2022 මැයි 08 වන ඉරිදා

සංචිත ළිඳ හිඳිලා?

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 454

විවිධ සාමාජීය, දේශපාලනික ප්‍රශ්න හමුවේ අපේ රටේ ආර්ථිකය වන්දි ගෙවමින් සිටී. පාලනයකින් තොරව ප්‍රපාතයකට ආර්ථිකය නමැති රිය ඇදී යයි. තිරිංග ක්‍රියා කරවන්නට කිසිවකුත් නොමැති වුවද සුක්කානම බදාගැනීමට දේශපාලකයෝ වලිකති. ඩොලර් අර්බුදයෙන් දරුණු ලෙස අපි පීඩාවට පත්වී සිටිමු. මහ බැංකුවක් විසින් විදේශ මුදල්වලින් සංචිතයේ තබා ඇති වත්කම් විදේශ සංචිත ලෙස සරලවම පැහැදිලි කළ හැකිය. මෙරට විදෙස් සංචිත ප්‍රමාණය දින තුනකට පමණකැයි මාධ්‍ය මගින් ඉකුත්දා වාර්තා කළේය. එනම් රිම් එකෙන් යන අපේ රටේ විදෙස් සංචිතය ලෑල්ලටම හිඳී ගොස්ය. මේ ඒ පිළිබඳ විමසුමකි.

ගම්වල සිටින සිරිදෝරිස්ලාට, බබානිස්ලාට විදෙස් සංචිතය අඩුවෙලා වැඩිවෙලා යැයි කීම අදාළ නැත. ඒ ප්‍රශ්නය ඔවුන්ට දැනෙන්නේ ගමේ කඩේ බඩු නැතිව ගියදාටය. එහෙයින් මේ ප්‍රශ්නය හැමෝටම තේරෙන භාෂාවෙන් විමසා දැනගැනීම සඳහා අපි යම් උත්සාහයක් දැරීමු. එ‍හිදී හැමෝම කතාවෙන විදේශ සංචිත කියන්නේ මොනවාද ? යන්න සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා මෙසේ පැහැදිලි කළේය.

“අපේ රට විදෙස් රටවල් සමඟ ගනුදෙනු කරද්දී ලංකාවේ මුදල් ඒකකය වන රුපියල්වලින් ගනුදෙනු කළ නොහැකිය. එහිදී අප ගනුදෙනු කළ යුතු වන්නේ ජාත්‍යන්තරව පිළිගත් මුදල් ඒකකවලිනි. ඇමෙරිකන් ඩොලර් කියන්නේ ජාත්‍යන්තරව පිළිගන්නා මුදල් ඒකකයක්. අපේ රටෙන් පිටරටවලට භාණ්ඩ අපනයනය කරද්දී ඒ රටවලින් ගෙවීම් කරන්නේ ඉහත කී මුදල් ඒකකවලිනි. අපේ රට වෙනත් රටවලින්  භාණ්ඩ මිලදී ගැනීමේදීත් ගෙවීම් කළ යුතු වන්නේ පිළිගත් මුදල් ඒකකවලිනි. එවැනි ජාත්‍යන්තර ගනුදෙනුවලදී එකතු වන මුදල් විනිමය සංචිත යැයි හඳුන්වයි. අපි වෙනත් රටකින් ණයක් ගත්තත් ඒ ලැබෙන මුදල් සංචිතයට එකතු වෙනවා. විදේශීය ආයෝජකයන්ගෙන් එකතු වන මුදල්ද විදේශ විනිමය සංචිත ලෙස හැඳින්වීමට හැකිය. පසුගිය කාලයේදී අප සතුව තිබූ සංචිත උපයෝගී කරගෙන විදේශ විනිමය ස්ථාවර කරගැනීමට යාම නිසා සංචිත විශාල ප්‍රමාණයකින් අඩුවුණා. මේ විනිමය ප්‍රශ්නය පැන නැගුණේ එහෙයිනි. රුපියල ස්ථාවර කර ගැනීමට ගොස් ඩොලර් බිලියන 5.5ක් නැතිවුණා. ඒ වගේම විදේශ ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 3.3ක් පමණ අපට අහිමි වී තිබෙනවා. මේ සියල්ල සැලකීමේදී ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක් අපි නිරපරාදේ නාස්ති කරගෙන තිබෙනවා.” යැයිද මහාචාර්යවරයා පැවසීය.

බොහෝ විදේශ විනිමය සංචිත එක්සත් ජනපද ඩොලර්වලින් පවතින අතර චීනය ලෝකයේ විශාලතම විදේශ මුදල් සංචිත හිමියා වෙයි. රටක විදේශ සංචිත අවසන්වීමෙන් මහ බැංකුවට එහි මුදල් අවප්‍රමාණය කිරීමට සිදුවන අතර රටට කළ හැකි ආනයන දැඩිව පාලනය කිරීමට සිදුවෙයි. රට ලබාගෙන ඇති විදේශ ණය ආදිය ගෙවීමට නොහැකි වීමෙන් සිදුවන්නේ ආර්ථිකය අවදානමකට නතු වීමයි. එනම් රට බංකොලොත්වීමයි. මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසූයේ අපේ රටේ විදෙස් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 50ක් යැයි පැවසුවද ඇත්තම විදෙස් සංචිතය බිංදුව බවයි. ඉහත ඉලක්කම් පැවසීම් පොතේ පමණක් තිබෙන බවත් ඔහු පැවසීය.

මීළඟට මතුවන ප්‍රශ්නය වන්නේ විදෙස් සංචිත අපට නැතිවූයේ කොහොමද? යන්නයි. ඒ සඳහා හේතු කිහිපයක් හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨයන් මෙන්ම මෙරට ආර්ථික විද්‍යා  විෂය ප්‍රවීණයෝ කාලයක සිට අනතුරු අඟවමින් පෙන්වා දුන්හ. කිසිදු ඉවක් බවක් නොමැතිව ආර්ථිකය දඩමීමා කරගනිමින් රජය විසින් මහ දවාලේ ගනු ලැබූ අමනෝඥ තීන්දු තීරණ කිහිපයක් හේතුවෙන් මුළු රටක් අද මහමඟට වැටී සිටිති. ආණ්ඩුව මේ වනවිට මෙම අතපසුවීම් අවබෝධ කරගෙන සිටින බවක් පෙනුණද විසඳුම් සොයා ගැනීමට දැඩි කැපකිරීම් සිදුවෙයි. එම තීන්දු තීරණ නම්, 

ප්‍රමුඛතාවක් නොමැතිව අවශ්‍ය අනවශ්‍ය දෑ ආනයනය කිරීම

විවෘත ආර්ථිකය කියා පිටරටින් අවශ්‍ය අනවශ්‍ය කිසිදු තැකීමක් නොකර ආනයනය කිරීම නිසා විදේශ විනිමය නිකරුණේ නාස්ති විය. කිසිදු පාලනයකින් තොරව ආනයනය සිදුකිරීම නිසා දේශීය කර්මාන්තවලට පහර වැදුණු අතර විදේශ ආයෝජන ලබා ගැනීමට උනන්දු නොවීම නිසා ස්වර්ණමය අවස්ථා මගහැරී ගියේය. අප සතුව මේ මොහොතේ ඇති සංචිත ප්‍රමාණය අත්‍යවශ්‍ය ආනයනය ගෙන්වා ගැනීමටද මේ මොහොතේ ප්‍රමාණවත් නොවන බව අවිවාදිත කරුණකි.

