2022 මැයි 15 වන ඉරිදා

අලුත් ආණ්ඩුවේ යුතුකම් වගකීම්

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 96

“නව අගමැතිවරයෙක්, අලුත් ආණ්ඩුවක්, බලාපොරොත්තුවක්, කලකිරීමක්, සතුටක් දුකක්” මේ ගෙවී යන්නේ සංක්‍රාන්ති සමයකි. දින කිහිපයක් ආණ්ඩුවක් නොවූ රාජ්‍යට ඉකුත් බ්‍රහස්පතින්දා නව අග්‍රාමාත්‍යවරකු පත්විය. අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ ගොඩනැගෙන නව ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළෙමු. එම ආණ්ඩුව හමුවේ ඇති අභියෝග පිළිබඳ කෙරෙන මෙම සාකච්ඡාවේදී පුරවැසි දේශපාලන සාක්ෂරතාවය පුළුල් වෙතැයි අපේක්ෂා කරමු.

නව ආණ්ඩුව පිහිටුවීම මෙන්ම පැවති ආණ්ඩුව ගෙදර යෑම පිළිබඳව දේශපාලන විද්‍යාත්මක අර්ථයෙන් පළමුව පැහැදිලි කරගැනීමට උත්සාහ කරමු. ඒ උදෙසා ආණ්ඩුව සහ රාජ්‍ය අතර ඇති වෙනස දේශපාලන විද්‍යාත්මකව අවබෝධ කර ගැනීම වටී. බොහෝදෙනකු දන්නා පරිද්දෙන් රාජ්‍ය ගොඩනැගී ඇති සංයුතික සාධක හතරකි. භූමිය, ජනගහනය, ආණ්ඩුව සහ ස්වාධිපත්‍ය බලය එම සංයුතික සාධක හතරයි. ඒ අනුව ආණ්ඩුව යනු රාජ්‍ය ගොඩනැගී ඇති සංයුතික සාධක හතරින් එකක් පමණි.
න්‍යායාත්මකව ගත්විට ආණ්ඩුව රාජ්‍යයේ නියෝජිතයා වුවද ප්‍රායෝගිකව ගත් විට දැකිය හැකි තත්ත්වය වන්නේ ආණ්ඩුව රාජ්‍යයේ ස්වාමියා වීමය. සාමාන්‍යයෙන් මෙරට මෙන්ම ලෝකය පුරාද ප්‍රායෝගිකව සිදුවන්නේ රාජ්‍යයට වුවමනා දේ ආණ්ඩුව විසින් කිරීම නොවේ. පාලකයෝ ආණ්ඩුවට අවශ්‍ය දේ රාජ්‍යයේ නාමයෙන් කර ගැනීමය. මින් පෙර ශ්‍රී ලංකාව තුළද සිදුවෙමින් පැවතියේ එයයි. එහෙත් එය භයානක ප්‍රතිඵලය අප කරා රැගෙන විත් තිබේ.

පසුගියදා රාජ්‍යයේ සැබෑ ස්වාමියා වන පරමාධිපත්‍ය බලය දරන ජනතාව ආණ්ඩුවට අභියෝග කළෝය. මහජන පරමාධිපත්‍යයෙන් බලයට පත්වූ සැණින් මහජන අභිලාෂයන් පාලකයන් විසින් නොසලකා හැරීම මීට හේතුවිය. ආර්ථික අර්බුදයක් හමුවේ සිය බලය නොසලකා හැරීම මත මහජන පීඩනයේ පුපුරා යෑම කොතරම් ප්‍රබල වීද යන වග අපි දුටුවෙමු. රාජ්‍ය ස්වාමියා ආණ්ඩුව නොව පරමාධිපත්‍යය දරන ජනතාව බව ඔප්පු කර පෙන්වීමට ශ්‍රී ලාංකිකයෝ කටයුතු කළහ.

අවසානයේ මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් තිබේ. අග්‍රාමාත්‍යවරයා ලෙස පරිණත දේශපාලනඥයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටී. ඔවුහු නව ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කරමින් සිටිති. ඒ අනුව නිර්මාණය වෙමින් පවතින නව ආණ්ඩුව පිළිබඳ නිරීක්ෂණ කිහිපයකි.

