2022 මැයි 15 වන ඉරිදා

කළුකඩ හදන ණය බර වැඩි කරන සල්ලි අච්චු ගැහිල්ල

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 183

රටේ උද්ධමනය මේ වනවිට සියයට 29.8 ඉක්මවා ගොස් ඇත. පසුගිය මාර්තු මාසය හා සසඳන විට උද්ධමනයේ වැඩිවීම සියයට 11.1කි. මාසයක් තුළ මේ තරම් උද්ධමනය ඉහළ යාමක් මෑත අතීතයේ ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබුණේ ප්‍රථම වතාවටයි. උද්ධමනය යනු රට තුළ භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය ලෙස ආර්ථික විද්‍යාවේදී ඉගැන්වේ. භාණ්ඩ මිල ඉහළ යාමට හේතු කිහිපයක් බලපායි. එකක් වන්නේ නිෂ්පාදනයේ මිල වැඩිවීමය. නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය මිල, ශ්‍රම මිල සහ බදු ආදිය ඉහළ නැංග විට මිල ඉහළ නගී. එසේම වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟ වූ විට මිල ඉහළ යයි. වැඩි ඉල්ලුම්කරුවන් පිරිසක් සිටින විට ඔවුන්ගේ අවශ්‍යතාවට තරම් භාණ්ඩ, වෙළෙඳ පොළේ නැතිවිට මිල ඉහළ යයි. මෙහිදී වෙළෙන්දෝ අතිරික්ත ලාභයක් මිලට එකතු කර කළුකඩ මිලක් නිර්මාණය කරති. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල් පාරිභෝගිකයාට අවශ්‍යම නිසා මිල ගැන නොසලකා ඒවා මිලට ගැනීමට පෙළඹෙති. මෙහිදී වෙළෙන්දා අධික ලාභ ලබයි.

පාරිභෝගිකයා අත වැඩිපුර මුදල් ගැවසෙන විට ඔවුහු වැඩි මිලට භාණ්ඩ ලබාගැනීමට පෙළඹෙති. එයට හේතුව තමන්ට එම භාණ්ඩය අදාළ මිලට ගැනීමට වත්කමක් තිබීමය. රටක් ආර්ථිකමය අතින් පරිහානියට පත්ව තිබෙන අවස්ථාවක ජනතාවගේ ඉපැයීමේ ශක්තිය අවම වී තිබියදී මෙලෙස අතට යහමින් මුදල් ලැබෙන්නේ කෙසේද? එසේ වීමට මුදල් ලැබෙන්නේ කෙසේද? එසේවීමට නම් ඔවුන් ළඟ මුදල් යහමින් උපයා තිබිය යුතු වෙයි. ජනතාව අතට වැඩිපුර මුදල් ලැබෙන්නට නම් රටේ මුදල් වෙළෙඳපොළට මුදල් ගලා ආ යුතු වෙයි.

රටේ මුදල් සැපයුම විකෘති ආකාරයට සිදුවන විට ජනතාව අතට වැඩිපුර මුදල් ලැබෙයි. ජනතාවට වැඩිපුර මුදල් ලැබීම නිසා ඔවුන්ගේ ''ක්‍රය ශක්තිය'' හෙවත් වියදම් කිරීමේ හැකියාව ඉහළ යයි. වැඩිපුර ඉල්ලන විට භාණ්ඩ මිල ඉහළ යාම නොවැළැක්විය හැකිය. ඉල්ලුම අඩුවන විට මිල සංකෝචනය වීම සිදුවන අතර ඉල්ලුම වැඩිවන තරමට එයට සමානුපාතිකව මිල ප්‍රසාරණය වනවා ඇත. සැපයුම වැඩි නොවී එය ස්ථාවරව තිබියදී ඉල්ලුම අසීමිත ලෙස ඉහළ යන්නේ නම් කළුකඩ මිලක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය.

