2022 මැයි 15 වන ඉරිදා

ජනතා අසහනය මැද එලැඹෙන වෙසක් එක

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 64

මේ උදාවූයේ බෞද්ධයන්ගේ අසිරිමත් මාසයයි. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කරනා වෙසක් මාසයේ වෙසක් දිනය උදාවුණ සතිය පුරාවටම දිවයින පුරා වෙනත් වසරවලදී දකින්නට ඇති අසිරිමත්කම මේ වසරේදී දකින්නට නැත. 2019 වසරේදී බක් මාසයේදී එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමඟ එයට පෙර වසරවලදී මෙන් නිදහසේ වෙසක් සැමරීමට බෞද්ධයන්ට ඉඩ ලැබුණේ නැත. පාස්කු ප්‍රහාරයත් සමඟ ජනතාවට එක්රුස් වන්නට ඉඩ ලැබුණේ නැත. පූජනීය ස්ථානවලට ඒකරාශිවන්නට ඉඩ ලැබුණේ නැත. එහෙයින් විහාරස්ථානවල ශීල සමාදන් වීම නතර වුණි. තොරණ, වෙසක් කූඩු, බැති ගී සියල්ලම නතර විය.

හිටි හැටියේම සිදුවූ මේ තත්ත්වයෙන් බොහෝ පිරිසක් විශාල අර්බුදයකට මුහුණ දුන්හ. තොරණ, වෙසක් කූඩු ඉදිකරමින් සිටි පුද්ගලයින්ට තම කාර්යයන් නතර කර දමන්නට සිදුවුණි. එයින් සිදුවූ පාඩුව සුළුපටු වූයේ නැත.

රටේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බෞද්ධයින්ට වසර දෙකක් තුළදීම සිදුවූයේ ලොව සියලු ජනතාවම මුහුණ දුන් කොවිඩ් වසංගතයට මුහුණ දීමටය. එයින්ද තොරණ, දන්සල් ආදිය ඉදිකිරීම්, පැවැත්වීම් නතර විය.   ගම් මට්ටමින් කුඩා දන්සල ගිය වසර තුළදී පැවැත්වුවද කොවිඩ් හේතුවෙන් එයට අනුමැතිය ලැබුණේ නැත. නමුත් නාගරික නොවුණ කුඩා කණ්ඩායම් විසින් එවැනි දන්සල් කිහිපයක් රටපුරා පැවැත්වුණි.

මෙවරද සිදුවූයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයකි. කොවිඩ් වසංගතයෙන් මඳක් සැනසිලිදායක තත්ත්වයක් උදාවෙමින් පැවැති කාලයක, වෙසක් සැමරීමට හැකි වාතාවරණයක් උදාවූ සමයක, ආර්ථික අර්බුදය එන්න එන්නම වැඩිවිය. දිනෙන් දිනම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියේය. වීදියක් වීදියක් ගානේ ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, භූමිතෙල් පෝලිම් දිගුවිය. පවතින ආර්ථික අර්බුදයට එරෙහිව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාසයක් පුරාවට සාමකාමී අරගලයක් දියත් විය. නමුත් පසුගිය දිනක එම අරගලයට එල්ල වුණ ප්‍රහාරයත් සමඟ රටපුරා ප්‍රචණ්ඩත්වයක් දියත්වුණි. රටපුරා ඇඳිරි නීතියද පැනවිණි. මේ හේතු කිහිපය නිසාවෙන් මෙවර වෙසක් උත්සවය හිතූ තරම් නිදහස් මනසකින් යුතුව ජනතාවට සැමරීමට නොහැකිව තිබේ. තොරණ, දන්සල් අඩු විය. වෙසක් කූඩු, වෙසක් සැරසිලි වෙනදා තරම් රටපුරා නැත. ඒ වෙනුවට නගරය පුරා ඇත්තේ කළු කොඩිය.