ආණ්ඩුව විසින් රාජ්‍ය අයිතිකරුවා වීමට දැරූ උත්සාහයට එදිරිව නැගුණු මහජන විරෝධය හමුවේ මෙරට පක්ෂ දේශපාලනය අවුල් ජාලයක් බවට පත්ව ඇත. මහජන නැගිටීම් හමුවේ ආණ්ඩු බලය උදෙසා තරග කළ බොහෝ පක්ෂ අභ්‍යන්තරිකව දෙදරා ගොස් තිබේ. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අප අන්කවරදාවත් අත් නොවිඳි තත්ත්වයකි. ආණ්ඩු බිඳවැටීම සහ පක්ෂ දේශපාලනය ඔළුගෙඩි මාරුවීම් අප දැක ඇත. එහෙත් මෙවන් ව්‍යාකූල තත්ත්වයක් මෙරට ඉතිහාසයේ කිසිකලක නොවූ බව කිව යුතුය.
නව සර්ව පාක්ෂික ආණ්ඩුව බිහි වන්නේ විවිධ  පක්ෂවල සාමාජිකයන් එක කඳවුරකට ගොනුකර ගැනීම තුළයි. සැබවින්ම මෙය භාරකාර ආණ්ඩුවකි. මෙම නව ආණ්ඩුව සඳහා එක්වන පිරිස් අතර මතවාදී වෙනස්කම් රැසකි. එහෙත් රාජ්‍ය ස්ථාවර කිරීම සඳහා ඔවුන් සිය මතවාදී වෙනස්කම් පස්සේ පසෙක දැමිය යුතුය. නැවතත් සුපුරුදු දේශපාලන එදිරිවාදිකම් රට හමුවේ ප්‍රදර්ශනය කිරීමට මෙම පිරිස සූදානම් වුවහොත් තත්ත්වය ඉතාම නරක අතට හැරෙනු ඇත.

මේ පිහිටුවන්නේ භාරකාර ආණ්ඩුවක් බැවින් තම තමන්ගේ සීමා නිර්ණය කර ගැනීමට සියල්ලෝම සූදානම් විය යුතුය. පරමාධිපත්‍ය බලය දරන්නන් තමන් බව මහජනයා නැවත නැවත ඔප්පු කර පෙන්වා තිබේ. එවන් පසුබිමක දේශපාලකයන් පටු ආත්මාර්ථකාමී දේශපාලන භාවිතාවන් ප්‍රදර්ශනය කිරීම අතිශය භයානකය. අනෙක් අතට මේ මොහොතේ ජනතාව මත පවතින කළමනාකරණය කරගත නොහැකි ආර්ථික පීඩනයද භයානකය. එවන් පසුබිමක පාලකයන්ගේ හැසිරීම් නිසාවෙන් නැවතත් ජනතාව ප්‍රකෝපකාරී වීමට ඉඩ තිබේ.

නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු නව ආණ්ඩුවේ සියලු පාර්ශවකරුවන් ඉහත සත්‍ය අවබෝධ කොට ගත යුතුමය. රට තුළ ආර්ථිකය ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම නම් භාරදූර අභියෝගය ඔවුන් හමුවේ තිබේ. එය ඉතා සංකීර්ණ කටයුත්තක් බවත් එහිදී දැඩි තීන්දු ගැනීමට ඔවුනට සිදුවන බවත් සිහිපත් කළ යුතුය. එහෙත් සැබෑ අභියෝගය වනුයේ තවදුරටත් වර්ධනය වෙමින් ඇති ආර්ථික පීඩනය සහ ඉදිරියේදී ගනු ලබන දැඩි තීන්දු තීරණ හමුවේ මහජන සාමය ආරක්ෂා කර ගැනීමයි. මහජනයා ප්‍රචණ්ඩ සහ කලහකාරී මාවතකට ප්‍රවේශ වී ඇති පසුබිමක එය සැබෑ අභියෝගයකි. ඒ අනුව වර්තමාන ආණ්ඩුවේ පළමු කාර්යභාරය මහජන විශ්වාසය තහවුරු කර ගැනීමයි.

මහජන විශ්වාසය තහවුරු කර ගැනීමේදී මතුවන ප්‍රබලතම ගැටලුව කිහිපයකි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම මහජන අරගලයේ සැබෑ අරමුණ හානිකර බව ගෝල්ෆේස් අරගලකරුවන් සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් ප්‍රකාශ කර තිබේ. පාලන ක්‍රමයේ වෙනසක් සිදු කිරීම සහ දූෂිතයන් අත්අඩංගුවට ගැනීම නම් වූ ඔවුන්ගේ සටන් පාඨ වික්‍රමසිංහගමනයෙන් විනාශ වී යන බවක් ඔවුහු විශ්වාස කරති.

