2022 මැයි 15 වන ඉරිදා

ලංකාවේ වී වගාවට රසායනික පාෙහොර ඉන්දියාෙවන්

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 281

කාබනික වී වගාව සම්බන්ධයෙන් රට තුළ පනවා තිබුණ ප‍්‍රතිපත්තිය ආපසු හැරවේ. ගොවි ජනතාව පොහොර ඉල්ලා රජයට බලකළ අතර රසායනික පොහොර වෙනුවට ඉකුත් කන්නයේ සපයන ලද නැනෝ නයිට‍්‍රජන් සාර්ථක වූයේ නැත. වී අස්වැන්න වාර්තා ගත ලෙස පහත වැටුණු අතර වගා හානි සිදුවූ ගොවියන්ට ගෙවීම සඳහා රුපියල් මිලියන හාරසියයක් වෙන් කරන්නට රජයට සිදුවිය.

අලුත් වාර්තා දක්වන පරිදි පොහොර සහනාධාරය ඉවත් වෙනු ඇත. වෙළෙඳ පොළ මිලට ගොවිතැනට අවශ්‍ය පොහොර මිල දී ගන්නට සිදුවේ. රටට අවශ්‍ය පොහොර ආනයනය කරන්නට සූදානම් වන සේ ජාතික පොහොර ලේකම් කාර්යාලය ආනයනකරුවන්ට දැනුම් දී ඇත. වී වගාවට අවශ්‍ය කරන පොහොර ඉක්මනින් වෙළෙඳ පොළට සැපයෙනු ඇති බව රජයේ නිල වාර්තා සඳහන් කරයි.

• අභියෝග එල්ල වී ඇති ගොවිකම

ගොවි කටයුතු වාර්තා දක්වන පරිදි මහ කන්නයේ වී වගාව සඳහා බිම් සකස් කෙරෙමින් පවතී. ශ‍්‍රී ලංකාවේ වී ගොවිතැන් ක‍්‍රම අනුව කෙලින්ම බීජ වී ඉසින අතර ඇතැම් ගොවීහු මුලින් වී පැල කර තවාන්වලින් ගලවා සිටුවයි. බීජ වී කැකුලෙන් ඉසීම හා යාන්තම් වී ඇට පැළ වන අවස්ථාවේදී වශයෙන් ක‍්‍රම දෙකකට අනුගමනය කෙරේ. පැළ සිටුවීමද සාමාන්‍ය පැළ හා පැරචුට් ක‍්‍රමයට වශයෙන් ආකාර දෙකකි. කෙසේ වෙතත් කෘෂි බලධාරීන් දක්වන අන්දමට මහ කන්නයේ වී වගාව පළමුවෙන් කෙරෙන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේය. බිම් සකස් කර බීජ ඉසීමෙන් පසු දින දහයක් පමණ ගතවන විට යූරියා පොහොර යෙදිය යුතුය. 

දැනට පවතින දේශපාලන හා ඉතාම දුෂ්කර ආර්ථික වටපිටාව අනුව ගොවිතැනට අවශ්‍ය පොහොර සැපයෙනු ඇත්ද යන්න සැකසහිතය. ගොවීන් මැසිවිලි නගන පරිදි බිම් සකස් කරගැනීම සඳහා ටැක්ටර් භාවිතයද පහසු නැත. නගුල් සහිත ටැක්ටර් ගොවිපොළට ගෙන එන යන්ත‍්‍ර හිමියන් අවශ්‍ය ඩීසල් සපයන්න කියා කියන බව දැක්වේ. රට පුරා ඉන්ධන හිඟයක් පවතින අතර වාහනවලට හැර අමතර ඩීසල් නිකුත් කිරීම පාලනය කර ඇති බව අනාවරණය වෙයි. ඩීසල් මිල වැඩි වී ඇති අතර පිරවුම්හල්වල දිග පෝලිම්ය. පිටපළාත්වලට ඉන්ධන බෙදාහැරීම තවමත් ක‍්‍රමවත් නැත. සී සෑම සඳහා අය කරන ගාස්තු නංවා ඇති අතර ඉන්ධන සපයන තෙක් බිම් සකස් කරගත නොහැකි ගොවියෝ මැසිවිලි නගමින් සිටිති. ගොවි ජනතාව නගන හඬ නොදන්නා මහජන නියෝජිතයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන හා ව්‍යවස්ථාවක් අලුතින් හදන පිළිවෙළක බව ප‍්‍රකාශවීම අවධානයට ගත යුතු කරුණකි.  

• ඉන්දියාවෙන් ආධාර 

වී වගාව සඳහා නියමිත පරිදි යූරියා සැපයීමේ වගකීම ඇති රජයේ නිලධාරීන් සැපයුම්කරුවන්ට ආනයනයට අවසර නිකුත් කරන නමුත් විදේශ විනිමය හිඟය බරපතළ ප‍්‍රශ්නයක් වී ඇත. ඉන්ධන ආනයනයට හා සමානව පොහොර ගෙන්වන්ටද විනිමය හිඟය බලපා තිබේ. ඉන්දීය රජය සමග කරන ලද සාකච්ඡා අනුව ඉන්ධන මිල දී ගැනීමට චක‍්‍රීය ණය යෝජනා ක‍්‍රමයක් අනුමත වී ඇත. පොහොර සඳහා ද ඉන්දීය ණය සංචිතයේ ආධාර අපේක්ෂා කර තිබේ. ඉන්දීය රජය වසර තුනක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් සපයා ඇති අතර ආහාර, ඖෂධ හා අත්‍යවශ්‍ය භාණ්ඩ එයින් ඇනවුම් කළ හැක. ප‍්‍රතිපත්ති සම්පාදන අංශ රටට අවශ්‍ය පොහොර ඉන්දියානු ණය පහසුකම යටතේ ලබාගැනීමට සූදානම්ය. කෙසේ වෙතත් ඉන්දියාව තමන්ට අවශ්‍ය පොහොර පවා කොරියාවෙන්, රුසියාවෙන් හා චීනයෙන් ආනයනය කරයි. යූරියාවලින් සියයට හැටක් ගෙන්වන්නේ චීනයෙන් බව ඉන්දීය වාර්තා අනාවරණය කරයි.

2021-22 වසර සඳහා ඉන්දියාව පොහොර මෙට්‍රික් ටොන් මිලියන 10-12 අතර ප‍්‍රමාණයක් ආනයනය කරන්නට යෝජනා කර ඇත. රුසියාවේ දැනට ඇති ගැටුම් පොහොර ආනයනයට බාධාවක් වී ඇති අතර කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ඇති විය හැකි ආහාර හිඟය සලකා නිෂ්පාදන නංවන්නට ඉන්දියාව යෝජනා කර තිබේ. රටට අවශ්‍ය පොහොර උපයා ගැනීම හා කලමණාකරණය අරමුණ ඇතිව ගෙන්වන හා රට තුළ නිපදවන පොහොර අපනයනය ඉන්දීය රජය තහනම් කර ඇති කාලවකවානුවක් බව ද දැක්විය යුතුය. මෙම තහනම වරින්වර පනවන අතර පසුගිය වසර හත අට තිස්සේ පොහොර හා කෘෂි රසායන විශේෂ විසිහතක් පිටරට පැටවීම තහනම් කර තිබුණි. කෙසේ වෙතත් ඉන්දීය ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ දීර්ඝ සාකච්ඡාවට ගණනාවකට පසු ශ‍්‍රී ලංකාවට අවශ්‍ය යූරියා තොග මෙට්‍රික් ටොන් හැට දහසක් වාර දෙකක දී නිකුත් කරන්නට අනුමැතිය ලැබී ඇත. මේ සම්බන්ධ ඉල්ලීමකළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය සැලසුම් මෙරට නිලධාරීන් ගනු ලැබුවහොත් අම්පාරේ වී වගා කටයුතු ආරම්භ කර ඇති ගොවියන්ට පළමුවෙන් ලැබෙන පරිදි යූරියා තොග රටට ගෙන්වන්නට හැකිවනු ඇත. 

• පොහොර සහන ක‍්‍රමයකට

වී වගාකරන ගොවියන්ට පොහොර සඳහා සහනාධාර ක‍්‍රමයක් පළමුවෙන් ආරම්භ කර ඇත්තේ 1962 වසරේදීය. 1989 දී එය අත්හිටුවන තෙක් අඛණ්ඩව සැපයිණි. දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් යළි එය කරළියට එන්නේ 1994 දීය. මුලින් සුළුවෙන් පටන්ගත් සහනාධාර ක‍්‍රමය පසුව අක් මුල් විහිදුවා පිළිකාවක් ලෙස ආර්ථික දේහය වෙලාගෙන ඇත. 2006 වසරේදී පොහොර සහනාධාරය වෙනුවෙන් රජයේ වියදම රුපියල් බිලියන 10.62 ක් බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි. 2006 වනවිට එය රුපියල් බිලියන 26.4 කි. 2012 අය වැය මගින් පොහොර සහනාධාරයට වෙන් කළ මුදල රුපියල් බිලියන 50 කි. මෙම සහනාධාර පිරිවැය රටට බරක් වනවිට ආණ්ඩු කරන්නේ රසායනික පොහොර භාවිතය අධෛර්යවත් කිරීමය. නිසි කලට පොහොර වෙළඳ පොළට නිදහස් කිරීම වළකන අතර එයින් අතිරේක වාසියක් අපේක්ෂා කරයි. රජයේ සහනාධාර වැඩ පිළිවෙළ කොපමණ දූරදර්ශී එකක්ද යත් රටට පොහොර ගෙන්වන සමාගම්වලට ගෙවිය යුතු රුපියල් බිලියන මුදල් තවමත් ගෙවා නැත.

පොහොර සහනාධාරය කෘෂි අංශයට කරන දේශපාලන මැදිහත්මකි. එක් අවස්ථාවක සහනාධාරය දෙන අතර තවත් අවස්ථාවක එය අධෛර්යයට පත්කර සහන අඩු කරයි. ආණ්ඩුවේ ණය බර වැඩිවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පනවන විට පොහොර වැනි සහනාධාර අඩු කරන අතර ඡන්දයක් ළඟ එනවිට වහාම සහනාධාර දෙගුණ තෙගුණ කර ගොවියන්ට සපයයි. එයින් සිදුවන්නේ නිෂ්පාදනය දියුණුවීමක් නොවේ. දේශපාලනඥයන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට තැත් දැරීමක් පමණකි. පසුගිය කන්නයේ අස්වැන්න අඩු වී සහල් මිල දෙගුණ තෙගුණවීම එයට හොඳ සාක්ෂියකි.

• පොහොර සහනාධාරයක් යළිත්?

ශ‍්‍රී ලංකාව මෙරට වී ගොවිතැන දෙස අලුත් ආකාරයකට අධ්‍යයනය කරන්නට අවශ්‍යය. දැනට ඇති විනිමය අනුපාත අනුව ගෙන්වන පොහොර භාවිතා කරන්නට තරම් ගොවි ජනතාව ආර්ථික අතින් ශක්තිමත් නැත. තේ, පොල්, රබර් හා සුළු අපනයන බෝග වගාකරුවෝ පවා පොහොර යෙදීම නතර කර ඇත. තේ අස්වැන්න පවා අඩු වී ඇති අතර මෙම වසරේ තේ අපනයනය සියයට තිස් දෙකකින් අඩුවී ඇති බව කියැවේ. පොහොර සහනාධාරය ඉවත් කිරීම මෙයට සෘජුව බලපා ඇත. රසායනික පොහොර සඳහා නැඹුරුව අවශ්‍ය පරිදි කලමනාකරණය හා පොහොර වෙනුවෙන් වැය කරන මුදල උපරිම කාර්යක්ෂම ප‍්‍රතිපලයක් රටට අත්පත් කරදෙන්නේ දැයි සොයා බැලීම වැදගත්ය. 

ජගත් ආර්ථික සංසදය කියන ආකාරයට ඉකුත් වසර හැට තුළ ලෝක ජනගහනය බිලියන දෙකක සිට බිලියන 7.2 දක්වා වර්ධනය වී ඇත. දුප්පතුන් තවත් දුප්පත් වී ඇත. දුප්පත්කමට ගොදුරු වී ඇත්තේ ආහාර භෝග නිෂ්පාදනය කරන ගොවියන්ය. ශ‍්‍රී ලංකාවේද එය එසේමය. වෙළඳපොළ තුළ ආහාර ද්‍රව්‍ය මිල වැඩි නමුත් ගොවියාට හොඳ මිලක් ලැබෙන්නේ නැත. රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් දෙසීයකට ආසන්න මිලකට අලෙවි වන නමුත් ගොවියන්ට ලැබෙන මිල පොහොසත් නැත. අද පවතින මිලට පොහොර මිල දී ගෙන, ඩීසල් සහිත යන්ත්‍රෝපකරණ භාවිතා කර වී වගා කරන්නේ කෙසේද? නිෂ්පාදනය අඩාල වුවහොත් රටට ආහාර හිඟයක් ඇති වේ. දැනට ඇති විනිමය හා දේශපාලන අර්බුද ඉක්මනින් අවසන් කරගත යුතුය. ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් දිගටම පොහොර ලබාගන්නා වැඩ පිළිවෙළක් රටට අවශ්‍යය.

 සාරා කන්දෙගොඩ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00