2022 මැයි 15 වන ඉරිදා

ගිනිගත් රටේ විනාශ වූ මැති ඇමැති දේපළ

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 173

අරගලයක් කෝලාහලයක් බවට පත් වීමට ගතවන්නේ මිනිත්තු කිහිපයක් පමණි. එක් අයකුගේ හෝ කිහිප දෙනකුගේ අමනෝඥ ක්‍රියාවක් ඊට හේතු සපයයි. ඉනික්බිති ඇතිවන කෝලහලය සියලු සදාචාර නෛතික සීමාවන් ඉක්ම යයි. කෝලාහලයක් තුළ වෛරය සහ ආවේගය මිසක අන් කිසිවක් නොපවතී. ජීවිතවලට දේපළවලට වටිනාකමක් නොවේ.

මේ අප ඔබ වෙත සපයන්නේ ගෝල්ෆේස් ප්‍රහාරයෙන් ඉක්බිති ඉකුත් සඳුදා මැයි 09දා රාත්‍රියෙන් ඇරඹි කෝලාහලයේදී මැති ඇමැති දේපළවලට සිදු වූ විනාශයන් පිළිබඳ තතුයි. කෝලහාලය ආරම්භ වූයේ ගෝල්ෆේ ප්‍රහාරයෙන් ඉක්බිති ප්‍රහාරයට සහභාගීවූවන් සිය ගම්බිම් බලා පිටත්ව යමින් සිටි රථවාහනවලට පහර දීමත් සමඟය. කොළඹ සහ කොළඹ අවට තදාසන්න නගර වලින් පළමුව සිදුවීම් වාර්තා වන්නට විය. අනතුරුව මුළු රටපුරා ප්‍රචණ්ඩත්වය පැතිර ගියේය. උදාවූයේ අඳුරු රාත්‍රියකි.

පසුදා නිකුත් වූ පොලිස් වාර්තාවලට අනුව කියැවුණේ අඟහරුවාදා පෙරවරු 6 දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 8 දෙනකු මියගොස් වාහන 47ක් සහ නිවාස 38 ක් ගිනි තබා ඇති බවයි. ඊට අමතර තවත් නිවාස 65 කට සහ වාහන 41 කට හානි සිදුවී ඇති බවයි. එහෙත් පසුව සිදුළ සොයා බැලීම්වලදී මෙම ප්‍රමායණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මැති ඇමැතිවරුන් 53 කගේ පමණ නිවාස වලට හානි සිදුවී ඇතැයි වාර්තා විය. එසේම ඔවුන් භාවිත කළ පෞද්ගලික රථවාහන සහ අමාත්‍යාංශ ගණනාවකට අයත් රථවහන රුසක් කුපිත වූ පිරිස් විසින් ගිනිතබා තිබුණි.

දේපළ හානි සිදුවූ මැති ඇමති නාම ලේඛනය විශාලය. ඒ අතරින් පහත නම් සඳහන් හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්‍රි රහීම්, වෛද්‍ය රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, අරුන්දික ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී. ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය,  හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී. හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්‍රිය හේරත්, රාජිකා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, අනුප පැස්කුවල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට ජනතාව පහරදී ගිනි තබා විනාශ කර තිබිණි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් කුරුණෑගල පිහිටි නිවෙසක් සහ එහි තිබූ මෝටර් කිහිපයක් කුපිත වූ පිරිස් විසින් ගිනිබත් කෙරිණි. එසේම රාජපක්ෂවරුන්ට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති නිවාස සහ දේපළ රුසකට දැඩි හානි සිදුවිය. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය මෙන්ම සොහොන් කොත්වලට සහ පිළිරුවට හානි පැමිණවීමට කුපිත වූ පිරිස් කටයුතු කර තිබුණි. හිටපු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ තිස්සමහාරාම, මාගම ප්‍රදේශයේ පිහිටි නිවෙසටද ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එයින් නිවෙසට දැඩි හානි සිදුව තිබිණි. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි සැලකෙන මල්වානේ නිවෙසක්ද ගිනිබත් විය. හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් සෙවණගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ වූ නිවෙසකට සහ දේපළ රුසකට රුසකටද හානි සිදුවූයේය.

