2022 මැයි 08 වන ඉරිදා

ෆේස්බුක් පෝස්ටුවකට මිනීමරන්න හැදූ මන්ත්‍රීගේ චණ්ඩි මල්ලි

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 331

ජීවිතාරක්ෂක ඖෂධ තුනක් ඇතුළුව රටපුරා රජයේ රොහ්ල්වල දැඩි ඖෂධ හිඟයක් පවතින බව වාර්තා වන්නේ සති ගණනාවක සිටිය. වැඩිදුරටත් පැවසෙන්නේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් පවතින බවකි. හදවත් රෝගීන්ට පිළිකා රෝගීන්ට හා තැලසීමියා රෝගී දරුවන්ට මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ හිඟවීම නිසා රෝගී ජනතාව අසරණ බවට පත්ව සිටිති.

පවතින ආර්ථික අර්බුදය මැද බරපතළ ඖෂධ හිඟයක් පවතින බව පිළිගන්නට බලධාරීන් හෝ පාලකයන් සූදානම් නැති බව දකින්නට ලැබේ. එවැනි හිඟයක් අඩුපාඩුවක් පිළිබඳ කතාකරන විවේචනය කරන පුරවැසියන් සොයා පහර දෙන්නට මැර ප්‍රහාර එල්ල කරන්නට ඇතැම් දේශපාලකයන්ගේ වන්දි භට්ටයන් කටයුතු කරමින් සිටින්නේ ඒ හේතුවෙනි. 

අසිත - නෙළුම් කුමාරි අඹුසැමි යුවළකි. පදිංචිව සිට තිබුණේ ගම්පහ, කිරිඳිවැල, මාළිගාවත්ත ප්‍රදේශයේය. අසිත - නෙළුම් කුමාරි යුවළගේ කුඩා පිරිමි දරුවා හා තනි නොතනියට සිටියේ අසිතගේ මව සකුන්තලා මල්කාන්ති මහත්මියයි.
මේ අඹු සැමි යුවළගේ කුඩා දරුවාට ඇතිවූ අසනීප තත්ත්වයකි. ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවට ගොස් ඇතත් අවශ්‍ය ඖෂධ ලබාගැනීමට සිදුව ඇත්තේ බාහිර ඔසුසලකිනි. ඒ වෛද්‍ය නිර්දේශය අනුවය. එම ඖෂධය මිලට ගැනීම සඳහා දරුවාගේ පියා ෆාමසි ගණනාවකට ගොස් තිබුණි. කිසිදු ෆාමසියක අදාළ ඖෂධය නොතිබුණු බැවින් ඔහු දන්නා කියන හිතවතුන් වෙත දුරකතන පණිවුඩ මගින් දන්වා තිබුණේ හැකිනම් එම ඖෂධය සොයාබලා රැගෙන එන ලෙසය.

මේ අතර ගම්පහ අවට උප නගර කිහිපයක පිහිටි ඖෂධහල් රැසකට යමින් තම දරුවාට අවශ්‍ය එම ඖෂධය මිලට ගැනීමට පියා කටයුතු කර ඇත. නමුත් ඔහුගේ උත්සාහය සාර්ථක නොවූයේ අදාළ ඖෂධය එතරම්ම හිඟයක් පැවතීම නිසාය. රෝගී තත්ත්වයෙන් පසුවන සිය දරුවාට අවැසි ඖෂධය මිලට ගෙන ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් දැඩි වේදනාවට පත්ව සිටි දරුවාගේ පියා හා මව යළි නිවසට පැමිණ තිබුණේ මහත් කලකිරීමකට පත්වය.

පවතින ඖෂධ හිඟයට හේතුව වත්මන් ආර්ථික අර්බුදය හා වත්මන් ආණ්ඩුව බව දරුවාගේ පියා විශ්වාස කළේය. සිය දරු පැටියාට වන අසාධාරණය හමුවේ ඔහු තුළ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වෙත දැඩි කෝපයක් හටගෙන තිබුණි. සිය වේදනාව තම බිරිය හමුවේ කියා අනතුරුව සිත නිදහස් කර ගැනීමටත් සෙසු පිරිසගේ අවධානයට ලක් කිරීම සඳහාත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳ සටහනක් පළකර ඇත. එය පළකර තිබුණේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිවය. දරුවාගේ පියා වන අසිත සශීන් හේවාපතිරණ මහතා මෙය සිදුකර තිබුණේ ප්‍රතිකාර ගැනීමට දරුවා සමඟ ගොස් නැවත එන අතරමගදීය.

අසිත හේවාපතිරණ මහතා පළකළ පෝස්ටුවට යම් අයකු විසින් දක්වා තිබූ අදහසකි. එම පෝස්ටුව පළකර තිබුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට එරෙහිවය. දරුවාට අවැසි ඖෂධය නොමැති වේදනාවෙන් පසුවූ හේවාපතිරණ මහතා ඊට සිය අදහසක් යළිත් එක්කර තිබුණි. ඉන් අනතුරුව වැඩි වෙලාවක් යන්නට මත්තෙන් දරුවා සමඟ අසිත - නෙළුම් කුමාරි යුවළ නිවස වෙත පැමිණ සිටියහ.

