2022 මැයි 08 වන ඉරිදා

රන්පතක එතූ අන්දරවැව ධාතූන් වහන්සේ

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 189

කොළඹ සිට කි.මී. 184ක් දුරින් පිහිටි අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සැඟවුණු පෞරාණික උරුමයන් රාශියකි. මේ අතරින් බහුතරයක් නටබුන් ස්ථාන අදටත් පවතින්නේ කැණීම් කර සංරක්ෂණය නොකළ තත්ත්වයකය. දේවානම්පියතිස්ස හා දුටුගැමුණු රජු හා සම්බන්ධ ජනප්‍රවාද මේ විහාර සමඟ බැඳී පවතී. හල්මිල්ලගල රජමහා විහාරය, කුරුළුපෙත්තාගල, ඔත්තප්පුව යන විහාර දුටුගැමුණු රජ සමයේ ආරම්භ කළ බව ජනප්‍රවාදයේ පැවසේ. අඹගහවැව විහාරය කරවූ බව සැලකෙන්නේ මකලන්තිස්ස රජ සමයේය.

ඉපැරණි බෞද්ධ උරුමයන් සහිත නොච්චියාගම ප්‍රදේශයේ අන්දරවැව පිහිටි ශෛලබිම්බාරාම රජමහා විහාරයේ දාගැබ තැනවූ බව පැවසෙන්නේ දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 237 – 265) රජ කාලයේය. මේ ඉපැරණි දාගැබ් ගොඩැල්ල, පැරණි පිළිමගෙය හා වෙනත් නටබුන් ගොඩනැගිලි 2011.12.30 දින පුරාවිද්‍යා රක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශ කර තිබේ. කැණීම් කිරීමට ලක් නොවී වනගතව පැවති මෙම දාගැබ අනුරාධපුර මුල් යුගයට අයත් බව එහි ගඩොල් හා වෙනත් අවශේෂවලින් පැහැදිලි විය. පසුගිය දිනවල අන්දරවැව දාගැබේ කැණීම් සිදුවූ අතර එහිදී හමුවූ විශේෂිතම පුරාවස්තුව බවට පත්වූයේ රන්පතක ඔතන ලද ධාතු කොටස්ය. මෙතෙක් ධාතුන් හමුවූයේ කරඬුවල තැන්පත් කර වුවද මෙහි ඒවා තැන්පත් කර ඇත්තේ තුනී රන් පත්‍රයක් මැදට දමා එය නැවීමෙනි. එසේ ධාතු තැන්පත් කිරීමක් මෙරටින් හමුවූ පළමු අවස්ථාව අන්දරවැවෙන් වාර්තා විය.

ශෛලබිම්බාරාම රජමහා විහාරාධිපති නබඩවැවේ පඤ්ඤාසාර හිමියන්ට පස් ගොඩැල්ලක් වශයෙන් පැවති දාගැබ කැණීම් කර සංරක්ෂණය කිරීමට අවශ්‍ය විය. පුරාණ නටබුන් ගොඩනැගිලිවලට අමතරව පැරණි බුදු මැදුරක් සහ නූතන දාගැබක්ද විහාරබිමේ පවතී. විහාරාධිපති හිමියන්ගේ උනන්දුව මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි කැණීම් කටයුතු ආරම්භ කළේය. ඒ ගැන අප සමඟ අදහස් දැක්වූ පුරාවිද්‍යා ව්‍යාපෘති නිලධාරිනී නිරෑපා ප්‍රියදර්ශනී මෙසේ පැවසුවාය. &මෙම කැණීම සිදුවන්නේ ප්‍රජා මූල ව්‍යාපෘතියක් විදිහට. ඒ අනුව විහාරයේ දායකයන් තමයි කැණීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා සම්පත් ලබා දෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය අධීක්ෂණය කිරීම හා පුහුණු ශ්‍රමය ලබා දීම සිදු කරනවා. පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ප්‍රසන්න රත්නායක හා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්. ජයතිලක යන මහත්වරු මේ කටයුත්තේදී අවශ්‍ය උපදෙස් ලබාදෙමින් අධීක්ෂණය කරනවා.

