2022 මැයි 15 වන ඉරිදා

ලෝකේම මිල ඉහළ යද්දී පුටින්ගෙන් “OIL SALE”

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 63

ලෝක වෙළඳපොළේ ‌තෙල් මිල ඉහළ යද්දී රුසියාව අඩුමිලට තෙල් සැපැයීමට දැන්  ඉදිරිපත්ව සිටියි. ඔවුහු ලංකාවටද ඉතා අඩුමිලට තෙල් දිය හැකි බව පසුගියදා යෝජනා කළෝය. රුසියාව මේ හාස්කම කරන්නට යන්‌නේ යුක්‍රේන යුද්ධය හේතුවෙන් සිය වෙළඳපළ අස්ථාවර වන බවට ලකුණු පහළව තිබියදීමය.

සෞදි අරාබියට පසු ලෝකයේ දෙවැනි වැඩිම බොරතෙල් අපනයනය කරන රට රුසියාවයි. 2019 දී රටවල් 48 ක් ඩොලර් බිලියන 123 ක් වටිනා රුසියානු බොරතෙල් මිලදී ගත්හ. 

2022 පෙබරවාරි 24දා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ලෝක තෙල් මිල නොසිතු ලෙස ඉහළ යන්නට විය. නමුත් රුසියානු තෙල් මිල බැස්සේය. ඒ රට වෙත පැනවූ සම්බාධක හේතුවෙනි. ඒ අනුව  2022 මාර්තු මාසයේදී, රුසියාවේ ප්‍රධාන අපනයන තෙල් සන්නාමය වන Urals බොරතෙල්වල සාමාන්‍ය මාසික මිල, පෙර මාසයට වඩා අඩුවීමක් සනිටුහන් කරමින්, බැරලයකට එක්සත් ජනපද ඩොලර් 89.1ක් පමණ විය.

රුසියාවේ බොරතෙල් නිෂ්පාදනය අප්‍රේල් මාසයේදී පහත වැටුණු අතර එය 4% කින් පමණ පහත වැටුණි, නමුත් මැයි මාසයේ පළමු දින කිහිපය තුළ මෙය නැවතත්  අප්‍රේල් සංඛ්‍යාලේඛනවලට වඩා 2%කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව සම්බාධක නොතකා රුසියානු බොරතෙල් නිෂ්පාදනය දැන් නැවත ස්ථාවර වෙමින් පවතී.

ලිපිය ලියන මොහොත වනවිට ලෝකයේ බොරතෙල් බැරලය  පිළිවෙළින්  අමෙරිකානු WTI සහ බ්‍රෙන්ට්, මිල එක්සත් ජනපද ඩොලර් 109.8 – 112.4 අතර අගයකට ඉහළ  නැඟ තිබේ. විශේලේෂකයන්ට අනුව 8 වසරකට පසු වාර්තාවූ ඉහළම මිලකි. ඒ අතර  රුසියාවේ යුරල් බොරතෙල් බැරලයක මිල 79.91 - 100.70 අතර බව වාර්තාගතය.

මුලදී, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් රුසියාවෙන් තෙල් ආනයනය සඳහා සම්බාධක පැනවීමට අකමැති වූ අතර, එවන් ඕනෑම දරුණු තීරණයක් තෙල් මිල ඉහළ යාමට හේතුවනු ඇතැයි බිය විය. නමුත් රුසියාව යුක්‍රේනයේ සිය මිලිටරි ක්‍රියාමාර්ගය දිගටම කරගෙන යද්දී, ජනාධිපති ජෝ බයිඩන් මොස්කව් කොන්කිරීම සඳහා ආනයනික රුසියානු තෙල් සඳහා එක්සත් ජනපද තහනමක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව යමින්  බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රුසියාවට එරෙහිව ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමේ මෙහෙයුමක්ද ප්‍රකාශ කර ඇති අතර යුක්‍රේනය සමඟ ඇති වූ ගැටුමට විරෝධය පළ කරමින් රුසියානු තෙල් හා ගෑස් අපනයන මත යැපීම ඉවත් කර ඇත. එසේ වුවද ඇමරිකාව රුසියාවේ තෙල් අපනයනයෙන් ඉතා  කුඩා කොටසක් ආනයනය කරන අතර සාමාන්‍යයෙන් එහි ස්වභාවික වායු කිසිවක් මිලට නොගන්නා බැවින් රුසියාව කෙරෙහි එක්සත් ජනපදයේ පියවරේ බලපෑම අවම විය.