දිවයිනේ ප්‍රදේශ රුසකින් වාර්තා වූ සිදුවීම් අතරේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද සිද්ධීන් රුසක් වාර්තා විය. හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර කුරුන්දන්කුලම කාර්යාලය පවත්වාගෙන ගිය නිවෙසට හා හෝටලයට ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එසේම හිටපු අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර ශික්ෂණ රෝහල අසල පිහිටි කාර්යාලය පවත්වාගෙන ගිය නිවෙසට හා හිටපු අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි නිවෙසට ප්‍රහාර එල්ල වූයේය. තවද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ කාර්යාලය පවත්වාගෙන යන අනුරාධපුර මහනගර සභා නිල නිවාසවල පිහිටි නිවෙසටද කුපිත වූ පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබිණි.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් නිවෙසට මෙන්ම කාර්යාල, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන, බෝතල් ගබඩාවක්, මත්පැන් නිෂ්පාදනාගාරයක් ආදියටද කුපිත වූ පිරිස් ගිනි තැබූහ. තවද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව මහරච්චිමුල්ල ප්‍රදේශයේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාට අයත් නිවෙසක්ද ගිනිබත් විය. කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා තවත් දේපළ රැසකට හානි වී තිබුණි.

මේ අතර මේ අතර නිට්ටඹුව නගරයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගියහ. පසුව ඔහුට අයත් නිවෙසකටද කුපිත වූ පිරිස් ගිනිතැබූහ. ඒ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාද එදින රාත්‍රී මාකුඹුර ප්‍රදේශයේදී පහරදීමකට ලක්විය. මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අදාළ පහරදීම සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබුණේ හෝමාගම රෝහලටය.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අයත්, මහනුවර, ප්‍රිම්රෝස් උද්‍යානයේ පිහිටි සුවිසල් නිවෙසද අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කළ අතර, හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට අයත් ගාල්ල කිතුලම්පිටිය නිවෙසද ගිනිතබා විනාශ කර තිබුණි. හිටපු අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ගේ දඹුල්ල, යාපාගම පිහිටි නිවෙසට ගිනිතැබීම හේතුවෙන් හානි සිදුවිය. ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල හොන්නන්තර නිවෙසටද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර එහිදී විශාල දේපළ හානියක් සිදුව තිබුණි.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල පිහිටි  නිවෙසටද ප්‍රකෝපකාරී පිරිස් ගිනි තැබූ අතර එයින් එම නිවෙසට හා එහි නවතා තිබූ රථවාහන රුසකට හානි සිදුවිය. තවද බේරුවල, පයාගල පිහිටි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට අයත් නිවෙසටද ජනතාව එල්ල කළ ප්‍රහාරවලින් හානි සිදුවිය. හිටපු අමාත්‍ය මොහාන් පී. ද සිල්වා මහතාගේ ගාල්ලේ පිහිටි නිවෙසට ගල්, මුල් ප්‍රහාරයත් එල්ල වූ අතර, රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ බෙන්තොට, හඹුරුගල පිහිටි නිවෙසට ප්‍රහාරයක් එල්ල කළ පිරිසක් එහි තිබූ වාහනයකටද ගිනිතබා විනාශ කර තිබිණි.