&මේ අවුරුද්දේ මාලබේ එක්සත් වෙළඳ සංගමයේ අනුග්‍රහයෙන් මාලබේ නගරයේ මම තොරණක් ඉදිකරනවා. මේ වෙද්දී මට තොරණ පහළොවක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් 2019 අවුරුද්දේ පාස්කු ප්‍රහාරයත් සමඟ තොරණ ඉදිකිරීම මම නතර කළා. ඒ අනුව වසර තුනකට පසුව තමයි මම මේ තොරණ ඉදිකරන්නේ. අද වෙද්දී මේ කර්මාන්තය මෙතනම නතරව යන තත්ත්වයක් තමයි උදාවෙලා තිබෙන්නේ. මීට අවුරුදු කිහිපයකට උඩදී ආසාවෙන් තොරණ ඉදිකළ නිර්මාණකරුවන් බොහෝමයක් මේ වෙද්දී මේ කර්මාන්තයෙන් ඉවත්වෙලයි ඉන්නේ. අද මේ පවතින මිල දරාගන්න හරි අමාරුයි. මේ කර්මාන්තයට කිසිම අමාත්‍යංශයකින් කිසිම සහනයක් ලබලා දීලා නැහැ. අද අපි මේ තොරණේ සැකිල්ල ඉදිකරද්දීත් සමහර ළමයි &මේ මොකක්ද* කියලා අහනවා. අපේ පොඩි කාලේ වගේ නෙමෙයි. තවමත් තොරණක් දැකපු නැති ළමයි ඉන්නවා.* යැයි තොරණ නිර්මාණකරුවකු වන ශ්‍රී ශ්‍රීනාත් රුබේරු මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඇතැමුන් තොරණ නිර්මාණකරුවකු වන්නේ තම පරම්පරාවෙනි. තම පියා පරපුරෙන් තොරණ නිර්මාණකරුවකු වන අතර ශ්‍රීනාත් නිර්මාණකරුවකු වන්නේ තම කැමැත්තටය.

කුඩාකළ තොරණ නරඹන්නට යද්දී බොහෝ දෙනා සේ තොරණේ ඉදිරිපස සිට ගනිමින් තොරණ නරඹන්නන් අතරේ නොසිට ශ්‍රීනාත් තොරණේ පිටුපසට ගොස් එය ක්‍රියාකරනා අන්දම බලා සිටියේය. ඇතැම් කාලවලදී තොරණ ඉදිකරනා අය අතරට ගිය ශ්‍රීනාත් ඒවාට උදව්වෙමින් ඒවා නිර්මාණය කරනා අන්දම ගැන ටිකෙන් ටික ඉගෙන ගත්තේය.

මාලබේ තොරණ නිර්මාණය කිරීමේදි මූලිකව ශ්‍රීනාත් යටතේ දහ දෙනෙකුට අධික පිරිසක් සේවය කළහ. සෑම වසරකදීම ඉදිකරනා තොරණින් ශ්‍රීනාත් ඇතුළු නිර්මාණකරුවන්ට ලාභයක් හිමිවන්නේ එය පොසොන් සහ ඇසල පොහෝ දිනවලදීද ප්‍රදර්ශනය කිරීමෙනි.

වෙළෙඳ සංගම්වලින් කරද්දී අපිට මුදල්වල ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. නමුත් එසේ නොමැතිව ඉදිකරන තොරණවලින් අපිට යම් ලාභයක් ලැබෙන්නේ පොසොන් සහ ඇසල පෝ දිනවලදී ප්‍රදර්ශනය කිරීමෙන් පසුවයි. වෙනත් වසරවලදී තොරණ වෙසක් දිනයද ඉදිකළාට පසුව ගලවා නිවසට ගෙනියන්නේ නැහැ. පොසොන් සහ ඇසල පොහොය දිනයදා වෙනත් පිට පළාත් දෙකක මෙම තොරණ ප්‍රදර්ශනය කරනවා. නමුත් මෙවර අපිට වෙසක් පොහොයදාට ප්‍රදර්ශනය කළාට පසුව ගෙදර ගෙනියන්න තමයි සිදුවන්නේ.* යැයි ශ්‍රීනාත් රුබේරු මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ වනවිට තොරණ වෙනුවෙන් සවිකරන බල්බයක මිල රුපියල් හැත්තෑවකි. මීට වසර තුනකට පමණ පෙරදී ඔවුන් එම බල්බයක් මිලදී ගෙන ඇත්තේ රුපියල් විසි දෙකයි සත පනහකටය. තොරණ වෙනුවෙන් එවැනි බල්බයක් දළ වශයෙන් හැට පන්දහසක් පමණ අවශ්‍ය වේ. මේ මිලවල ඉහළ යාම නිර්මාණකරුවන්ට දරාගත නොහැකිය. මේ කර්මාන්තයෙන් මෙවර බොහෝ නිර්මාණකරුවන් ඉවත්ව යාමට ප්‍රධාන හේතුව වන්නේද මේ අසීමිත ලෙස මිල ගණන්වල ඉහළ යාමයි.