රටට මුදල් සැපයුම්කරුවා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මහ බැංකුව මුද්‍රණය කරන මුදල් භාණ්ඩාගාර බිල්පත් වශයෙන් රජයට ලැබෙයි. ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව මුදල් මුද්‍රණය කිරීමේදී සාම්ප්‍රදායික ක්‍රමවේදයක් අනුගමනය කරයි. පසුගිය සමයට පෙර මෙම ක්‍රමවේදයට බොහෝදුරට යම් පමණකට අනුගත විය. රටේ ආර්ථික තත්ත්වය උසස් මට්ටමට පත්වූ විට ජනතාවගේ මුදල් අවශ්‍යතා ඉහළ යයි. එවැනි අවස්ථාවක රටේ ආර්තික ප්‍රසාරණය සලකා එයට සමානුපාතිකව මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කරයි.

අනෙක් ක්‍රමය වන්නේ මුදල් නෝට්ටු විවිධ හේතු නිසා ගනුදෙනු කිරීමට නුසුදුසු වූ විට මහ බැංකුව එම මුදල් නෝට්ටු රඳවාගෙන ඒ වෙනුවට අලුත් නෝට්ටු වෙළෙඳපොළට නිකුත් කිරීමය. එවිට වැඩිපුර මුදල් සංසරණය සිදුවන්නේ නැත. මෙම ක්‍රම දෙකෙන් පරිබාහිරව අතිරික්ත ලෙස මුදල් මුද්‍රණය කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස රටේ උද්ධමනය ඉහළ යනවා ඇත. වර්තමාන රජය පාලනය බාරගත් 2020 වසරේ සිට මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන තුනකට වැඩිය. මේ පිළිබඳ එකල මහ බැංකු අධිපති ධුරය හෙබවූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් පැවසුවේ නව මුදල් න්‍යායට අනුව මෙලෙස මුදල් මුද්‍රණය කළ අතර එයින් රටේ උද්ධමනය ඉහළ නොයන බවය. ඊට පසු මහ බැංකු අධිපති බවට පත්වූ ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල්ද ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ගේ මුදල් මැෂිම යළි පණගැන්වූ අතර දිගටම මුදල් මුද්‍රණය සිදුකළේය. ඔහු පැවසුවේ රටේ ආර්ථිකය ක්‍රමයෙන් දියුණුවන නිසා එයට අනුරූපව මුදල් මුද්‍රණය කළ යුතු බවය. මේ දෙදෙනාම නූතන මුදල් න්‍යාය අනුගමනය කරමින් මුදල් මුද්‍රණය කළ අයයි. බදු අඩු කිරීමෙන් සහ මුදල් සැපයුම වැඩිකිරීම මගින් උද්ධමනය පාලනය වන බව නූතන මුදල් න්‍යායෙන් ප්‍රකාශ වෙයි. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ එය සත්‍ය වන නමුත් මෙම තත්ත්වය අදාළ වන්නේ අන්තර්ජාතික ලෙස පිළිගත් මුදල් ඒකක පාවිච්චි කරන රටවලට පමණක් බවය. ලංකාව වැනි රටක් නොවේ. අපේ රුපියල අන්තර්ජාතික මුදල් ඒකකයක් නොවේ. ඒ නිසා එය අපට අදාළ වන්නේ නැත.

2020 වසරට සාපේක්ෂව 2021දී රටේ මුදල් සැපයුම සියයට 40කින් වැඩිකරගෙන ඇත. එලෙස කළේ මුදල් නෝට්ටු මුද්‍රණයෙනි. මෙලෙස වැඩිකරගත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3000කි. මේ වසර දෙකේදී අපේ ආර්ථික වර්ධන වේගය තිබුණේ ඍණ අගයකය. මෙම පරිසරය මත මුදල් ප්‍රමාණය වැඩිවීම ආර්ථිකයට දරාගන්නට බැරිව තිබුණි.

බොහෝ අවස්ථාවල මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම පිළිබඳ අදෘශ්‍යමාන හස්තය වී තිබුණේ දේශපාලන අධිකාරියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත න්‍යායවලට පිටින් ගොස් රජයේ වියදම් පිරිමසා ගැනීම සඳහා අත්තනෝමතික ලෙස මුදල් මුද්‍රණයට පෙළඹී තිබුණි. කෙසේ වුවද ඒ සමයේ මුද්‍රණය කළ නෝට්ටු ප්‍රමාණය පිළිබඳ කිසිදු පාරදෘශ්‍යභාවයක් තිබුණේ නැත. බොහෝ අවස්ථාවල සිදුවූයේ මුද්‍රණය කළ මුදල් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කර අවශ්‍ය වූ විට එළියට දැමීමය. එහෙත් මෙහිදී මුද්‍රණය කළ මුළු මුදල් තොගයම සංසරණයට එක්කෙරුණි. එසේම පොලී අනුපාතය පහළ මට්ටමක තිබීම හේතුවෙන් ජනතාව තම අතට ලැබුණු මුදල් සියල්ලම එකවර වියදම් කිරීමට පෙළඹුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුදලේ සංසරණ වේගය ඉහළ ගිය අතර මුදලින් ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය පහළ වැටුණි. භාණ්ඩ මිලට ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය පහළ මට්ටමකට ගියේය.