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අයත් පැල්මඩුල්ල, රිල්හේනේ පිහිටි නිවසේ ගේට්ටුව කඩාගෙන ඇතුළු වූ පිරිසක් එම දේපළ වලට දේපළවලට හානි සිදු කළහ. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පදනම ස්ථාපිත කර ඇති නාවලපිටියේ පිහිටි කාර්යාලයටද කිසියම් පිරිසක් පහර දී තිබූ අතර, ඒ අසල ටයර් පුළුස්සා විරෝධය පළ කරනුද දක්නට ලැබිණි. මේ අතර මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාට මෙන්ම ඔහුගේ පුතුට හා දියණියට අයත් පුත්තලම, වාන මාර්ගයේ පිහිටි නිවාස තුනටද ගිනිතබා ඇති අතර, එයින් රුපියල් කෝටි 50ක පමණ අලාභයක් සිදුව ඇතැයි කියැවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැති ඇමැතිවරුන් ඉලක්ක කරගත් මෙය ආදී වූ තවත් ප්‍රහාර රුසක් වාර්තා වූයේය. ඒ අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට අයත් දේපළවලට මෙන්ම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දේපළවලටද සිදු වූ හානි පිළිබඳ තොරතුරු වාර්තා විය. ඒ අනුව මොරටුව නගරාධිපති, සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ මොරටුවේ පිහිටි නිවෙසටද ගිනි තබා තිබූ අතර, දඹුල්ල නගරාධිපති, ජාලිය ඕපාත මහතාගේ නිවෙසට මෙන්ම ඔහුගේ මවගේ සහ සොහොයුරාගේ නිවෙස්වලටද කුපිත වූ ජනතාව ගිනි තබා තිබිණි.

මේ අතර වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවෙස ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් වෙත වෙඩිතබා තිබුණි. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් අටදෙනකු තුවාල ලැබූ වාර්තා විය. රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවෙස ඉදිරිපිට වූ විරෝධතාවයකටද වෙඩි තබා තිබුණි. එම වෙඩි තැබීමකින් හය දෙනකු සුළු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය වාර්තා කළේය.

මීට අමතරව ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාපති දිල්රුක් අබේකෝන්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ යන මහත්වරුන්ගේ නිවාසවලටද කුපිත වූ ජනතාව විසින් පහරදී තිබූ අතර, අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් මහතාට අයත් හෝටලයකට සහ හබරාදූව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් මහතාගේ සංචාරක නිවස්නයකටද පහර දී හානිකර ඇතැයි වාර්තා විය.

තවත් ප්‍රාදේශීය දේශපාලනඥයන් රුසක් මෙම ප්‍රහාරයන්ට මැදිවූ වතුර දේපළ විශාල ප්‍රමාණයක්ද හානි වී තිබුණි. දේශපාලනඥයන් ඉලක්ක කරගත් ප්‍රහාරවලදී අමාත්‍යාංශවලට සහ පළාත් පාලන ආයතනවලට අයත් රථවහන ඇතුළු ඇතුළු දේපළ රුසකටද හානි සිදුව ඇතැයි වාර්තා වුණි. හරි වැරුද්ද කා අත තිබුණද අවසානයේ සිදුවූයේ මහා විනාශයකි. ඇතැම්හු දේශපාලනඥයන්ගේ යැයි සිතා සාමාන්‍ය ජනතාවට අයත් ව්‍යාපාරික ස්ථාන ඇතුළුව සුපිරි නිවාස කීපයක්ද ගිනිබත් කළහ. කුපිත වූ ජනතාව අතරේ සිටි කොල්ලකරුවෝ සහ මැරයෝ සිය ලාභ ප්‍රයෝජන තකා අපරාධ රුසක් සිදුකළහ.

මෙරට දේශපාලකයන් කලක පටන් සිදුකළ සියලු වැරදි  අවසන් ඔවුන්ට මර බිය දැනෙන රාත්‍රියක් දක්වා දික් ඇදුණි. පුරා ගියේ ඔවුන් විසින්ම කලක පටන් හිමින් සීරුවේ ඇටවූ කාල බෝම්බයකි. එහෙත් ප්‍රචණ්ඩත්වය හෝ දේපළ විනාශය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. අප ආරම්භයේ පැවසුවා සේම අරගලයක් තුළ සිදුවන අමනෝඥ ක්‍රියාවකින් ඇරඹෙන කලකෝලාහල නීති සහ සදාචාර සීමාවන් ඉක්මවා යයි. එසේ හෙයින් දැන් සිදුවූ දෑ සිදුවී හමාරය. මේ පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට සියල්ල පසුකථනය කොට පාඩම් ඉගෙන ගැනීමට සුදුසුම කාලයයි.

 චමිඳු නිසල් ද සිල්වා