
ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයන ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප්‍රධානතම කර්මාන්තවලින් එකකි. එය රටේ ශ්‍රම බලකායෙන් 16% ක් පමණ වන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දෙන අතර, රටේ සමස්ත අපනයනයෙන් අඩක් පමණ එමඟින් නිර්මාණය වේ. තවමත් ශ්‍රී ලංකාවේ ඇත්තේ අඟලුම් කර්මාන්තශාලා 350ක් පමණ ප්‍රමාණයකි. එහෙත් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමයෙන් 43% උපයන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. කොවිඩ් වසංගත තත්ත්වය පැවැති කාලය හා සසඳන විට 2022 ජනවාරි මාසයේදී අපනයන ආදායම 22.1% කින් එනම් ඩොලර් මිලියන 514 දක්වා ඉහළ ගියේය.
එහෙත් මේ වන විට රටේ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරයි. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ගැනුම්කරුවන් තම ව්‍යාපාර වෙනත් රටවලට ගෙන යනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඇඟලුම් කර්මාන්තයේ සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයකට එය බලපානු ඇතැයි කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කරයි. ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය බවත් එහි ලක්ෂ තුනහමාරක පමණ රුකියා පවතින අතර ඉදිරි මාස දෙකක පමණ කාලයක් තුළ විශාල රැකියා අවදානමකට මුහුණ පෑමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස් වෙළෙද කලාපයේ හා පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් මහතා ''මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙනවා. රටේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති බැවින් ආර්ථික ප්‍රශ්නවලටත් විසඳුම් ලබාගත නොහැකි වී තිබෙනවා. මෙරටට ආයෝජකයන් ගෙන ඒමට නම් දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය බව එවක පැවැති රජය ප්‍රකාශ කරමින් 1977දී විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමට පියවර ගත්තා. නිදහස් වෙළෙඳ කලාප නිර්මාණය කළේ ඒ අනුවයි. ඒ විධායක ජනාධිපති ක්‍රමයම වර්තමානයේ රටේ විශාල ගැටලුවක් බවට පත්ව දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ දේශපාලන අස්ථාවරත්වය දිගටම පැවතියහොත් හා ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන හා විදුලිය ලබාගත නොහැකි නම් තවදුරටත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවාද යන්න පිළිබඳව සලකා බැලීමට සිදුවන බව විදේශීය ආයෝජකයන් ප්‍රකාශ කර තිබෙනවා. නියමිත වෙලාවට ඇණවුම් ලබා දිය නොහැකි නම් එම ඇණවුම් වෙනත් රටවලට ලබා දීමට සලකා බලන බව අපගේ ඇතැම් විදේශීය ගැනුම්කරුවන් ප්‍රකාශ කර තිබෙනවා. දැන් නිපදවන්නේ මේ වසරේ මුල් මාස හය සඳහා ලද ඇණවුම්. ඉදිරි මාස හයට අපට ඇණවුම් ලැබේද යන්න සැක සහිතයි. මේ සම්බන්ධයෙන් සේවායෝජක සමාගම් සහ ව්‍යාපාරික ප්‍රජාව රජයට පෙන්වා දිය යුතුයි. එවැන්නක් දැකිය නොහැකියි. මේ සම්බන්ධයෙන් අප සංගමය රජයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සාමාන්‍යයෙන් අපි ඇණවුම් යවන්නේ නැව් මගින්. එහෙත් විදුලිය හා ඉන්ධන අර්බුදය හේතුවෙන් සිදු වූ ප්‍රමාදය නිසා ඒවා ගුවන් මගින් යැවීමට සිදු වුණා. එවිට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. ඒ සඳහා ගෙවන්නට සිදුවන්නේ ඩොලර්වලින්. දැන් ලංකාවට ඩොලර් ලැබෙන එකම මාර්ගය ඇඟලුම් කර්මාන්තයයි. මේකත් ඇහිරුණොත් රටට කුමක් වේදැයි කියන්න බැහැ. පසුගිය 28දා පැවැති වැඩවර්ජනයට ඇතැම් පිටස්තර පුද්ගලයන් බලහත්කාරයෙන් ආයතන පරිශ්‍රවලට ඇතුළු වී සේවකයන් එළියට ගත්තා. එවැනි දේවල් විදේශිය සමාගම් දැනගත්තොත් තත්ත්වය තවත් නරක අතට හැරේවි.'' යනුවෙනි.
