2022 මැයි 08 වන ඉරිදා

රට උණුසුම් කළ හර්තාලය

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 78

ජනතා ඉල්ලීමට නිසි ලෙස කන් නොදී තවමත් ආණ්ඩුව කරගෙන යාම සම්බන්ධයෙන් ජනතා විරෝධය දැඩිව පෙන්වන දිනය පසුගියදා ක්‍රියත්මක විය. ඒ හර්තාල් ව්‍යාපාරයයි. හර්තාලයට එරෙහිව විවිධ කතා විවිධ චෝදනා මෙන්ම එය අසාර්ථක වන බවට ආණ්ඩු හිතවාදී පිරිස් දිගින් දිගටම පැවසුවද පසුගිය 6දා ඒ සියල්ල කනපිට හැරිණි. 1953 දී දීපව්‍යාප්තව සිදුවූ මහා හර්තාලයට පසුව ලංකා ඉතිහාසයේ සටහන් වූ දැවැන්තම හර්තාලය ක්‍රියාත්මක වුණේ පසුගිය 6 වැනිදා බව අමුතුවෙන් කිව යුතු නැත. රජයේ ආයතන, බැංකු, පොදු ප්‍රවාහන සේවයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ, ගුරුවරු, සෞඛ්‍ය අංශ පමණක් නොව ගමේ කඩේද දොර පියන් වසන තැනට හර්තාලය දරුණු වූ බව කිව යුතුය. ඊටත් වඩා ඇතැම් වෙහෙර විහාරස්ථානවල ඝණ්ඨාර නාද කරමින් ස්වාමින් වහන්සේලා පවා ඊට සහාය දක්වන්නට වූහ.

මේ අතර හර්තාලයේ ප්‍රධානම සැමරුම් ස්ථානය වුණේ කවුරුත් අපේක්ෂා නොකළ පරිදි පාර්ලිමේන්තු මාර්ගයයි. කිසි දිනෙක පාර්ලිමේන්තු මාර්ගය වසා දැමීමට හැකිවේද යන්න ඕනෑම අයකුට ඇති වන සැකයකි. එහෙත් පසුගිය 5 වැනිදා විශ්ව විද්‍යාල 16කින් කොළඹට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ තරුණ පිරිස එම ප්‍රදේශය ආක්‍රමණය කළහ. කෙසේ වෙතත් මේ අවදානම දන්නා බැවින් පොලීසිය පසුගිය 4 වැනිදා සිටම පලංචි යොදා මාර්ගය වසා දමා තිබුණේ මහ මඟ යන ජනතාව පවා අපහසුතාවයට ලක්වන ලෙසය. ජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් බෙන්ස්, ජිප්, බී.එම්.ඩබ්ලිව්වල සැප පහසුවට යන විට බත්තරමුල්ල දියත උයන අවට මහජනතාවට ඒ අවට ගමන් බිමන් කරන්නට සිදු වුණේ කොන්ද නමාගෙන පලංචි අතරිනි. එය ජන හද කැක්කුම දෙන්නක් විය. ඉන් නොනැවතුණු පොලීසිය 5 සහ 6 යන දෙදින පාර්ලිමේන්තු මාර්ගයේ විශාල ප්‍රදේශයක් වසා දමන්නට වූ අතර ජනතාවට අමාරුවෙන් පෙට්‍රල් ඩීසල් ගසාගෙන මාර්ග අවහිරතා හේතුවෙන් පැය ගණන් රථවාහන තදබදයේ කල් ගෙවන්නට සිදු විය. මේ නිසා රියැදුරන්ගේ කෝපය ඉහවහා ගිය අතර අත දිගු කර ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ සිට පහළට දෙස් දෙවොල් තබන්නට වූහ. ඒ වෙන කිසිවක් නිසා නොව ජනතාව තව තවත් මෙකී ආර්ථික අර්බුදයේ ගිල්වන බැවිනි.

මාර්ගය වසා ආරක්ෂාව උපරිමයෙන් සැලසුවත් අන්තරේ තරුණ තරුණියෝ ඒවා කඩාගෙන පාර්ලිමේන්තුව දිසාවට 5දා සවස වන විට පැමිණියහ. එසේ පැමිණ පලංචි වැටවල් ඇද බිමට දැමූ අතර පොලිස් මාර්ග බාධක සියල්ල ඔසවා අසල කැලයට විසි කරන්නට වූහ. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අරගලකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්න විය. කෙසේ වෙතත් මෙම කඳුළු ගෑස් වෙනදා උද්ඝෝෂණ සඳහා යොදවන කඳුළු ගෑස් නොවුණු අතර ඒවා ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට යොදාගැනෙන විශේෂ කඳුළු ගෑස් විය.