මොස්කව් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව සහ  කැනඩාවද රුසියානු තෙල් මිලදී ගැනීම් සම්පූර්ණයෙන්ම තහනම් කළහ. අනෙකුත් යුරෝපීය රටවල්ද ඇතුළත් වූ, සම්පූර්ණ තහනමක් දැන් වඩාත් දැඩි බලපෑමකට හේතුවී ඇත. කෙසේ වෙතත්, යුක්‍රේන භූමියේ යුද්ධය මධ්‍යයේ රුසියානු තෙල් සහ ස්වාභාවික වායු තහනම් කිරීම වඩාත් වේදනාකාරී බලපෑමක්ව ඇත්තේ යුරෝපයටමය. නිවාස උණුසුම, විදුලිය සහ කර්මාන්ත භාවිතය සඳහා යුරෝපයේ ස්වභාවික වායුවෙ සියයට 40ක් සහ යුරෝපයේ තෙල්වලින් හතරෙන් එකක් පමණ රුසියාව සපයන නිසාය.

සෞදි අරාබියට පිටුපසින් ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු වන රුසියාවට, දැන් චීනයේ හෝ ඉන්දියාවේ හෝ වෙනත් කලාපීය රටවලට තෙල් අලෙවි කිරිමට සිදුව ඇත. කෙසේ වෙතත්, මෙහිදී බොහෝවිට විශාල වට්ටමක් යටතේ විකිණීමට සිදුවනු ඇත. තමන් හා රැඳී සිටින අඩු ගැනුම්කරුවන් පිරිස තවදුරටත් රඳවා ගතයුතු නිසාම ඒ රටට මේ ලෙස  අඩුමිල මට්ටමකට යාමට සිදුව තිබේ. 

යුරෝපා සම්බාධක සමඟින්, පැමිණි SWIFT බැංකු තහනමද රුසියානු තෙල් සමාගම්වලට  හානියක් වු අතර ඉහළ වට්ටමක් යනු ගනුදෙනුකරුවන් රඳවා තබා ගැනීමට සහ ව්‍යාපාර සහ වෙළඳාම අඩාල වීම මධ්‍යයේ විකුණුම් වැඩි කරගන්නට ඒරට යෙදූ ව්‍යාපාරිකමය උප්පරවැට්ටියකි. ඒ තීන්දුව වැරුදී ගොස් නැති බව දැන් පෙනී යයි. 

මේ මාසයේ රුසියාවේ තෙල් බැරල් වෙනදාට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක්  රුමේනියාව, එස්තෝනියාව, ග්‍රීසිය සහ බල්ගේරියාව වෙත යැවීමට හැකිවිය.  යුරෝපයේ විශාලතම රුසියානු තෙල් ගැනුම්කරු වන නෙදර්ලන්තය සහ ෆින්ලන්තය සඳහාද ඉල්ලුම  සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. සම්බාධක හරහා මොස්කව් හුදකලා කිරීමට බටහිර දරන උත්සාහයන් නොතකා තම අසල්වැසි  ප්‍රධාන වෙළෙඳ සහකරු රුක  ගැනීමට සිතු ඉන්දියාව බොරතෙල් සහ අනෙකුත් භාණ්ඩ ලාබදායී වට්ටමක් යටතේ මිලදී ගැනීමට ගෙන ආ රුසියානු යෝජනාව අප්‍රමාදවම  භාරගෙන තිබුණි. 

සිය තෙල් අවශ්‍යතාවයෙන් සියයට 80ක් ම ආනයනය කරන ඉන්දියාව සාමාන්‍යයෙන් රුසියාවෙන් මිලදී ගන්නේ සියයට 2-3ක් පමණ වු ප්‍රමාණයකි. නමුත් මේ වසරේ මේ වන විට තෙල් මිල සියයට 40 කින් ඉහළ ගොස් ඇති හෙයින්ද, සිය රටේ  ඉහළ යන බලශක්ති බිල අඩු කිරීමට උදව් කළ හැකි හෙයින්ද , අඩුමිල රුසියානු තෙල් වැඩියෙන් මිලට ගැනිමට දැන්  ඉන්දියානු රජය කටයුතු කරමින් සිටියි. ඒ අමෙරිකාවේ තරවටුව නෙතකා හැර තමන්ගේ රට සහ ජනතාව ගැන සිතාය. මේ ප්‍රළුල් ආසියානු වෙළඳ පළ ඩැහැ ගැනීමට මොස්කව් අඩුමිලට වැඩි වෙළඳාම යන උපක්‍රමය යොදා ගන්නා බව පෙනි යයි. බ්ලූම්බර්ග් නිවුස් මෑතකදී වාර්තා කළේ මොස්කව් ඉන්දියාවට තෙල් බැරලයක් ඩොලර් 35ක් වැනි ඉතා අඩු මිලකට ලබා දෙන්නට සූදානම්ව ඇති බවයි.

පසුගියදා රුසියාව සිය මුදල් ඒකකය වන රූබලය රන් සංචිත හා සම කළ අතර දැන් ඩොලර් වෙනුවට රෑබල්වලින් කෙලින්ම ගෙවන්නටද හැකි ලෙස පහසුකම් සපයා තිබේ. ඒ අනුව රුසියානු තෙල් විශාල ප්‍රමාණයක් මේ වනවිට ජපානය, දකුණු කොරියාව,  මැලේසියාව සහ චීනය වෙතද ගලා යන බව නවතම දත්ත පෙන්වා දෙයි. Nikkei Asia විශ්ලේෂණ වාර්තා දත්ත අනුව පෙබරවාරි 24 සිට අප්‍රේල් 18 දක්වා සමයේ තෙල් ටැංකි 380 ක් රුසියාවෙන් පිටත් ව ඇත. එය පසුගිය වසරේ එම කාලසීමාව තුළ පිටත්වු  357ට වඩා සුළු වශයෙන් හෝ  ඉහළ යාමකි. 

පෙබරවාරි 24 සිට රුසියාවෙන් පිටත් වූ මේ ටැංකි 380න් 115ක්ම  ආසියාව දෙසට ගමන් කර ඇත. ඉන් 52 චීනයටද, 28 දකුණු කොරියාවටද, 25ක්  ඉන්දියාවටද, 9ක් ජපානයට සහ එකක් මැලේසියාවටද ලෙසිනි . එය පසුගිය වසරේ එම කාලය තුළ ඉන්දියාව සඳහා සිදුකළ අපනයනය මෙන් අට ගුණයක වැඩිවීමකි. චීනය සඳහා 33%ක වැඩිවීමක් නියෝජනය කරයි. මේ ලෙසටම ඉහළ යන තෙලෙන් දැවෙන අනෙකුත් ආසියාතික රටවල්ද ඉතා ඉක්මණින්ම රුසියානු සහන තෙල වෙත ආකර්ෂණය වන්නට නියමිතය.

ලෝක වෙළඳපළේ මැද පෙරදිග ප්‍රමුඛ තෙල් වෙළඳුන්ගෙන් ඉහළ මිල ගණන්වලට තෙල් ‌ගෙන්වා සිය රටවල ඇති ඩොලර් සංචිත හින්දා ගන්නවාට වඩා රුසියාවේ අඩුමිල තෙලෙන් යැපීම වඩාත් සුදුසු විකල්පය ලෙස නොබො දිනකින්ම අනෙකුත්  කලාපයන්හි  රටවල්ද තීන්දු කරනු ඇත.

 සුගත් පී. කුලතුංගආරච්චි