Victoria’s Secret, Puma සහ Levi’s වැනි ලෝක පූජිත ඇඟලුම් සන්නාම යටතේ වන බොහෝ නිෂ්පාදන නිපදවන්නේ ශ්‍රී ලංකාවේය. වත්මන් අර්බුද හමුවේ තමන්ට නිසි කලට වේලාවට එම නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි ඇඟලුම් කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. මේ වන විට ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 50කටත් වඩා අඩුයැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණ කළේය. ශ්‍රී ලංකාව දැඩි ඩොලර් අහේනියකින් පෙළෙන මෙවන් වකවානුවක ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රධානතම මාර්ගයක් වූ ඇඟලුම් ඉල්ලුම විදුලිය හා ඉන්ධන නොමැතිකම හේතුවෙන් නියමිත කාලයට ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ඇතැම් ගැනුම්කරුවන් ඉන්දුනීසියාව, බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවල් කරා යොමුවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.
පසුගිය කාලයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ වුව ඇඟලුම් කම්හල් නොනිල වශයෙන් අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්ව තිබිණි. ඒවායේ නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමින් පවත්වාගෙන යෑමට එම වකවානුවේද ඒවායේ හිමිකරුවෝ පියවර ගත්හ. ඇඟලුම් සේවකයන් ප්‍රකාශ කරන අයුරින් කොවිඩ් තත්ත්වයට වඩා ඉතා දරුණු අර්බුදයකට ඔවුන් මේ වන විට මුහුණ පා සිටී. විදුලි හා ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔවුන්ගේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කර තිබේ. සියලු භාණ්ඩවල මිල අහස උසට නගිද්දී. තමන්ගේ රුකියාව පිළිබඳව දැඩි අවිනිෂ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඔවුහු මැසිවිලි නඟති. තවමත් ආසියාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අඩුම වැටුප් ලබන සේවකයන් සිටින්නේ ශ්‍රී ලංකාවේය. බංග්ලාදේශයේද මාසික අවම වැටුප ඩොලර් 94කි. එහෙත් ශ්‍රී ලංකාවේ ඩොලර් 62කි. ඩොලරයේ අගය ඉහළ යෑමත් සමඟ එය ඩොලර් 50 දක්වා පහත වැටී තිබේ.
සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වන අශිලා දන්දෙණිය මහත්මිය සඳහන් කරන පරිදි ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ගෙන්වන්නේ විදේශවලිනි. ඒවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රමය ලබා ගන්නේ මෙරට ශ්‍රමිකයන්ගෙනි. අමුද්‍රව්‍යවල හිඟයක් තවමත් දකින්නට නොමැති වුවද ශ්‍රමිකයන්ට අවශ්‍ය සේවා සැපයීමේදී කර්මාන්තකරුවන් බරපතළ අර්බුදයකට මුහුණ පා සිටි. විදුලිය කප්පාදුව හා ඉන්ධන හිඟය විශාල වශයෙන් මෙම කර්මාන්තයට බලපෑමක් එක්කර තිබේ. මේ වන විට බොහෝ කර්මාන්තශාලාවල නියමිත සේවා කාලය පවත්වාගෙන යෑමට නොහැකිය. විදුලිය කප්පාදු කරන අවස්ථාවන්හි ජෙනරේටර් භාවිතයෙන් කර්මාන්තශාලා පවත්වාගෙන ගියද මේ වන විට ඒ සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ නියමිත පරිදි කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි වීම හා සේවකයන්ගේ ආදායම පහත වැටීමය. විදුලිය හා ඉන්ධන නොමැතිකමින් සාමාන්‍ය වැඩ මුර කාලයට වඩා අඩු කාලයක් සේවය කිරීමට සිදුවීමෙන් ඔවුන්ට ලැබෙන අතිකාල දීමනා හා දිරි දීමනා නොලැබේ. මේ වන විට ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ ඉතා අසීරු තත්ත්වයන් යටතේය. ඉන්ධන නොමැතිකමින් ඇඟලුම් සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමටද බාධා පැමිණ තිබේ. පොදු ප්‍රවාහන සේවාද ක්‍රියාත්මක වන්නේ 50%ක පමණ ප්‍රමාණයකිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇන්ටන් මාකස් මහතා කියා සිටියේ ''ඩොලරයේ අගය වැඩිවීමත් සමඟ අපනයනකරුවන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා එහෙත් සේවකයන්ට තවමත් එම ප්‍රතිලාභය හිමිවන්නේ නැහැ. අපි මේ සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළා. මේ වන විට ඇතැම් ආයතන රුපියල් 10,000, 5000 වැනි අමතර දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ සියලුම ආයතනවලට කිසියම් අමතර දීමනාවක් ලබා දිය යුතු බවයි. වර්තමානයේ ඇඟලුම් සේවක සේවිකාවන් මුහුණ දෙන විශාලතම අර්බුදය ගෑස් නොමැතිකමයි. ගෑස් මිලදී ගැනීමට පෝලිම්වල සිටින්නට සිදුවීමෙන් සේවකයන්ට එදින වැටුප අහිමි වෙනවා. ඔවුන්ගේ පැමිණීමේ දීමනාව කැපෙනවා. ඒ නිසා සේවක සේවිකාවන්ට හැකිනම් ගෑස් සපයා දීමට කටයුතු කරන ලෙසට අපි කර්මාන්ත ශාලා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියා'' යනුවෙන් සඳහන් කළේය.