එම ප්‍රහාරයෙන් පසුව අන්තරේ පිරිස් විසිර ගිය අතර ඔවුහු නැවතත් සන්නද්ධ වෙමින් එම ස්ථානයේ කඳවුරු ලෑමට තීරණය කළහ. අවසානයේ අන්තරය විසින් එම ස්ථානය (හොරු ගෝ ගම) යනුවෙන් නම් කරන්නට විය. කෙසේ වෙතත් රාත්‍රිය වන විට කෑම බීම ප්‍රශ්නයක් වුණු අතර සමාජ මාධ්‍ය හරහා කෑම බීම ඉල්ලීම් කිරීමත් සමඟ විශාල වශයෙන් එම ස්ථානයට කෑම බීම ලැබෙන්නට විය. එදින රාත්‍රිය පහන් කිරීමත් සමඟ ඊට පසුදින හර්තාලය දිනය වූ හෙයින් ඇතැම් වෘත්තීය සමිති ගෝල්ෆේස් යාමට තීරණය කළද අන්තරය පාර්ලිමේන්තුව අසල සිටීම නිසා ඒ පිරිස්ද ඊට සහාය දැක්වීමට පා ගමනින් එම ස්ථානයට පැමිණියහ. එපමණක් නොව වැට ගසා ආරක්ෂාව සැලසීමට විරුද්ධව තවත් කණ්ඩායමක් ප්‍රසිද්ධියේ තමන් ඇඳ සිටි යටඇඳුම ගලවා එම වැටේ එල්ලීමේ ව්‍යාපාරයක්ද ඒ අවස්ථාවේ ක්‍රියාත්මක විය.

මේ සියල්ල ක්‍රියාත්මක වන විට පොලිස් කණ්ඩායමක් වහාම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් ගෝල්ෆේස් භූමියේ ඇති ගෝඨාගෝගම ඉවත් කරන ලෙසට නියෝගයක් ගැනීමට උත්සුක විය. ඒ මොහොතේ සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥ සංගමයේ පිරිස වහාම පැමිණ ඊට එරෙහිව කරුණු පහදන්නට වූහ. ඒ මොහොතේ නඩුව කැඳවූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබා දීම වෙනත් මහේස්ත්‍රාත්වරයකුට පැවරීය. පසුව බොහෝ දෙනා බලා සිටියේ සිකුරාදා දිනයේ තීන්දුවක් ලබා දෙනු ඇති බවය. එහෙත් එය සිදුවූයේ නැත. අධිකරණ තීන්දුව එළඹෙන අඟහරුවාදා ලබා දෙන බව ප්‍රකාශ විය.

ඒ සියල්ල සිදුවී පැයක් ගතවන්නට වූයේ නැත. පාර්ලිමේන්තුව අසල රුඳී සිටි පිරිසට ජල සහ ගෑස් ප්‍රහාරයක් එල්ල වන්නට විය. නොසිතු මොහොතක එල්ල වුණු බැවින් බොහෝ දෙනා අසරණ වූහ. ඇතැම් සිවිල් ජනතාව පවා මෙම ප්‍රහාරයෙන් අසරණ වූහ. කෙසේ වෙතත් ඒ මොහොතේ සජබ මන්ත්‍රී කණ්ඩායමක් වහා කථානායකවරයා හමුවන්නට ගියහ. එසේ හමුවී ඔවුන් ඉල්ලා සිටියේ වහාම ප්‍රහාර එල්ල කිරීම නවතා දමන ලෙසටය. එසේම හැකි ඉක්මනින් විශ්වාසභංගය විවාදයට ගන්නා ලෙස ද ඉල්ලා සිටියහ. එසේ නොමැති වුවහොත් මාර්ග බාධක ඉවත් කර ජනතාවට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ ලබා දෙන්නැයි ඉල්ලීමක් කළහ. එහෙත් කථානායකවරයාගෙන් ඒ සඳහා නිශ්චිත පිළිතුරක් නොවීය. සජබ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ 17 වැනිදා නොව මෙම සතියේ පාර්ලිමේන්තුව විවෘත කරන ලෙසය. එබැවින් ඉදිරි සතිය ඉතාම තීරණාත්මක සතියක් වනු ඇත. එනිසාම නොව දීර්ඝ වැඩවර්ජනයක සේයා දැනටමත් වැටෙමින් ඇති බැවිනි.

■    ගයාන් ගාල්ලගේ
ඡායාරූප - සුමුදු හේවාපතිරණ