එසේ හෙයින් එම පිරිස් තුළ යම්තාක් දුරට හෝ විශ්වාසයක් ඇතිකර ගැනීමට නම් හොරු ඇල්ලීමේ යාන්ත්‍රණට සහ පාලන ක්‍රමයේ වෙනසටද මුලපිරීමද වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සිදුකළ යුතුවේ. එසේම ජනාධිපතිවරයා දැනටමත් එකඟ වී ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කඩිනමින් සිදුකළ යුතුය. එහෙත් පවතින දේශපාලන වටපිටාව හා සබඳතා සැලකූවිට සැබවින්ම එය සිදුකළ හැක්කක්ද යන්න ගැටලුසහගතය. එහෙත් එවැන්නක් සිදු නොකොට අරගලයේ පාර්ශවකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමද සිදුකළ නොහැක්කකි.

ඒ අතර රනිල් වික්‍රමසිංහ ආගමනය පිළිබඳ විශ්වාසය පල කරන්නෝ පසුගිය ආණ්ඩුව තුළ මෙන්ම වර්තමාන විපක්ෂය තුළද වෙති. ඔහු කෙරේ කෙරෙහි යම් පමණකට හෝ ජනතාව ජනතාව විශ්වාසයක් පවතින බවද කිව යුතුය. ඊට හේතු වී ඇත්තේ ඔහු සතු ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථිකය පිළිබඳ ඇති දැනුමයි. එය යම් සාධනීය තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකිය. රට තුළ යම් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගීමට මග සැලසෙන්නේ එම විශ්වාසය තුළයි.

ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම විෂයෙහි දේශපාලන ස්ථාවරත්වය ප්‍රමුඛතම සාධකය බව අමතක නොකළ යුතුය. ඉදිරි සතියක කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය ඔප්පුකර පෙන්වීමට සිදුවනු ඇත. එය දෙස මෙරට පුරවැසියෝ මෙන්ම ජාත්‍යන්තරයද බලා සිටිති. කෙසේ වෙතත් දැනට පවතින තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලය පෙන්වීමට හැකි වනු ඇතැයි පෙනී යයි. කෙසේ වෙතත් එය තීරණාත්මකය.
දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට හැකි වුවහොත් ඊළඟ අදියරේදී වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට යා යුතුය. ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට සියල්ලන්ගේ සහාය පැතිය යුතුය. ශ්‍රී ලංකාව ගෝලීය භූ දේශපාලනයේ සුවිශේෂී රාජ්‍යයක් බැවින් බලවත් රාජ්‍ය රුසක් කළමනාකරණය කර ගැනීමටද නව ආණ්ඩුවට සිදුවේ. විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය කළමනාකරණය කර ගනිමින් ආර්ථික සහාය ලබා ගැනීම දැවැන්ත අභියෝගයක් වනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඉදිරියේ පෙනී සිටිමින් ආර්ථික සහාය ලබා ගැනීමද තවත් අභියෝගයකි. ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ආර්ථිකය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි නිසැකවම බරපතළ වනු ඇත. ඒවා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යාමේදී නිසැකවම ගැටලු රුසක් මතුවේ. එම අභියෝගයට නොසැලී මුහුණ දීමට නව සර්වපාක්ෂික ආණ්ඩුවට සිදුවනු ඇත. ඒ අතර ජාත්‍යන්තර තුළ නොව ආර්ථික හිතවතුන් නිර්මාණය කර ගැනීමටද ඔවුන් කටයුතු කළ යුතු වේ.

මේ අනුව නව ආණ්ඩුවට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගැටලු අභියෝග රුසක් පවතින බව පැහැදිලිය. කෙසේ වෙතත් තවමත් දේශපාලන සංක්‍රාන්තිය සිදුවෙමින් පවතී. පැහැදිලිවම අමතක නොකළ යුතු සත්‍යය නම් රාජ්‍ය ස්වාමිත්වය පරමාධිපත්‍ය දරන්නන් විසින් උසුලන බවය. පරමාධිපත්‍යය දරන්නෝ මහජනතාවය. ආණ්ඩු කරන්නෝ රාජ්‍ය භාරකරුවන් පමණි. මින්පසු භාරකරුවන් රාජ්‍ය කෙළෙසන විට රාජ්‍ය සැබෑ අයිතිය ඇති මහජනයා නැගී සිටිනු ඇත. එම නිසාම මින් මතු බිහිවන සියලු ආණ්ඩු මහජන අභිලාෂයන් නියෝජනය කළ යුතුමය. එම නිසාම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධව නව යුගයක් අප ඉදිරියේ නිර්මාණය වෙමින් ඇති බව අවසානයේ දී සඳහන් කළ යුතුය.

 චමිඳු නිසල් ද සිල්වා

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00