ඉන් සුළු වේලාවකට පසුව එම නිවස ඉදිරිපිටට පැමිණ නැවැත්වූ මෝටර් රථයකි. ඉන් බැසගත් පුද්ගලයන් දෙදෙනකු නිවසට පැමිණ එහි සිටි අසිත හේවාපතිරණ මහතාට පහරදී බිම දමා නැවත නැවතත් පහර දී ඇත. පහරදීම නවත්වන ලෙස කැ ගසමින් එතැනට දිව ආ අසිතගේ බිරිය නෙළුම් කුමාරිටත් ඔවුන් පහරදී තිබුණේ අමානුෂික ලෙසය. ඒ වනවිටත් දරු පැටියා වඩාගෙන නිවසේ සිටි අසිතගේ මව පහරදීම සියැසින් දැක තිබුණාය.

''දරුවට බෙහෙත් ගන්න ගිහින් පුතයි දුවයි ගෙදර ආවා. වුවමනා බෙහෙත් නැති බව කියමින් ගෙදර ආවේ. ටික වෙලාවකට පස්සේ තමයි දෙන්නෙක් වාහනේකින් ආවේ. ඒ දෙන්නා මගේ පුතා බිම දාගෙන පෙරළගෙන ගැහුවා. පස්සේ පුතාගේ බෙල්ල මිරිකාගෙන හිටියා. දරුවා මම වඩාගෙන හිටියේ. ඒ වෙලාවේ දරුවාත් හයියෙන් අඬන්න ගත්තා. මට කරන්න දෙයක් තිබුණේ නෑ. මම හයියෙන් කෑගහලා අහල පහළ ගෙවල්වල අයගෙන් උදව් ඉල්ලුවා. ඒ අය ඇවිත් තමයි මගේ පුතාව බේරාගත්තේ. නැත්නම් මගේ පුතා මරණවා.'' මෙසේ පැවසුවේ සකුන්තලා මල්කාන්ති මහත්මියයි.

පහරදී පලාගිය පිරිස නිවැසියන් හා අසල්වැසි පිරිස විසින් හඳුනාගෙන තිබුණි. ඔවුන්ගෙන් අයකු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකගේ සොහොයුරකු බවද අනෙක් පුද්ගලයා ඔහුගේ හිතවතකු බවද කියයි. පහරකෑමට ලක්වූ අඹු සැමි යුවළ ඒ මොහොතේම ප්‍රතිකාර සඳහා ඇතුළත්ව තිබුණේ වතුපිටිවල රෝහල වෙතය. පහර කෑමට ලක්වූ අසිත සශීන් හේවාපතිරණ මෙසේ පැවසීය.

''මගේ දරුවට ගන්න බෙහෙත් ෆාමසිවල නෑ. ඒ වේදනාවට මම මගේ ෆේස්බුක් පිටුවේ පෝස්ට් එකක් දැම්මා. කවුරු හරි කෙනෙක් ඒකට මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව කමෙන්ට් එකක් දාලා. පසුව මම ඒකට නැවත කමෙන්ට් කළා. ඒකට විරුද්ධව තමයි මන්ත්‍රීගේ මල්ලියි තව කෙනෙකුයි ඇවිත් මටයි මගේ බිරිඳටයි ගැහුවේ. මට බිම දාගෙන ගැහුවා. බිරිඳටත් ගැහුවා. මගේ බෙල්ල මිරිකුවා. ගමේ අය නිසයි බේරුණේ.''

පහරකෑමට ලක්වූ අසිත මහතාගේ බිරිය මෙසේ කීවාය.

''මමයි මහත්තයයි දරුවට බෙහෙත් ගන්න ගිහින් ආවා විතරයි. ටික වෙලාවකින් මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාගේ මල්ලියි තව කෙනෙකුයි ඇවිත් මහත්තයාට බිම දාගෙන ගැහුවා. ඒ දෙන්නගෙන් කෙනෙක් මටත් ගැහුවා. ඒ පාරක් මගේ ඇහැකට වැදුණා. අමාරු නිසා අපි වතුපිටිවල රෝහලට ඇතුළත් වෙලා ප්‍රතිකාර ගත්තා.''

මේ පහරදීම සම්බන්ධයෙන් අදාළ චෝදනාවට ලක්වූ මන්ත්‍රීවරයාගෙන් සිදුකළ විමසීමේදී ''අදාළ පුද්ගලයා මගේ මවට ෆේස්බුක් එකෙන් පරුෂ වචනයෙන් සටහනක් දමා තිබුණා. මේක පෞද්ගලික කාරණාවක්'' යනුවෙනි.

පහරදීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින්ම කිරිඳිවැල පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි වාර්තා විය. ඒ පිළිබඳව විමසීමේදී කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයා ඒ බව තහවුරු කළේය.

වර්තමානයේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුද හමුවේ මහජනතාවට ආහාරපාන ඖෂධ ඇතුළු තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අහිමිව තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම හෝ ආණ්ඩුවට එරෙහිව අරගල සිදුකිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ඊට එරෙහිව ඇතැම් දේශපාලනඥයන්ගේ බත් බැලයන් හා වන්දිභට්ටයන් මහජනතාව පීඩාවට පත්කර ප්‍රචණ්ඩත්වයට ලක්කිරීම සුබදායක නැත. ඔවුන් වහාම අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදීම බලධාරීන්ගේ වගකීමය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා - පුෂ්පකුමාර මල්ලවආරච්චි