2022 මැයි 15 වන ඉරිදා

පෙරටුගාමීන් මොකද කරන්නේ?

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 208

ශ්‍රී ලංකාව තුළ පවතින අතිශය සංකීර්ණ දේශපාලන වටපිටාව තුළ නිරන්තර කියැවෙන දේශපාලන පක්ෂයක් පිළිබඳ අපගේ අවධනය යොමුවිය. එය නමින් අප කවුරුත් දන්නා පරිදි පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ගෝල්ෆේස් මහජන අරගලය පිළිබඳ කතාබහ කරන බොහෝ තැන්වල ඔවුන්ගේ නම සඳහන් වනු ඇසෙයි. පෙරටුගාමීන් පිළිබඳ ඉතා සරල අවබෝධයක් ලබා ගැනීමටත්, ඔවුන් සිදුකරමින් සිටින කාර්යභාරය පිළිබඳව යම් පමණක හෝ පැහැදිලි කරගැනීමටත් අපි උත්සුක වීමු.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FLSP) 2011 වසරේදී ආරම්භ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ මතවාදීව හා දේශපාලනික වශයෙන් ඛණ්ඩනය වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම මතවාදී බෙදීම සම්බන්ධව ඇත්තේ තරමක සංකීර්ණ පැහැදිලි කිරීමකි. හැකිතාක් සරලව කිවහොත් ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ ආරම්භ මතවාදවලින් බැහැර වෙමින් පාර්ලිමේන්තුවාදී, ප්‍රතිසංස්කරණවාදී, ජාතිකවාදී ප්‍රවේශයන් වෙත යොමුවන බවට වූ වෝදනාව මෙම බෙදීයෑමට හේතුවිය. පෙරටුගාමීන් පවසන්නේ පක්ෂය තුළ තීරණාත්මක දේශපාලන හා මතවාදී විවාදයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ එම තීරණය ගත් බවයි.

2010 වසරේ පැවති අභ්‍යන්තර සමුළුවේදී සහයෝගීතාවය සහ වාර්ගික දේශපාලනය පිටුදැකිය යුතු බවට පක්‍ෂයේ බහුතරය තීරණයකට පැමිණියත්, ව්‍යවස්ථාමය හා සංවිධානාත්මක අර්බුදයක් දක්වා පිරිහී ගිය පක්‍ෂයේ වැඩපිළිවෙළ සකස් කිරීමේදී එම බහුතර තීන්දුව පක්‍ෂයේ නිලධාරී නායකයන් ගණන් නොගත් බව පෙරටුගාමීන්ගේ නගන තවත් චෝදනාවකි. මේ අදී කරණු රැසක් මත බෙදී ගිය ඔවුහු 2012 මාර්තු මස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සම්මේලනය පැවැත්වූහ. මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි සාමාජිකයෝ රැසක්ද මේ සඳහා සහභාගී වූහ. මෙහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ පක්ෂ ප්‍රචාරක යාන්ත්‍රණයක් අනුමත කරමින් නව මධ්‍යම කාරක සභාවක් පත්කෙරිණි.

කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුවන්නේ ඉතා සුළුතර ඡන්ද පදනමක් බව ඉකුත් මැතිවරණ ද්විත්වයේදීම පැහැදිලිවිය. 2019 ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් ඉදිරිපත්වූ අපේක්ෂක දුමින්ද නාගමුවට ලැබුණේ ජන්ද 8,219ක් පමණි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදීද පක්ෂයක් ලෙස ඔවුනට ලබාගත හැකිවූයේ ජන්ද 14,522 ක් පමණි. කෙසේ වෙතත් මෙම පක්ෂ සතුව බහුජන සංවිධාන රැසක් ඇත. වර්තමාන මහජන අරගලයේ සැලකිය යුතු පාර්ශ්වයක් බවට ඔවුන් පත්ව ඇත්තේ එබැවිණි.

ඒ අනුව විප්ලවවාදී ශිෂ්‍ය සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ගොවි අරගල ව්‍යාපාරය, වෙනසක තාරුණ්‍යය, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, සම අයිතිය ව්‍යාපාරය වැනි බහුජන සංවිධාන රැසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුව ඇතැයි කියැවේ. විශ්වවිද්‍යාල හා අනෙනකුත් ආයතනයන්හි ජනතා විමුක්ති පෙරමුණ සතුවූ සිවිල් බලය මේ වනවිට පෙරටුගාමීන් නතුකර ගෙන තිබේ. එසේම ජවියට යටතේ පැවති ඇතැම් සංවිධානයන්හි පාලන බලයද මේ වනවිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හිමි කරගෙන ඇතැයි කියැවේ. ගෝල්ෆේස් පුරවැසි අරගලය තුළ විශාල පාර්ශ්වීය සහභාගීත්වයක් පෙරටුගාමීන් සතුවී ඇත්තේ එබැවිනි. සහභාගීත්ව පූර්ණකාලීන ක්‍රියාකාරී දේශපාලන සැකැස්මක් මෙම කණ්ඩායම සතුය. එයද මේ මොහොත කෙරෙහි තීරණාත්මකව බලපා ඇත.

මේ මොහොතේ රටතුළ නිර්මාණය වී ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පෙරටුගාමීන්ගේ කාර්යභාරය කුමක්ද යන්න මීළඟට අප පැහැදිලි කරගත යුතුව තිබේ. පසුගිය මැයි 8 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ගෝඨාව පුටුව සමඟම පෙරළා දැමිය යුතු බවයි. ඉන් අදහස් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය නැමැති ඒකාධිපති පාලන ක්‍රමය සහමුලින්ම අහෝසි කළ යුතු බවය.