බොහෝ අපනයනකරුවන් සාමාන්‍යයෙන් ස්ථාවර මිල ගණන් යටතේ ඇණවුම් ලබා ගනිති. ඩොලරයේ අගය ඉහළ යෑම අපනයනකරුවන්ට කිසියම් සහන දායක තත්ත්වයක් නිර්මාණය කළද අධික ලෙස ඉහළ යන පිරිවැය අවම කර ගැනීමේ හැකියාවක් ඔවුනට නොමැත. ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් වෙනත් රටවල රැකියා සොයා යෑමට පෙළඹී ඇතැයි ද අපනයනකරුවෝ පෙන්වා දෙති.
මෙරට අපනයන නිෂ්පාදන 600කට අධික ප්‍රමාණයකට වරණීය බදු සහන හෙවත් ජීඑස්පී බදු සහනය හිමිවේ. ඉන් ඉදිරියෙන්ම සිටින්නේ ඇඟලුම් කර්මාන්තයයි. වර්තමානයේ පැන නැඟී රාජ්‍ය අස්ථාවරත්වය හමුවේ වරණීය ණය සහනයට ද තව තවත් කොන්දේසි ඇතුළත් විය හැකි යැයි අශිලා දන්දෙණිය මහත්මිය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ගුණාත්මක බවින් ඉහළ සහ ඇණවුම් නියමිත වේලාවට සපයන බවට ජාත්‍යන්තර ගැනුම්කරුවන් අතර විශ්වාසයක් පවතී. අපේ තරගකාරි රටවල් සමඟ සැසඳීමේදී එම රටවල් අපෙන් ඇඟලුම් මිලදී ගන්නා රටවල් සමඟ පවත්වන සබඳතා ඉතා ප්‍රශස්තය. එසේම ඒ රටවලින් ඔවුන්ට ලැබෙන සහනද විශාලය. අපට තිබෙන එකම සහනය යුරෝපා සංගමයේ රටවලින් දී තිබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය පමණකි. ලංකාවේ සමස්ත ඇඟලුම්වලින් 3% ක් පමණ අපනයනය කරන්නේ, ජී.එස්.පී. ප්ලස් බදු සහනය යටතේ යුරෝපා සංගමයේ රටවලටය. යම් හේතුවකින් ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහෝසි වුවහොත් හෝ කොන්දේසි වැඩි කළහොත් යුරෝපා සංගමයේ රටවලට තීරු බදු රහිතව ඇඟලුම් අපනයනය කිරීමට දැනට අපට හිමි වී තිබෙන සහනය ද අහෝසි විය හැකිය..
ශ්‍රී ලංකාවට වඩා අඩු මිලකින් කෙටි කාලයකින් ඇඟලුම් නිපදවා අපනයනය කළ හැකි රටවල් බොහෝ ඇත. ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය ඊට උදාහරණ කිහිපයකි. එමෙන්ම ශ්‍රී ලංකාවට වඩා බොහෝ තරගකාරී රටවල් කිහිපයක් ද මේ වන විට ඉදිරියට පැමිණ තිබේ. අප්‍රිකාව, ඉතියෝපියාව, කෙන්යාව, ඊජිප්තුව වැනි රටවල් අපට වඩා ඉතාමත් අඩු මිලකට ඇඟලුම් නිෂ්පාදනය කරයි. එහෙයින් රටට ඩොලර් ගෙනෙන මෙම කර්මාන්තය කෙසේ හෝ ආරක්ෂා කර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා