2022 මැයි 15 වන ඉරිදා

නීතිඥ සංගමයේ යෝජනා

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 101

රටේ පවතින ආර්ථික හා දේශපාලන ව්‍යාකූලත්වය විසඳීමට යෝජනා 13ක් නීතීඥ සංගමය ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා සහ ප්‍රධාන දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළේය. මසකට වැඩි කාලයක් වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතු බවට එල්ල වූ ජනතා විරෝධයට විසඳුම් වශයෙන් විවිධ පාර්ශ්ව වෙතින් තවත් යෝජනා ගණනක්ම ඉදිරිපත් විය. විධායකය ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරිය යුතු යැයි විරෝධතාවේ නිරත පිරිස් ඉල්ලා සිටියද එලෙස ඉවත් වීමට ව්‍යවස්ථානුකූල බාධා තිබුණු බව දේශපාලක විචාරකයෝ පෙන්වා දුන්හ. එනිසා පැවති ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රිලනිප ඇතුළු මන්ත්‍රීවරු 41 කණ්ඩායම යෝජනා කළේ ජනාධිපතිවරයා යටතේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටය. මෙම යෝජනාවට සජබ කොන්දේසි සහිතව එකඟතාව පළ කළ ද ජාතික ජනබලවේගය එකඟත්වයක් ප්‍රකාශ නොකළේ ය.

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදයට පිළිගත හැකි විසඳුමක් දේශපාලන පක්ෂ වෙතින් ඉදිරිපත් නොවීම නිසා නීතීඥ සංගමය සිය යෝජනා ඇතුළත් ලේඛනයක් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අනෙකුත් දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළේය. නීතීඥ සංගමය සකස් කළ යෝජනා මාලාව පිළිබඳව ඉකුත් 08 වැනිදා පෙරවරුවේ සමගි ජනබලවේගය සමඟ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ 41 කණ්ඩායම සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වනු ලැබීය. එදිනම දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟද සන්ධ්‍යාවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟද නීතීඥ සංගමය හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කළේය. 

නීතීඥ සංගමය යෝජනා කරන යෝජනා මාලාවේ ප්‍රමුඛ යෝජනාව වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමය. එලෙස හඳුන්වා දෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා, මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි පිහිටුවීමට යෝජනා කරයි. එමෙන්ම මහබැංකු අධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන්ද අමාත්‍යංශ ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පත්කිරීමටද නව සංශෝධනයේ ප්‍රතිපාදන සකස් කිරීමට යෝජනා කරයි.

නීතීඥ සංගමයේ මීළඟ වැදගත් යෝජනාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. මාස 15ක කාලයක් තුළ එය අහෝසි කළ යුතු යැයි සංගමය නිර්දේශ කරයි. ඒ සඳහා වන සංශෝධනය 2022 නොවැම්බර් 30 වැනි දිනට පෙර පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත යුතුය. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කළ යුතුය. එහිදී රජයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය කටයුතු කරන අතර ඔවුන් පාර්ලිමේන්තුවට වගකිව යුතුය. මීට අමතරව ජනාධිපතිවරයා ඇමති ධූර නොදැරිය යුතු බවත් ජනාධිපති සමාව දීම ස්ව අභිමතය පරිදි ජනාධිපතිවරයාට සිදුකළ නොහැකි වන ලෙස ව්‍යවස්ථා සංශෝධන සිදුවිය යුතු බවත් නීතීඥ සංගමය කියා සිටියි.

නීතීඥ සංගමය ඉදිරිපත් කරන මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා, අමාත්‍යවරුන් 15 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් සහිත ''ජාතික සමගි අන්තර්වාර රජයක්'' පිහිටුවීමට යෝජනා කරයි. එහිදි අගමැති වශයෙන් පත්විය යුත්තේ මෙම යෝජනා මාලාව ක්‍රියාත්මක කළ හැකි, සියලුම දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති මන්ත්‍රීවරයෙකි. එවැනි පුද්ගලයකු පාර්ලිමේන්තුවේ නොමැති නම් ජාතික ලැයිස්තුවෙන් සුදුසු පුද්ගලයකු පත්කරගෙන අගමැති ධූරය ඔහුට භාරය දීමට කටයුතු කරන ලෙසත් විකල්ප යෝජනාවක්ද නීතීඥ සංගමය ඉදිරිපත් කර ඇත.

