
රට වටේම මහ මුහුදය. දූපතක් වූ ශ්‍රී ලංකාවේ මත්ස්‍යයන්ගේ හිඟයක් නැත. නමුත් මේ වනවිට සිදුව ඇත්තේ සැම දෙයකම මිල ඉහළ යන විට මත්ස්‍යයන්ගේ මිලද ඉහළ යාමය. මේ දිනවල මත්ස්‍යයන්ගේ මිල ඉතා ඉහළ අගයක් පවතී.
මත්ස්යය වෙළෙඳපොළ නිර්මාණය වී ඇත්තේ ඉල්ලුම හා සැපයුම මතයි. ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලැබෙන්නේ නැතිනම් මත්ස්‍යයන්ගේ මිල අධිකයි. ඒක තමයි මේ මාළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වෙන්නේ. රට වටේ තියෙන මුහුදෙන් මේ මධ්‍යස්ථානයට මාළු අසීමිත විදිහට ආවොත් මිල බහිනවා. පසුගිය මාස දෙක තුනේම ඉල්ලුමට සරිලන සැපයුමක් ලැබුණේ නැහැ.* යැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්යය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා දේශයට පැවසීය.
රට වටේම මුහුද පිහිටා තිබුණද මහ මුහුදේ සිට මත්ස්‍යයන් ගොඩබිමට රුගෙන එන්නේ ධීවරයන් විසිනි. මොවුන්ට තමන්ගේ රුකියාව කරගත නොහැකි තත්ත්වයක් අද වනවිට උදා වී ඇත. ධීවරයන්ට ඇති අසීමිත ගැටලුවලට විසඳුමක් නැතිවන විට තව තවත් ගැටලු ඒ ජීවිතවලට එකතු වනවිට ධීවර රුකියාවෙන් ඈත්ව සිටින පිරිසද අද රුකියා විරහිත ජනතාව අතරට එකතු වී සිටිති. ධීවර රුකියාව ලෙහෙසි පහසු රුකියාවක් නොවේ. එය අවදානම් සහගත රුකියාවකි. දින, සති, මාස ගණන් මහ මුහුද මැද දවස ගෙවන්නේ ජීවත් විය යුතු නිසාවෙනි. නමුත් ඒ වෙනුවට ඔවුන්ට රුකියාව එපා වී යන තත්ත්වය පත්වෙද්දී මහ මුහුදේ කෙතරම් මත්ස්‍යයන් සිටියද ඔවුහු මහ මුහුදට යාමට උනන්දු නොවෙති.
ශ්‍රී ලංකාව දුපතකි. මහ මුහුදේ එහා මෙහා පිහිනන මසුන් අල්ලා ගැනීම ධීවරයන්ගේ රුකියාවය. අතීතයේදී මාදැල්වලින් මත්ස්‍යයන් ඇල්ලූ ධීවරයෝ මේ වනවිට අධි තාක්ෂණික ක්රමවේදද යොදාගනිමින් මත්ස්‍යයෝ අල්ලති. මේ වන විටත් මෙරට මසුන් අභිජනන මධ්‍යස්ථානයක් නොමැත. නමුත් එය ස්වභාවිකව සිදුවන තැන් මහ මුහුදේ පිහිටා ඇත. ඇතැම්හු ඉක්මනින් මුදල් සොයා ගැනීමට ඇති ආත්මාර්ථකාමී අදහස හේතුවෙන් මේ ස්ථාන විනාශ කරමින් සිටිති. ඇතැම්හු මුහුදේ ඩයිනමයිට් දමති. ඇතැම්හු විස දැල් යොදා මාළු අල්ලති. එම හේතුවෙන් මත්ස්යය සම්පත ඉතා ඉක්මනින් විනාශ වෙමින් තිබේ. කුඩා මාළු පැටවුන් මෙම ක්‍රම මගින් විනාශ වී යාමත් සමඟ මත්ස්‍යයන් බෝවීමේ ප්‍රවණතාවය අඩුවෙමින් පවතී. ඇතැම් විශාල මත්ස්‍යයෝ දියඹට යති. එවිට විදෙස් රටවලින් පැමිණෙන බෝට්ටුවලට මොවුහු හසුවෙති. මේ නිසාම මේ වෙද්දී විවිධ වර්ගයේ මසුන් හිඟවීමේ ප්‍රවණතාවක් පවතී. බොහෝ මසුන් වර්ග විදෙස් රටවල බෝට්ටුවලට හසුවෙමින් තිබේ.
මේ වනවිට තලපත්, කොප්පරු මසුන් අපිට නැතිවෙමින් පවතින්නේ. තාමත් අපිට වැඩිපුර ඉතිරිවෙලා ඉන්නේ බලයා, කෙලවල්ලා වැනි මසුන් පමණයි. ඒකත් දැන් එන්න එන්නම අඩුවෙලා තියෙනවා. මසුන් අඩුවීමත් සමඟ ලැබෙන මසුන්වල මිල අධිකයි. ඉස්සර මහ මුහුදේ ඕන තරම් මසුන් හිටියා. මීට ටික දවසකට පෙර කෙලවල්ලන් රුපියල් හත්සීයකට අටසීයකට විකිණුවත් අද වෙද්දී රුපියල් දාහට එහා ගිහින්. අද තලපත්, කිලෝ එකක් මත්ස්යය වෙළෙඳ සංකීර්ණයේ රුපියල් එක්දාස් දෙසීයයි. යැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්යය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන් දවසේ ජීවිකාව සරිකර ගන්නා ධීවරයන්ට ඇති විශාලම ගැටලුව නම් ඉන්ධන ගැටලුවයි. මසුන් කිලෝ පනහක් වැනි සංඛ්‍යාවක් ලබාගෙන එයින් ඉන්ධනවලට මුදල් වෙන්කළ පසුව ජීවත් වීමට සරිලන මුදලක් ඉතිරි නොවේ. ඇතැමුන් කුඩා බෝට්ටු ගෙන මුහුදට යන්නේ කුලී පදනම මතය. සේවකයන්ගේ මුදල හා අමතර වියදම් වෙන්කර පසුව ඉතිරි වන මුදලක් නැත. ඇතැම්විට කුඩා බෝට්ටුවක් ගෙන මුහුදු ගියද ඔවුහු හිතූ තරමට මාළු අස්වැන්නක් නොලබති. මේ නිසාම වෙරළට රුගෙන එන මසුන් ප්‍රමාණය සැලකූ විට වෙළෙඳුන්ට වෙනදා තරම් ලාභදායී ලෙසින් මාළු ලබා දිය නොහැකිය. ඒ නිසාම අවසානයේදී පාරිභෝගිකයන්ටද මත්ස්‍යයන් මිලදී ගැනීමට සිදුව ඇත්තේ ඉතා ඉහළ මිලකටය.
මේ වන විට පෑලියගොඩට එන මාළු ලොරි ප්රමාණයේද යම් අඩුවක් පවතී. බෝට්ටු මගින් වැල්ලට ගොඩබාන මත්ස්‍යයන් ලොරි මගින් පෑලියගොඩට ගෙන ඒමට වැයවන අමතර ඉන්ධන ප්‍රමාණය සලකා බලන ඇතැම් ධීවරයෝ එම වැල්ලේ සිට ගනුදෙනුකරුවන්ට මත්ස්‍යයෝ අලෙවි කරති. ඇතැම් කරවල තොග වෙළෙන්ඳෝ වැල්ලට පැමිණ කරවල සඳහා මත්ස්‍යයෝ මිලදී ගනිති. මේ නිසාම පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයට පැමිණෙනවාට වඩා ඉන්ධන ගැටලුව හමුවේ එය ඔවුන්ට ඵලදායි විසඳුමක් වී ඇත. සිල්ලර මාළු වෙළෙන්ඳෝ ද වෙරළට පැමිණ මත්ස්‍යයන් මිලදී ගනිති
බොහෝ ට්‍රෝලර් යාත්‍රා නැවත ගොඩබිමට පැමිණෙන්නේ සති ගණනක් හෝ මාසයක් පමණ කාලයක් මුහුදේ ගත කිරීමෙන් අනතුරුවය. ඔවුහු දියඹට යාමට පෙර අවශ්‍ය ඉන්ධන, කෑම බීම, බුලත් ඇතුළු අවශ්‍ය සියල දෑ බෝට්ටුවට පටවා ගනිති. මාසයක් පුරාවට අවශ්‍ය වන ජලය පවා රුගෙන යා යුතුය. ස්කීපර් ඇතුළු සේවකයන්ට අවශ්‍ය දේවල් ද අද වනවිට මිල ඉහළ යමින් පවතී. කෙසේ හෝ මාසයක් පුරාවට මුහුදේ සිට නැවත ගොඩබිමට එන ධීවරයෝ පළමුව වියදම් වූ මුදල වෙන් කරති. අද වනවිට එය ඉතා ඉහළ මිලකි. පසුව ස්කීපර් ඇතුළු සේවකයෝ ද බෝට්ටු හිමියාද ගෙන ආ මත්ස්යයන්ගෙන් ලැබුණු ලාභයෙන් ඔවුන්ගේ මුදල වෙන්කර ගනිති. නමුත් මේ වනවිට පවතින තත්ත්වය මත බෝට්ටු හිමියා, ස්කීපර් ඇතුළු සේවකයන්ට පෙර මෙන් සැලකිය යුතු ලාභයක් නොලැබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ සෑම දෙයකම මිල ඉහළ යාමය.
කෙසේ වුවද රට වටේම මුහුද තිබුණද දරුවන්ට මාළු කෑල්ලක් ආහාරයට දීමට නොහැකිව සෝ සුසුම් හෙළන දෙමව්පියෝ ඕනෑතරම් අද සමාජයේ ජීවත් වෙති.
දිශානි ජයමාලි කරුණාරත්න