හිතුවක්කාර අන්දමින් විදේශ ණය ලබාගැනීම

අපේ විදේශ විනිමය හිඟයට බලපෑ තවත් ප්‍රබල හේතුවක් වූයේ හිතුවක්කාර ලෙස විදේශ ණය ලබාගැනීමට පෙළඹීමය‍. මෙලෙස වාණිජ ණය ලබාගැනීමට හැකිවීම ජයග්‍රහණයක් ලෙස සලකා ඇතැම් දේශපාලනඥයන් ආඩම්බරයෙන් පුරාජේරු දෙඩුවද වර්තමානයේ සිදුව ඇත්තේ දැඩි ණය අර්බුදයක වෙලීම නිසා සමස්ත රටවැසියාම කබළෙන් ළිපට ඇද වැටීමය‍. ඉකුත් ජනවාරි 18 වැනිදාට කල්පිරුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවා දැමූ බව හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවද මෙරට ඇති සීමිත සංචිත ප්‍රමාණවත් නැති සංචිත තොගය යළි ව්‍යුහගත කිරීම වෙනුවට එය භාවිත කරමින් ණය ගෙවීම නුවණැති ක්‍රියාමාර්ගයක් නොවේ යන්න ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. ණය ගෙවීම වෙනුවට අප කළ යුතුව තිබුණේ ණය නැවත ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් විදේශ සංචිත දුර්වල වීම වළක්වා ගත හැකිව තිබිණි. විදේශ රාජ්‍යවලින් ණය ලබාගැනීමට අපහසු වූ අවස්ථාවල විදේශ වාණිජ ආයතන මගින් ඉහළ පොලියට වාණිජ ණය ලබාගැනීම සිදුවිය. ණයගත් ව්‍යාපෘතිවලින් ආදායම නොලැබීම නිසා ණය ගෙවීමට තවත් ණය ගැනීමට සිදුවිය. අදටත් කොළඹ නගරය තුළම සුදු අලි ඕනෑතරම් දැකිය හැකිය. අද අපේ වාර්ෂික සමස්ත ජාතික ආදායම පවා ණය ගෙවීමට නොසෑහෙන තත්ත්වයට පත්ව ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පවතින ආර්ථික අර්බුදයට තාවකාලික සහනයක් වෙනුවෙන් විදේශ ණය ගෙවීම තාවකාලිකව නැවැත්වීම සුදුසු බවට රජයට යෝජනා කළේය. එය මේ අවස්ථාවේ නොගෙන බැරි තීන්දුවකි.

අධික ලෙස මුදල් නෝට්ටු අච්චු ගැසීම

ආර්ථික විද්‍යාවේ සරල මූලධර්මත් පසෙක දමා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අච්චු ගැසීම පසුගිය කාලය පුරාවටම සිදුවූ බව නොරහසකි. 

අනවශ්‍ය බදු සහන පිරිනැමීම 

රජය බාර ගත් අවස්ථාවේදී බදු අඩුකිරීමෙන් රජයට වාර්ෂික රුපියල් බිලියන 500ක පමණ ආදායමක් අහිමි වූ බව මුදල් අමාත්‍යවරයා පැවසීය. 

අධිකරණ සහ මුදල් අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි මහතා පැවසුයේ ඉන්දීය රුපියල සතියක් ඇතුළත සියයට 20 කින් අවපාතනය කළද අපේ රටත් මීට අවුරුද්දකට පෙර රුපියල අවපාතනය කර තිබුණා නම් උණ්ඩියල් වැනි අවිධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් ලංකාවට එවීම ඉහළ යන්නේ නැති බවත් රුපියලේ අගය පාලනය කිරීමටයි විදේශ ණය ගෙවීමටයි තිබුණු ඩොලර් ප්‍රමාණය පාවිච්චි කිරීමෙන් අපේ රටේ සංචිත පිරිහුණු බවයි.

අපේ රටට ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇති බවත් ණය ආපසු ගෙවන ආකාරය පැහැදිලිව දක්වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් නොදෙන බවත් ණය ආපසු ගෙවීමේ හැකියාව අප සකසා ගත යුතු බවත් අධිකරණ සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය. 

අප හමුවේ ඇති ආර්ථික අභියෝගය සක්සුදක් සේ පැහැදිලිය. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියා කිසිවකුට බලා සිටීමට කාලයක් නොමැත. ආර්ථිකය මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවිය යුතුමය. මෙවැනි අසීරු අවස්ථාවලදී ජාත්‍යන්තර වශයෙන් අපේ රටට ලැබෙන අපි ආරක්ෂා කරගෙන මනා කළමනාකරණයකින් ආර්ථිකය හැසිරවිය යුතුයි. ආකර්ෂණීය ක්‍රමෝපායන් ඔස්සේ ආර්ථිකය නැංවීමටත් ඩොලර් ඉපැයීමටත් අපි උත්සාහ කළ යුතු වෙමු. මෙවන් අවස්ථාවලදීත් රටට ලැබෙන ආධාර යටිමඩි ගහගන්නට කිසිදු ඉඩක් නොතැබීම සැමගේම වගකීමකි.

I සසංක චලන ගිම්හාන