ශ්‍රීනාත් රුබේරු මෙම තොරණ ඉදිකරන ලද්දේ 2019 වසරේ ප්‍රදර්ශනය කිරීම සඳහාය. ඒ වෙනුවෙන් විශාල මුදලක් යටකර තිබුණි. නමුත් නොසිතූ ලෙසින් පාස්කු බෝම්බ ප්‍රහාරයක් සමඟ පිරිස එක්රුස් වන ස්ථාන තහනම් කිරීම සමඟ ශ්‍රීනාත්ට සිදුවූයේ නිර්මාණය අතරමඟ නතර කර දැමීමටය. මෙවර අතරමඟ නතර කළ තොරණ ප්‍රදර්ශනයට සූදානම් වුවද ඒ සඳහා වැඩි වූ මුදල ඉතා වැඩිය. එකල බොහෝ තොරණ ඉදිවූයේ පුවක් කොටවලින් ඉදිකළ සැකිල්ලේ ආධාරයෙනි. එයින් සිදුවූයේ වෙසක් සමයේදී බොහෝ පුවක් ඇතුළු ගස් විනාශ වී යාමය. එය සොබාදහමට හානිකර තත්ත්වයකි. මේ නිසාම බොහෝ නිර්මාණකරුවන් මේ වනවිට තොරණ් ඉදිකරනු ලබන්නේ යකඩ බට මතය. විදුලිය සම්බන්ධයෙන් කරනු ලබන නිර්මාණ කටයුත්තක් නිසා එයද ඉතා අවදානම් තත්ත්වයකි. නමුත් ගස් විනාශ නොකොට නිර්මාණකරුවන් එම අවදානමද ගෙන වෙසක් සමයේ තොරණ ඉදිකළද මෙවර එතරම් තොරණ සංඛ්‍යාවක් කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවලින් දක්නට නැත.

වෙසක් සමයේදී වෙසක් සුභපැතුම්පතට හිමිවන්නේ සුවිශේෂීකමකි. පාසල්වල කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා බොහෝ දෙනෙක් වෙසක් සුභ පැතුම්පත් මිලදීගෙන තම නැදෑයන්ට හිතවතුන්ට තැපැල් කළහ. ඇතැමුන් &අතේ තැපැල්* ලෙසින් සුභ පැතුම්පත් යැවූහ. මෙවර වෙසක් සුභපැතුම්පත් වෙළෙඳසල් දක්නට ඇත්තේ ඉතා අඩුවෙනි. ඒවාට එන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවද ඉතා අඩුය.

ජේ.එස්. වෙළෙඳ නාමය යටතේ වෙසක් සුභපැතුම්පත් සහ වෙසක් සැරසිලි නිර්මාණකරණ ආයතනය මේ වනවිට තම නිර්මාණ භාණ්ඩ සකසා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.එයට ප්‍රධානම හේතු වී ඇත්තේ මේවා නිර්මාණ කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යාමය.

අපේ ආයතනය විසින් නිර්මාණ කරන ලද වෙසක් සැරසිලි විස්සක් තිහක් අතර ප්‍රමාණයක් තියෙනවා. වෙසක් කූඩුවලට අධික ඉල්ලුමක් තියෙනවා. අප කාඩ්බෝඩ් වෙසක් කූඩු වගේම බට යොදා නිර්මාණකරන වෙසක් කූඩුද නිර්මාණය කරනවා. නමුත් ඒ හැම දෙයක්ම මේ කාලයේදී සකස් කරන්න ලොකු වියදමක් යනවා.

මේ කර්මාන්තය ආරම්භ කරල දැන් මම අවුරුදු දහයකටත් වැඩියි. මුලින්ම මේ සම්බන්ධව වැඩි ආදායමක් ලැබුවේ පිටකොටුවේ ව්‍යාපාරය කරපු වෙළෙඳුන්. ඔවුන්ගෙන් බොහෝමයක් අන්‍ය ආගමිකයින්. මමත් මුලින්ම දමිළ මහත්තයෙක් යටතේ සේවය කළා. ඔහු වෙසක් සුභපැතුම් පත් මුද්‍රණය කරපු කෙනෙක්. මම තමයි ඒ වෙසක් සුභපැතුම්පත් පරිගණකය ආශ්‍රයෙන් නිර්මාණය කළේ. එයින් ඔහු ඉතා වැඩි ලාභයක් ලැබුවා. පසුව චීනයෙන්ද වෙසක් සැරසිලි මෙරටට ගෙන්වූවා. ඒ නිසාම මෙවැනි ආයතනයක් ආරම්භ කරන්නට මම තීරණය කළා.

යැයි ජේ.එස්. පෞද්ගලික ආයතනයේ ප්‍රධානී ජෙහාන් ප්‍රියශාන්ත මහතා දේශයට පැවසීය.

මෙම ආයතනය ආරම්භ වීමත් සමඟ ජෙහාන් දිවයින පුරා තම වෙසක් සුභපැතුම්පත් සමඟ වෙසක් සැරසිලි විකුණුවේය. වෙසක් සුභපැතුම් පතේ සිට බකට් සැරසිල්ල දක්වා එම ආයතනයේ නිෂ්පාදනය කළේය. ඔහු ගමේ මිනිසුන් නිවෙස්වලට සැරසිලි නිර්මාණය කරන්නට සියලු අමුද්‍රව්‍ය ලබාදී ඒවා මිලදී ගත්තේය. එයින් වෙසක් සමය ලංවෙද්දී බොහෝ දෙනකුට රුකියාවල්ද ලැබුණි.

මුල් කාලයේදි පෝස්ට් කාඩ් ප්‍රමාණයේ කුඩා වෙසක් සුභපැතුම් පත් මෙම ආයතනය එක වසරකදී ලක්ෂ සීයක් පමණ මුද්‍රණය කර ඇත. එය එකල ඉතා ජනප්‍රිය වෙසක් සුභපැතුම් පතකි. මේ වෙද්දී එවැනි පෝස්ට් කාඩ් ප්‍රමාණයේ වෙසක් සුභ පැතුම්පත් දකින්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි.

වෙසක් කූඩුවලට මේ වෙද්දී අධික ඉල්ලුමක් පවතී. නමුත් කඩදාසිවල ගැටලුව හේතුවෙන් එවැනි කූඩුවලට මිල වෙනදාට වඩා ඉතා මිල අධිකය. පසුගිය කාලයේදී පාස්කු ප්‍රහාරය. කොවිඩ් වසංගතය වැනි හේතුන් නිසා මෙම ආයතනයේ ලක්ෂ දෙසීයකට වඩා වැඩි මුදලක වෙසක් සැරසිලි ගබඩා වි තිබුණි. මෙයින් බොහොමයක් පාවිච්චියට ගත නොහැකි ලෙසින් විනාශ වී ඇති අතර අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් නිර්මාණ කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත


වෙන වසරවලදී මහාමාර්ගය දෙපස වෙසක් කූඩු සහ සැරසිලි විකිණීමට තිබූ නමුත් මෙවර එම වෙළඳුන්ගේද අඩුවක් දක්නට ඇත. දන්සල්ද මෙවර දකින්නට නැත. ආමිස පූජාව දෙන්නට තරම් වත්කමක් අද මිනිසුන්ට නැත. ඒකරාශි වී හෝ ආමිස පූජාවක් ලබාදෙන්නට තරම් මේ කාලයේදී රටේ ජනතාවට හිතේ සැනසීමක් නැත. ඒ අනුව තොරණ, දන්සල් අඩුම වෙසක් සමයක් ලෙසින් මේ වසර හැඳින්විය හැකිය.

 දිශානි ජයමාලි කරුණාරත්න