එම අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍යංශ 15ට මඟපෙන්වීම සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයන් 15 දෙනකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක්ද පත් කළයුතුය. රජයේ සියලුම ප්‍රධාන ප්‍රතිපත්ති විනිවිදභාවයෙන් යුතුව කරගෙන යාමට මෙම උපදේශක සභාව සමඟ සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුය. මෙහිදී ප්‍රමුඛ කාර්යය ලෙස අවධානය යොමු විය යුත්තේ වර්තමානයේ පැනනැගී තිබෙන ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අපේක්ෂාවෙන් සිටින ද්වීපාර්ශවික හවුල්කරුවන්ගෙන් විදේශ විනිමය මූල්‍ය පහසුකම් ලබාගැනීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය වහා විසඳීම, රාජ්‍ය වත්කම් කළමනාකරණය, පෞද්ගලීකරණය කිරීම සහ ප්‍රසම්පාදන ඇතුළු ටෙන්ඩර් ප්‍රදානය කිරීම පිළිබඳ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළක් සැකසීම බව නීතීඥ සංගමය පෙන්වා දී ඇත. එමෙන්ම දේශපාලන පක්ෂ නියාමනය කිරීම, ජාතික අවශ්‍යතා සඳහා සහාය වන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, අවම වැඩසටහන් මත පදනම් වූ අයවැයක් නව භාරකාර ආණ්ඩුව ඉදිරිපත් කළ යුතු බවත් යෝජනා කර ඇත. එම යෝජනා මාලාව අනුව භාරකාර ආණ්ඩුව යටතේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය, නිදහස ආරක්ෂා කිරීමටද අවධානය යොමුවිය යුතුය.

මීට අමතරව භාරකාර ආණ්ඩුව යටතේ මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම ප්‍රතිසංස්කරණ කඩිනමින් සම්පූර්ණ කිරීම (විශේෂයෙන් ප්‍රමාද වී ඇති), මැතිවරණ පැවැත්වීම සඳහා පිරිවැය අවම කෙරෙන ක්‍රම සම්පාදනය කිරීම (මැතිවරණ ඒකාබද්ධ කිරීම වැනි) සහ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තුව මැතිවරණයක් හෝ වෙනත් මැතිවරණ පැවැත්වීම සඳහා ව්‍යවස්ථාපිත නිශ්චිත කාල රාමුවක් සැකසීමටද භාරකාර ආණ්ඩුවට යටතේ කටයුතු සම්පාදනය කරන ලෙස නීතීඥ සංගමය යෝජනා කරයි. 

''ජාතික සමගි අන්තර්වාර රජය'' ලෙස නීතීඥ සංගමය නම් කරන භාරකාර රජය උපරිම මාස 18ක් සහ තවත් සති 6ක් පවතිනු ඇතැයි එය පෙන්වා දෙයි. එම මාස 18 අවසන් වන විට පාර්ලිමේන්තුව විසුරුවාහැර තවත් සති 6ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්විය යුතු ය. මහමැතිවරණ අවසන්වීමෙන් පසු නීතීඥ සංගමය යෝජනා කරන ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ කාර්යභාරය මුළුමනින්ම අවසන් වේ.

නීතීඥ සංගමයේ මෙම යෝජනා මාලාව පිළිබඳ පාර්ලිමේන්තු ප්‍රධාන බලවේග සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සමගි ජනබලවේගය සහ ස්වාධීන මන්ත්‍රීවරු 41 දෙනාගේ කණ්ඩායම මීට එකඟතාව ප්‍රකාශ කර ඇත. එහෙත් එම කණ්ඩායම් මුළුමනින්ම නීතීඥ සංගමයේ යෝජනාවන්ට එකඟ නැත. මන්ත්‍රීවරු 41 කණ්ඩායම නීතීඥ සංගමයට සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ යෝජනාව සලකා බලන මෙන් ඉල්ලීමක් කර ඇති අතර නීතීඥ සංගමයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එකඟ වී නැත. සමගි ජනබලවේගය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට එකඟ වී ඇත. ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී නීතීඥ සංගමයේ යෝජනා මාලාව ජනාධිපතිවරයා ඉදිරිපත් කළත් ඒ සමස්ත යෝජනා මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය තවමත් ප්‍රකාශ කර නැත. නමුත් දීර්ඝ වේලාවක් පැවැති එම සාකච්ඡාවේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමටත් වත්මන් අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීමටත් ජනාධිපතිවරයා එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර තිබේ.

හිටපු අගමැතිවරයා සමඟද නීතීඥ සංගමය සාකච්ඡා කිරීමට යොදාගෙන තිබුණි. අගමැතිවරයාගේ ස්ථාවරය අන්තර්වාර ආණ්ඩුවකද තමා අගමැතිව සිටීම වුවද ඉකුත් 09 වැනිදා ගෝල්ෆේස් පිටියේ සිදුවූ මුල්කරගෙන් රටපුරා ප්‍රචණ්ඩක්‍රයා ඉහළ යාමත් සමඟ අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව දැන් එළඹී තිබෙන්නේ නීතීඥ සංගමය යෝජනා කළ පරිදි භාරකාර ආණ්ඩුවක් පිහිටුවා එහි යෝජනා ක්‍රියාත්මක කිරීම හෝ දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වඩාත් සුදුසු යෝජනා මාලාවක් ක්‍රියාත්මක කිරීමටය.

දේශපාලන පක්ෂ, ජනාධිපති සහ හිටපු අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එහි ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි ඇතුළු විධායක සභාවේ සාමාජිකයෝ එක්වූහ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව විසින් අනුමත කරන ලද මෙම යෝජනා ලංකා වාණිජ මණ්ඩලය විසින්ද අනුමතව තිබේ. එමෙන්ම මෙම යෝජනා ඒකාබද්ධ වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, වෘත්තික සංගම් සංවිධානය (OPA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙතද ඉදිරිපත් කර ඇත.

♦ සකීෆ් සාම්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00