මෙලෙස හිතුවක්කාරී ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, උද්ධමනය ඉහළ ගොස් ජනතාව හිරිහැරයට ලක්විය. කෙසේ වුවත් මාසයෙන් මාසය රටේ ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයක පත්වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මුලින් කී මහ බැංකු අධිපතිවරුන් දෙදෙනාටම තනතුරු හැරයාමට සිදුවිය. අනතුරුව නව මහබැංකු අධිපති ලෙස ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්විය.

ඔහු රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමු පවත්වමින් පැවසුවේ රටේ ආර්ථිකය ඉතාම අහිතකර තත්ත්වයට පත්ව ඇති අතර එයට එක් හේතුවක් වනුයේ සැලසුමකින් තොරව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම බවය. ඒ නිසා පවතින තත්ත්වය වෙනස් විය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය. එහෙත් මේ මාසය වනවිට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා මුදල් නොමැති තත්ත්වයට පත්ව සිටින බව පවසා යළිත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යන බවට මාධ්‍ය මගින් ආරංචි පැතිරෙමින් තිබේ.

රාජ්‍ය සේවයට අලුතින් නිලධාරීන් බඳවා ගැනීම මේ වනවිට මුදල් අමාත්‍යංශ චක්‍රලේඛයක් මගින් නවතා ඇත. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත සිදුව ඇති බව දැනගන්නට තිබේ. එසේ වුවද දැනට සේවයේ නිරත රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීම අනිවාර්ය වෙයි. මේ වනවිට රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් බිල දරාගැනීමට රජය අපොහොසත් වී තිබේ. අද රටේ පවතින ගැටලුකාරී වාතාවරණය නිසා රාජ්‍ය වැටුප් ගෙවීම උභතෝකෝටික ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ අද රට පත්ව ඇති පරිසරය අනුව මුදල් මුද්‍රණය කිරීමට සිදුවන තත්ත්වයට ආණ්ඩුව පත්ව තිබෙන්නට පුළුවන් බවය.

&රජයේ බදු ආදායම පසුගිය වර්ෂ දෙක තුළ අඩුව තිබෙනවා. එයට එක් හේතුවක් වන්නේ මුලසිටම රජය බදු ආදායම එකතුකර ගැනීම පිළිබඳ කාර්යක්ෂම පියවර නොගැනීමයි. අද පවතින තත්ත්වය අනුව රාජ්‍ය ආදායම තවත් පහළ බැස තිබෙනවා. එසේම රටට ආදායම ලැබෙන සංචාරක ව්‍යාපාරය, අපනයන ආදායම විදේශ ප්‍රේෂණ ආදිය අවම වී තිබෙනවා. විදේශ ණය ගැනීමද අපහසු බවට පත්ව තිබෙනවා. වර්තමානයේ රටේ උද්ගත වූ දේශපාලන අස්ථාවර භාවය මෙම තත්ත්වය තීව්‍ර කිරීමට සමත්ව තිබෙනවා. මෙවැනි පරිසරයක රාජ්‍ය සේවක වැටුප් සහ රජයේ පුනරාවර්ථන වියදම් ආදිය සඳහා අලුතින් මුදල් මුද්‍රණය කිරීම ගැන අවධානය යොමුවිය හැකියි. හැබැයි එහෙම වුණත් එය තාවකාලික ප්‍රතිකර්මයක්. රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු සියල්ල යථා තත්ත්වයට පත්කර ගන්න සිදුවෙනවා ඇති. මෙහි අයහපත් ප්‍රතිවිපාක අවම කරගත යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම ගැන මේ දිනවල සාකච්ඡා පවත්වනවා. මගේ අදහසේ හැටියට නම් උපරිම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3-4 අතර ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වේවි. එයට එකවර නොලැබෙන අතර කොටස් වශයෙන් තමා දෙන්නේ. මෙහිදී සිදුවිය යුත්තේ රජය ණය පිළිබඳ විශ්වාස නොතබා රටේ ආදායම ලබාගැනීමට කටයුතු කිරීමයි. එහෙම නොවුණොත් හැමදාම ණය වෙන්නයි වෙන්නේ.