අනුරාධපුර මුල් යුගයේ කුඩා දාගැබකට කදිම උදාහරණයක් සපයන අන්දරවැව දාගැබ, දාගැබ් ඉතිහාසය හැදෑරීමේදී කඩයිමක් සටහන් කරන බව මේ වනවිට හමුව ඇති සාධකවලින් හෙළි වේ. &මේ දාගැබේ ඉදිකිරීම් අවදි දෙකක් ගැන කැණීම්වලදී සාධක හමු වුණා. පුරාණයේ දාගැබේ සවිකර තිබූ යූප ස්තම්භය දාගැබ මැද අඩි 16ක් යට පිරවුම් පසෙන් හමු වුණා. එය එක් ඉදිකිරීම් අවදියක් ලෙස හඳුනාගත්තා. නැගෙනහිර දිසාවේ පස් කණ්ඩියෙන් තමයි ධාතුන් වහන්සේ සහිත රන් පත්‍රය හමු වුණේ.* ව්‍යාපෘති භාර නිලධාරිනී නිරෑපා වැඩිදුරටත් විස්තර කළාය. දාගැබ සංරක්ෂණය කෙරෙන්නේ පුරාණ අවදි හඳුනාගැනීමට හැකිවන පරිදි කොටසක් ඉතිරි කරමිනි. දාගැබේ අවටින් පුරාණයේ වන්දනාවට භාවිත කළ සිරිපතුල් ගල් ද ටෙරාකොටා මිනිස් රෑප හා මැටි බුදු පිළිම කොටස් ද හමුව තිබේ.

දාගැබ ඉදිකිරීමට ගඩොල් තැනීමෙන් දායක වන්නේ අන්දරවැව ගම්වැසියෝ වෙති. ඔවුන්ට ගඩොල් කැපීම සම්ප්‍රදායික අත්කමක් විය. එම පැරණි සම්ප්‍රදාය අනුව දාගැබට අවශ්‍ය මෝල්ඩිං ගඩොල් කපා පුළුස්සා දීම සිදු වේ. එය ගැමියන් විසින් සිදු කරන්නේ මුදලට නොවේ. තම ශ්‍රමය මහා පින්කමකට යෙදවීමක් ලෙසිනි. පුරාණයේ රුවන්වැලි සෑය තැනීමට ජනතාව සහභාගි වූවා සේ අන්දරවැව දාගැබ තැනීමටද ගැමියෝ එක්ව සිටිති.

ජනප්‍රවාදවලට අනුව දේවානම්පියතිස්ස රජු දඩයමේ යන විට දැන් දාගැබ පිහිටි ස්ථානයේ තිබූ අන්දර ගසකට කඩුවෙන් කොටුවේලු. ගස දෙකඩ වී කැපී යනු වෙනුවට රජුගේ කඩුව දෙකට කැඩී ගියේය. එම ගසේ සවිමත් බව ගැන සිතූ රජු එය ගලක් මෙන් සවිමත් ගසක් බව පැවසූ අතර එය අන්දරගල නමින් හැඳින්වෙන්නට විය. ඉන් පසුව එතැන දාගැබක්ද ඉදිකරවීමට කටයුතු යෙදීය. පසු කලෙක දාගැබට නැගෙනහිර දෙසින් වැව ඉදි විය. ඉන් පසු මේ ගම අන්දරවැව ලෙස හැඳින්වීම ආරම්භ විය. ජනප්‍රවාදගත තොරතුරු හැරුණුවිට විහාරයේ ඓතිහාසිකත්වය හෙළිදරව් කරන සෙල්ලිපි සාධක හමුවී නැත.

පසුගියදා කැණීම් මගින් අනාවරණය කරගත් ශෛලමය හා මැටි භාණ්ඩවලට අමතරව දාගැබට උතුරු දිසාවෙන් ගල් කණු කොටස් දැකගත හැකි ගොඩනැගිලි දෙකක නටබුන් හමුවේ. ඒවා කුමන ගොඩනැගිලිදැයි මෙතෙක් හඳුනාගෙන නැත.

පිහිටි ගලෙහි නිර්මාණය වී ඇති ජල පොකුණු ද ගල්කෙම්ද මෙම විහාරබිමේ දැකගත හැකිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති ටැම්පිට විහාරයක්ද අන්දරවැව විහාරයේ පිහිටා තිබේ. කිරිගරුඬ පාෂාණයෙන් තැනූ හිස කැඩී ගිය බුදු පිළිමයක්ද එහි පාදස්ථලය ලෙස සැලකිය හැකි කොටසක්ද කණු පාදම් ගල් රාශියක් ද විහාර භූමියේ විසිර පවතී.

විහාරයට නුදුරින් පිහිටා ඇත්තේ අන්දරවැව රක්ෂිත වනාන්තරයයි. පසුගිය කාලයේ වාර්තා වූයේ මේ වනය විනාශ කරමින් ආරම්භ කළ ඉදිකිරීම් නිසා වනඅලි තර්ජනය ඉහළ ගොස් ඇති බවයි

 කුසුම්සිරි විජයවර්ධන