ලොව සෑම ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හෝ වරායක් ඇති රටකම මේ වනවිට ප්‍රභූ පර්යන්ත මගී සේවා කටයුතු ක්‍රියාත්මක වේ. එහෙත් ජාත්‍යන්තර නාවික ගමන් ක්‍රියාත්මක වුවද, බොහෝවිට නාවික යාත්‍රා මගින් ප්‍රභූවරුන් ගමන් කිරීම සිදු නොවන නිසා ජාත්‍යන්තර වරායන් තුළ ප්‍රභූ පර්යන්ත පහසුකම් සැපයීම ප්‍රායෝගිකව සිදු නොවන තත්ත්වයට පත් වී තිබේ.
මේ වනවිට නාවික ගමනාගමනයට සාපේක්ෂව ලෝකයේ ගුවන් ගමන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා සෑම ජාත්‍යන්තර ගුවන් තොටුපොළකම ප්‍රභූ පර්යන්ත ගුවන් මගී පහසුකම් සැපයීම සිදුකරගෙන යනු ලබයි. එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වරායවලට සාපේක්ෂව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ සමස්ත ප්‍රභූ ගුවන් ගමන් සේවා වලින් 99%ක් පමණ ක්‍රියාත්මක වේ.
ලෝකයේ බොහෝ රටවල මෙම පහසුකම් විදේශිකයන් වෙත පමණක් ලබාදීම සිදු කරන අතර, මෙම කලාපයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පමණක් මෙම පහසුකම් දේශීය ගුවන් මගීන් වෙත ද සළසා දීමට පියවර ගෙන තිබේ. කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල විදේශිකයනට පවා මෙම පහසුකම් ලබා දෙනු ලබන්නේ, ඔවුන් පිළිබඳව විශේෂ විමර්ශනය කිරීමක් සිදු කිරීමෙන් පසුවය.
මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ මෙසේ ප්‍රභූ පර්යන්ත පහසුකම් වැඩි වශයෙන් ලබා ගනිමින් සිටින්නේ දැනට දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී සිටින දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම මෙම දේශපාලනඥයන්ගේ සමීපතම මිතුරන් වීම ගුවන් තොටුපොළ මෙම සේවා සපයන්නන්ට කරදරයක් බවට පත්වීමට තරම් වර්ධනය වී තිබේ. ඒ අනුව මෙවැනි ප්‍රභූවරුන්ගේ ගුවන් ගමන් සාමාන්‍යයෙන් දිනකට 50ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ සිදුවන බව ප්‍රකාශයට පත් වී තිබේ.
මෙවැනි පසුබිමක් යටතේ ශ්‍රී ලාංකික දේශපාලනඥයන් මෙම ප්‍රභූ පර්යන්ත ගුවන් මගී සේවා අවභාවිත කරන තත්වයක් විද්‍යාමාන වීමත්, ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික වශයෙන් අර්බුදයකට ලක්වීමත් පසුබිම් කර ගනිමින් ඉකුත් 05/06 දින අලුයම 12.00 පැයේ සිට මෙම ප්‍රභූ පර්යන්ත සේවාවලින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන්ද, මෙම පර්යන්තයට ආහාරපාන සපයන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ද ඉවත් වීමට පියවර ගෙන තිබුණි.
මෙම සිදුවීම ශ්‍රී ලංකාව තුළ දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ශ්‍රී ලාංකික ජන සමාජය තුළද ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්ත සේවා කටයුතු පිළිබඳව වැඩි මෙන්ම විශේෂ කතාබහක් ඇති කිරීමට සමත් වූ සිද්ධිය බවට පත් වී තිබුණි. දුරාතීතයේ, එනම් ඉපැරුණි රජ දවස සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය රාජතාන්ත්‍රිකයන් වෙත විශේෂ ගරු බුහුමන් දැක්වීම සිදුකර තිබුණි.
වර්තමානයේ මෙම ප්‍රභූ පර්යන්ත ගුවන් මගී සේවා (V.I.P.) (Very Important Person) පිළිබඳව මුලින්ම නිර්දේශ ඉදිරිපත් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍රලේඛයක් මගින් දක්වා ඇති අතර, එමගින් මෙම පහසුකම් අත්විඳින පුද්ගලයන් නම් කිරීමට ඒ ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බලතල පවරා දී තිබේ. මෙම චක්‍රලේඛයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා, විදේශීය තානාපති නිලධාරීන්, (කොන්සල්ජනරාල්වරුන්ට මෙම වරප්‍රසාදය හිමි නොවේ), අමාත්‍ය ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරීවරයා, මහනායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන්, අනෙකුත් ආගමික ප්‍රධානීන් වහන්සේලා, නීතිපතිවරයාද මෙම වරප්‍රසාද ලැබීමට හිමිකම් ලබා තිබේ. ඒ අනුව එම නිර්දේශ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම වෙත ලැබීමට සලස්වනු ලැබේ.
ඒ අනුව ඔවුන් මෙම නිර්දේශිත නාමයන්, ඔවුන් පැමිණෙන හෝ පිටත්වන වේලාව, අදාළ ගුවන් යානය ආදිය ඇතුළත් තොරතුරු ලේඛනයක් සකස් කර දිනපතා, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි තොරතුරු කේන්ද්‍රය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මීට අදාළ සේවාවන් සපයන ආයතන වෙත නිරන්තරයෙන්ම නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට, ගුවන් තොටුපොළ වෙත පිවිසීමේ සිට විශේෂ ආරක්ෂාවක් මග පෙන්වීමක් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලබයි. එතැන් සිට ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසෙන මෙම ගුවන් මගීන් අනෙකුත් ගුවන් මගීන්ගෙන් වෙන් කරගෙන, විශේෂ මාවතක් ඔස්සේ ප්‍රභූ පර්යන්තය වෙත ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් රුගෙන යනු ලබයි. එතැනදී මෙම ප්‍රභූ ගුවන් මගීන්ට විශේෂ සැප පහසුකම් සහිත කාමර තුළ අසුන් ගැනීමට සළස්වන අතර ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ඔවුන් වෙතටම සැපයීම සිදු කරයි.
මීට අමතරව වැසිකිළි, කැසිකිළි පහසුකම්, ජාත්‍යන්තර ඍජු දුරකථන පහසුකම්, ජාත්‍යන්තර සහ දේශීය රෑපවාහිනී විකාශන නැරඹීමේ පහසුකම් සියල්ලද මෙම මගීන්ට හිමි වන්නේ රජය විසින් ගෙවීම් සිදු කරන මහජන බදු මුදල්වලින් වීම විශේෂත්වයකි. මෙම සිදුවීම් අතරතුර මෙම ගුවන් මගීන් අභියසට පැමිණෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් මෙම මගීන් පිළිබඳව වැඩි සොයා බැලීමකින් තොරව සහ ඔවුන්ගේ ගුවන් භාණ්ඩද නිශ්කාෂණය කරදෙනු ලබයි. එහෙත් සාමාන්‍ය ගුවන් මගීන්ගේ මුහුණ බලා, ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍ර නිශ්කාෂනය කරනු ලබන අතර, ඔවුන්ගේ ගමන් මලුද රේගු නිලධාරීන් විසින් දැඩි සුපරීක්ෂාවට ලක්කරනු ලබයි.
එසේම ගුවන් යානයෙන් පැමිණෙන ප්‍රභූ ගුවන් මගීන්, ගුවන් යානය අසලටම ගොස් හඳුනා ගන්නා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් සේවා නිලධාරීනියන් කෙළින්ම ඔවුන් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා ගෙන එනු ලබන අතර, ඔවුන්ටද මෙම පහසුකම් මහජන මුදලින්ම භුක්ති විදීමට සලස්වනු ලැබේ. මීට අමතරව මෙසේ පැමිණෙන ප්‍රභූ ගුවන් මගීන් මෙම විශේෂ ප්‍රභූ මැදිරිය තුළ සිටින අතරතුර, ගුවන් තොටුපොළ සේවකයෝ මෙම ගුවන් මගීන්ගේ බඩුබාහිරාදිය ඇතුළත් ගමන් මලු, මෙම මැදිරිය වෙත ගෙනැවිත් භාර දීමට කටයුතු කරති.
ඉන්පසුව මෙම ගුවන් මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු ගුවන් තොටුපොළ සේවකයන් විසින්, මෙම ගුවන් මගීන්ගේ වාහන වලට පැටවීමෙන් පසුව පෙර ගමන් සහ පසු ගමන් පොලිස් ආරක්ෂක වාහන මධ්‍යයේ ගුවන් තොටුපොළෙන් සිය නිවෙස් හෝ හෝටල් බලා යාම සිදුවෙයි.
එහෙත් සාමාන්‍ය ගුවන් මගීන් ගුවන් යානයෙන් බැස පැමිණීමෙන් අනතුරුව තම ගමන් මලු අදාළ ස්ථානවලින් තෝරා ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු සහ රේගු නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව ගුවන් තොටුපොළෙන් පිටව යාමට අවසරය හිමි කර ගනී. රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙසේ ක්‍රියාත්මක වන ප්‍රභූ ගුවන් මගී වරප්‍රසාද ව්‍යාපාරිකයන්ට සහ අනෙකුත් අවශ්‍ය පුද්ගලයන්ට මුදල් ගෙවා ලබා ගැනීමට සිල්ක් රෑට් (Silk Route) නැමැති විශේෂ ගුවන් මගී පර්යන්තයක් (C.I.P. Lounge) නමින් කටුනායක ගුවන් තොටුපොළ හඳුන්වා දී තිබේ.
මීට අමතරව කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ශ්‍රී ලාංකික ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයා මෙන්ම වෙනත් විදේශීය රාජ්‍ය නායකයන්ට (Very Very Important Person) ඔවුන් වෙනුවෙන් අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය (V.V.I.P. Lounge) නමින් තවත් ස්ථානයක්ද පිහිටුවා තිබේ. මෙම මැදිරිය තුළින්ද මෙම ගුවන් මගීන්ට මහජනතාවගේ බදු මුදලින් සියලුම පහසුකම් අත්විදීමට සලස්වා දී තිබේ.
කටුනායක ටී.කේ.ජී. කපිල