දැනට රජයේ මුදල් ආදායම ප්‍රමාණවත් වන්නේ නැහැ. ආදායම හා වියදම අතර හිඟයක් පවතිනවා. මෙය වසරින් වසර පුළුල් වන බව පෙනෙන්නට තිබෙනවා. මහ බැංකුව මුදල් මුද්‍රණය කරලා එම මුදල් රජයට ණය ලෙස දෙනවා. මුදල් මුද්‍රණය මහ බැංකු ශේෂ පත්‍රයේ වගකීමක් වන අතර, එයින් දෙන ණය තමා වත්කමක් වන්නේ.

මුදල් වෙළෙඳපොළ ප්‍රසාරණය වීම නිසා ගැටලු ඇතිවෙනවා. උද්ධමනය වැඩි වෙනවා. රටේ ආර්ථික වර්ධනය පහළ යනවා. ජනතාවගේ ජීවන මට්ටම පහළ යනවා. ඒ නිසා මුදල් මුද්‍රණය කර මුදාහැරීම දිගටම කළ හැකි දෙයක් නොවෙයි. 
යුරෝපා සංගමයේ &යුරෝ* මුදල් ඒකකය පිළිගත් රටවල් 19ක් ඇත. ඒ අයට මූල්‍ය ප්‍රතිපත්තියක් නැහැ. මුදල් මුද්‍රණය හෝ පොලී අනුපාත ගැන ඒ රටවලට තීරණයක් ගන්න බැහැ. සියලු තීරණ ගන්නේ යුරෝපා මහ බැංකුවෙන්, මෙම තත්ත්වයෙන් අපට ආදර්ශ ගත හැකියි. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යනු ආර්ථික විද්‍යාඥයකු නොවෙයි. ඔහු ගණකාධිකාරිවරයෙක් පමණයි. මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඔහුට තීරණ ගන්න බැහැ. ඔහු ප්‍රකාශ කළා අපට ජාත්‍යන්තර ණය ගෙවන්න බැරි බව. මැත ඉතිහාසයේ ශ්‍රී ලංකාව කිසිදිනක ණය ගෙවීම් පැහැර හැර නැහැ. නිදහස ලැබීමෙන් පසු එවැනි ප්‍රකාශයක් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. කෙසේ වුවත් අද පවතින තත්ත්වය අනුව අපට දේශීය හා විදේශීය ණය ගෙවීම කළ හැකිද යන්න ගැටලුවක්.

කෙසේ වුවද රටේ එදිනෙදා වියදම් පියවා ගැනීම පවා අපට මේ දිනවල ගැටලුවක් වෙලා තිබෙනවා. අද තත්ත්වයට ගැලපෙන සේ රාජ්‍ය ආයවැය කළමනාකරණය කළ යුතු වෙනවා. රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳ සීමා මායිම් පැනවිය යුතුයි. දැනටමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය සමයේ අප ණය ලබාගෙන ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලින් අපට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ. නෙළුම් කුලුන, හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රීඩාංගණය ආදිය උදාහරණ ලෙස ගත හැකියි. මෙම ව්‍යාපෘතිවලින් ආදායමක් ලබාගැනීම සඳහා විදේශයන් සමග සම්බන්ධ වී යම් යම් ක්‍රියාමාර්ග ගත හැකිය. දැනට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර රාශියක් තිබෙනවා. ඒවා රජයට සුළු කොටසක් තබාගෙන දේශීය හා විදේශීය පෞද්ගලික අංශයට ලබාදීමට පුළුවන්. මෙමගින් විශාල මුදලක් ලබා ගැනීමට හැකිවේ යැයි විශ්වාස කරනවා.

 යසවර්ධන රුද්රිගු