිස් අරලිය ගහ මන්දිරයේ පිටුපස දොරටුව අසල විශාල විරෝධයක් දක්වන්නට වූහ. ඇතැම් අය ගේට්ටු කඩා දැමීමට උත්සාහ කළ අතර තවත් අය ගේට්ටුව අසල ගිනි තැබූහ. කෙසේ වෙතත් පිරිසක් ගේට්ටුව කඩාගෙන අරලිය ගහ මන්දිරයට ඇතුළු වීමට උත්සාහ දැරෑහ. ආරක්ෂක අංශයේ නිලධාරීන් අහසට වෙඩි තබා ආරක්ෂාව තහවුරු කිරීම නිසා පිරිස විසිර ගියෝය. එසේ නොවුණා නම් විශාල ඛේදවාචකයක් වන එක නැවතෙන්නේ නැත.

රාත්‍රියේ කලබලය වැඩිවීමත් සමඟ ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතුම් ලබාදුන්නේ ඉක්මනින් හමුවී නව අගමැතිවරයා පත් කරගැනීමටය. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ඒ මොහොතේ බහුතරයක් සිටින විපක්ෂනායකවරයාට බලය ලබාදීමටය. එහෙත් මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වූයේ පක්ෂයේ අය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අදහසක් ලබාදෙන බවය. මේ අතර ජනාධිපතිවරයා හමුවීමට එදින රාත්‍රියේම ඕමල්පේ සෝභිත හිමි, උලපනේ සුමංගල හිමි සහ සිරිල් ගාමිණි පියතුමන් ඇතුළු පූජ්‍ය පක්ෂයේ පිරිසක් ගියහ. එහිදී ජනාධිපතිවරයා අගමැති ධූරය සඳහා නම් දෙකක් යෝජනා කළේය. එක් අයකු වූයේ හිටපු විගණකාධිපති සරත් මායාදුන්නය. එහෙත් ඊට පිරිස එකඟ වූයේ නැත. ජනාධිපතිවරයා තවත් නමක් ගෙනාවේය. ඒ ඔහුගේ පසමිතුරකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නමය. ඊට එකහෙළාම පිරිස විරුද්ධ වූහ. කෙසේ වෙතත් ඒ වනවිටත් රටටම ඇඳිරිනීතිය යොදා තිබුණේය. එහෙත් ඝාතන, ගිනි තැබීම් සිතු සේ සිදුවිය. ඇතැම් ස්ථානවල පොලීසිය බලා සිටියදී මංකොල්ල සිදුවිය.

කෙසේ වෙතත් ආණ්ඩුව බාර ගැනීම සඳහා විපක්ෂනායක සජිත්ට ජනාධිපතිවරයා කීපවතාවක් දැනුම් දුන්නත් සජිත් පාර්ශ්වය ඒ සඳහා කොන්දේසි දැම්මේය. ජනතාවගේ යෝජනාව ගෝඨාභය රාජපක්ෂ ඉවත් විය යුතු නිසා ඔහුට ඉවත් වෙන ලෙස කොන්දේසියක් දැමූහ. එහෙත් ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. නැවතත් සජබ රැස්වීමේදී සජිත් අගමැතිකම බාරගන්න කැමැති වූ අතර ජනාධිපතිවරයා අස්වන්නේ කවදාදැයි විමසීමට පිරිසක් ජනාධිපති හමුවීමට ගියේය. එහිදී ජනාධිපතිවරයා කෙළින්ම කීවේ තමා ඉවත් නොවන බවත් එය අත්හැර වෙනත් යෝජනා ගෙනෙන ලෙසත් කියාය. කෙසේ වෙතත් ඊට සජබය කැමති වුණේ නැත.

මේ අතර නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ වහාම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස කියාය.ඒ අනුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර අදාළ ප්‍රහාරය සිදුවූ ගෝල්ෆේස් අරගල භූමියේ පරීක්ෂණ සහ ප්‍රකාශ ගැනීම සිදුවිය. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ආරක්ෂකයාට රහස් පොලීසියේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

පසුව අවසානයේ පසුගිය බ්‍රහස්පතින්දා පොලීසිය කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර එහිදී මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු,පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් සංචාරය තහනම් කෙරිණි. ඒ පරීක්ෂණ නිම වන තෙක්ය. කෙසේ වෙතත් ජනතාව ප්‍රශ්න කරන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දුන් අයගෙන් දෙදෙනෙක් ඒ මොහොතේ අත්අඩංගුවට ගත්තත් ගෝල්ෆේස් අරගලය මෙහෙයවූ සහ පැමිණි පිරිස් තවමත් අත්අඩංගුවට නොගෙන ආරක්ෂා කරන්නේ ඇයිද යන්නය. සැබෑවට චෝදනා ලක්වුවත් තවමත් සිටින්නේ මෙකී පොලීසිය ආරක්ෂාව මතය.

සිදුවීම සිදුවූ දිනට පසුදින මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිස ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන යනු ලැබූහ. එකී පණිවිඩය ලද සැණින් කණ්ඩායමක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල උද්ඝෝෂණය කරන්නට වූයේ ඔවුන් එළියට දමන ලෙස කියාය. ඔවුන් රට පැනයාමය උත්සාහ කරන බවට විවිධ කතා පැතිර යාම නිසාය. එහෙත් අවසානයේ කොළඹ සිටි නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් කීවේ තම පියා ආරක්ෂිතව සිටින බවත් කිසිවිටෙක රටින් පලා නොයන බවත් කියාය.

ඒ අනුව ගෝල්ෆේස් අරගලයට පහරදීමේ ගැටුම අවසන් වූයේ මේ රටේ දේශපාලනය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කරමිනි. එකී ප්‍රහාරයත් සමඟ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් දිනූ රනිල් වික්‍රමසිංහ අවසානයේ මේ රටේ 26 වැනි අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණු අතර සජිත් ප්‍රේමදාසට එම අවස්ථාවද මඟහැරී ගියේය. ඒ ඔවුන් විසින් ගෙනෙන ජනාධිපති ඉවත් විය යුතු බවට වූ යෝජනාව නිසාය.

කෙසේ වෙතත් අරගලය තවම ඉවර නැත. තවමත් සටන ගෝඨාභය රාජපක්ෂ ඉවත් වනතෙක්ය. නව අගමැතිවරයද කීවේ ගෝඨාගෝගම ඒ ලෙසම පැවතිය යුතු කියාය. එහෙත් දැන් අරගල භූමියට එක් වූ අලුත් සටන් පාඨය වන්නේ රනිල් ගෝ හෝම් යන්නය. ඒ නිසා ඉදිරිය තවම නිශ්චිත නැත. අරගලයද අවසන් නැත. හොඳම හරිය ඇත්තේ ඉදිරියේය. ඒ අරගලය කොයිතරම් තම සටන දිනයිද යන්නය. එය දෙස් විදෙස් හැමදෙනාගෙම ඇස් යොමු වී ඇති තැනක් නිසාය.

 ගයාන් ගාල්ලගේ
සේයාරූ I ජයමාල් චන්ද්‍රසිරි