මෙම පැහැදිලි කිරීමේදී පවතින දේශපාලන අර්බුදය හමුවේ ප්‍රගතිශීලී වාමාංශික මෙන්ම රටට ආදරේ කරන මිනිසුන්ට එකතු වී සාමූහිකව අර්බුදයට පිළියම් සෙවිය යුතු බව ඔහු කියා සිටියේය. තවද කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කළේ පවතින වෙනස්කම් පසෙක දමා මෙම මොහොත සුවිශේෂී කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු කණ්ඩායම් සමඟ එක්ව රට ගොඩනගන වැඩපිළිවෙළකට තමන් සහය දැක්වීමට සූදානම් බවයි.

මේ අතර පක්ෂයක් ලෙස පෙරටුගාමීන් අරගලකරුවන්ට යෝජනා කර සිටින්නේ රට පුරා ජනතා සභා ගොඩනගමින් ඒවායේ නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික මට්ටමේ මහජන කවුන්සිලයක් පිහිටුවීමටයි. වත්මන් ආර්ථික අර්බුදය මෙන්ම දේශපාලන අර්බුදය විසඳීමට ඒ හැර වෙන විසඳුමක් නැතැයිද ඔවුහු අවධාරණය කරති. මෙම මහජන කවුන්සිල සහ බිම් මට්ටමේ දේශපාලන සංවිධාන ව්‍යුහය සම්බන්ධ යෝජනා ඔවුන් පසුගිය කාල සීමාව තුළ දිගින් දිගට මතු කරමින් සිටි බව සිහිපත් කළ යුතුමය.

ඉකුත් සතියේ ගෝල්ෆේස් පහරදීමත් සමඟ ඇතිවූ සිවිල් කෝලාහලය සම්බන්ධවද විවිධ පාර්ශ්ව පෙරටුගාමීන් වෙත චෝදනා කරනු දක්නට ලැබුණි. දෙකෝටි විසි ලක්ෂයක ජනතාවකගෙන් 7000ත් 8000ත් අතර ප්‍රමාණයේ ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පෙරටුගාමී වැනි පක්ෂයක සාමාජිකයන් රට යළි ලේ වැකි අඳුරු යුගයකට ගෙන යාමට උත්සහ කරන බව එම පිරිස් සඳහන් කළෝය. එහෙත් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට තම පිරිස් සම්බන්ධ නැතැයි පෙරටුගාමීහු දිගින් දිගටම අවධාරණය කළහ.
සමස්ත විනාශයේ වගකීම රාජපක්ෂවරුන් බාරගත යුතු බව ඉකුත් මැයි 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔවුහු පැහැදිලි කළහ. එසේම මාසයකට අධික කාලයක් සාමකාමීව පැවති අරගලයට ඉතාම අනවබෝධයෙන් යුතුව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ මර්දනය යන්ත්‍ර පාවිච්චි කළ බවද ඔවුහු පැවසූහ. සාමකාමී අරගලය අර්බුදයට ගෙනයාම සඳහා ගත් ඉතාම නින්දිත උත්සාහය හෙළා දකින බවද සඳහන් විය. බුද්ධි අංශවලට මේක වාර්තා නොවී විමතියට කරුණක් බව ද මෙහිදී කියැවුණි.

මේ අතර මැයි මස 11 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශේෂ හෙළිදරව් සිදුකළේය. පොලිසිවලට පහරදීමේ සැලසුමක් ආණ්ඩුව විසින් එදින සූදානම් කර ඇතැයි පෙරටුගාමීහු සඳහන් කළහ. හමුදා පාලනයක් ස්ථාපිත කිරීම සඳහා එවන් දෑ සිදුකරන බව ඔවුහු කියා සිටියහ. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කළේ පාලකයන් විසින්ම මෙම පහරදීම සිදුකර එහි වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිට පැටවීමට සැලැසුම් කර ඇති බවකි. මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වහා නවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් එවන් සිදුවීමක් එදින රාත්‍රියේදී සිදු නොවුණි.

සාමාන්‍ය ජනතාව කුපිත කිරීමට ත්‍රිවිධ හමුදාව වෙඩි තැබීමට සූදානමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව කළ ප්‍රකාශයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුව ප්‍රතික්ෂේප කළේය. හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහතික වූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කිසිදු තත්ත්වයක් යටතේ එවැනි නින්දිත ක්‍රියාවකට යොමු නොවන බවයි. මේ වනවිට මහජනතාවගේ හා රටේ ආරක්ෂාව සඳහා යුද හමුදා සහාය පොලීසියට දී ඇති බවද කියා සිටි ඒ මහතා සන්සුන් හා සාමකාමි අයුරින් කටයුතු කරන ලෙස වැඩිදුරටත් ජනතාවට පැවසීය.

මේ ආදී විවිධාකාර සිදුවීම් සහ අදහස් දැක්වීම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිළිබඳව ඉකුත් සතිය පුරා අසන්නට ලැබුණි. එම පක්ෂය සතු බහුජන සංවිධාන ගෝල්පේස් අරගලයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස පෙනීයෑම මෙම විශේෂ අවධානයට ප්‍රමුඛ හේතුව විය. කෙසේ වෙතත් අප මෙහි දී සඳහන් කළ යුත්තේ එම බහුජන ව්‍යාපාර හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමස්ත මහජන අරගලයේ නියෝජිතයන් හෝ අයිතිකරුවන් නොවන බවයි. ඔවුන් මහජන අගලයේ පාර්ශවකරුවන් පමණි. එහෙත් මතවාදී වෙනස්කම් සහ විප්ලවීය මුහුණුවර නිසා මෙම කණ්ඩායම අරගලය තුළ කැපීපෙන පිරිසක් බවට පවත්ව සිටිති.

♦ චමිඳු නිසල් ද සිල්වා