2022 මැයි 08 වන ඉරිදා

අලුත් බජට් එක පරණ පාරේම යයිද?

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 78

2022 වසර සඳහා අලුත් අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉක්මනින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි පසුගිය 5 වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු පැවසුවේ 2019 දී අමෙරිකානු ඩොලර් බිලියන 7ක්ව තිබූ විදේශ වත්කම් ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 50ටත් අඩු මට්ටමකට පත්ව ඇති බවය. 2019 වසරේදී එතෙක් 15%ක්ව තිබුණු වැට් බද්ද 8% දක්වා අඩු කිරීම විශාල වරදක් බවය.

''අපට බදු ප්‍රතිශත ඉහළ නැංවීමට සිදුව තිබෙනවා. ගෙවුම් ශේෂ හිඟය අවම කර ගැනීම සඳහා ආදායම වැඩිකර වියදම අඩු කිරීම සඳහා ක්‍රමවේද මේ නව අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යුතුයි. දැනට පවතින වැට් බදු ප්‍රතිශතය ශ්‍රී ලංකාව වැනි අත්‍යවශ්‍ය ආනයන මත යැපෙන රටකට සුදුසු නොවන අතර නව අයවැය ලේඛනයෙන් වැට් බද්ද 13% - 14% පමණ ඉහළ නැංවීමට කටයුතු කරනවා.'' ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු අවධාරණය කළේ රටේ බදු ආදායම ඉහළ නැංවීම සඳහා යෝජනා නව අයවැයට ඉදිරිපත් කරන අතර, දැනටමත් ජීවන වියදමින් බැට කන දිළිඳු ජනතාවට තවදුරටත් බරක් නොවන අයවැයක් ඉදිරිපත් කිරීම මේ වනවිට අත්‍යවශ්‍යව ඇති බවකි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට මෙයට පෙර කටයුතු කරන්නට තිබුණු නමුත් එසේ සිදු නොවීම නිසා ගැටලු රාශියක් උද්ගතව ඇති බවද හෙතෙම කීවේය. කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණීමට රජයට තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවද ඔහු කීවේය.

ඔහු පැවසුවේ රටේ උද්ගතව ඇති භාණ්ඩ මිල ඉහළ යාම සහ ඇතැම් භාණ්ඩවල ඇතිව ඇති හිඟය කවදා අවසන් වේදැයි තමාට කිව නොහැකි අතර ඒ සියල්ල සිදුවන්නේ රටට කොතරම් විදේශ මුදල් ලැබේද යන්න මත බවද පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 – 600 පමණ මුදලක් වහාම ලැබෙනු ඇතැයි විශ්වාස කරන අතර එම මුදලින් වැඩි කොටස පහළ පාන්තික ජනතාවට යම් යම් සහන දීමට පාවිච්චි කිරීමට සිදුවන බවද පැවසීය.
කෙසේ වුවද මුදල් අමාත්‍යවරයා බී.බී.සී. ලෝක සේවයට සහ පාර්ලිමේන්තුවට පසුගියදා කළ ප්‍රකාශ අනුව මෙම මාසය අවසන් වීමට ප්‍රථම අලුතින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට යන බව පැහැදිලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එක වර්ෂයක් සඳහා අයවැය ලේඛන දෙකක් ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව ලෙසට 2022 වසර ඉතිහාසයට එක්වෙනවා ඇත.

අපේ රට 2018 දී පමණ ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම නිසා ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහන පොලියට ණය ලබාගැනීමට හැකියාව අහිමි විය. එහි ප්‍රතිඵලය වූයේ ඉහළ පොලියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ණය ලබාගැනීමට සිදුවීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විටින් විට පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා රටේ ආදායම වැඩි කරගත යුතු බවය. 2015 – 2019 කාලයේදී බදු ප්‍රතිශතය ඉහළ නංවා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට කටයුතු කර තිබුණද ඊට පසු බලයට පැමිණි වහාම කළේ අවිචාරවත් ලෙස බදු ආදායම අහිමි කරලීමය. එසේ කළේ තම සුවචයන්ට වාසි සැලසීම සඳහා බවට චෝදනා එල්ල වුවද තවමත් එය සනාථ වී නොමැත. කෙසේ වුවද වැට් බදු ප්‍රතිශතය 8%ට අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම බිලියන 500 – 600 පමණ අඩුකරගත් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

නව අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර සිටම රාජ්‍ය ආදායම් කප්පාදු කිරීමට රජය කටයුතු කර ඇත. රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් සිදුකිරීම නවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතනවලට චක්‍රලේඛයක් මගින් දන්වා ඇත. එසේම වැටුප් සහ දීමනා වැඩි කිරීම් නවත්වා ඇති අතර උත්සව පැවැත්වීම්, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම සීමා කර තිබේ. තවද රජයේ වාහන පාවිච්චි කිරීමේදීද විවිධ සීමා කිරීම් සිදු කර තිබේ. ඇමැතිවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව අඩු කිරීමෙන්ද වියදම් අවම කරගත හැකි වෙතැයි විශ්වාස කරයි.

නව අයවැය ලේඛනයට මහා පරිමාණ ව්‍යාපෘති නතර කර ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා යෝජනා ඇතුළත් වනු ඇති බව දැනගන්නට ඇත. මුදල් ඇමැතිගේ උපදෙස් මත මෙම නව අයවැය ලේඛනයට මාර්ග, පාලම්, ගොඩනැගිලි ඉදිකිරීම් ආදී ප්‍රාග්ධන වියදම් හැකි පමණ අඩුකර ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ යෝජනා ඇතුළත් කරන බවද සඳහන්ය. එහි පූර්වාදර්ශයක් වශයෙන් සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත දීමනා ලබන පවුල් ලක්ෂ 33.4කට මාස තුනක කාලයක් සඳහා විශේෂ දීමනාවක් ගෙවීමට පසුගිය සතියේ මුදල් සහ අධිකරණ ඇමැති එම්.යූ.එම්. අලි සබ්‍රි ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ. මෙය අලුත් අයවැය ඉදිරිපත් කිරීමට පෙර ක්‍රියාත්මක වූ වැඩසටහනකි. මෙම වියදම නව අයවැය තුළින් නීත්‍යානුකූල ලෙස ඉදිරිපත් කරනවා ඇත. කෙසේ වුවද ඉදිරිපත් කෙරෙන නව අයවැය තුළින් යම් පමණකට හෝ රටේ අනාගතය තීරණය වන බව පැවසිය යුතුය.

රටේ ආර්ථික තත්ත්වය හා ගෙන ඒමට නියමිත අලුත් අයවැය ලේඛනය පිළිබඳ අදහස් දක්වන ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මෙසේ පවසයි.

''පවතින තත්ත්වය යහපත් අතට හැරවීමට නම් අනිවාර්යයෙන්ම බදු ඉහළ නැංවීමකට යා යුතු වෙනවා. පසුගිය සමයේ ගත් අයහපත් තීරණ නිසා රටේ ජාතික ආදායම ඉතාම පහළ මට්ටමකට ඇද වැටුණා. ලොව රටවල් අතර බදු ආදායම ඉතාම අඩු රටක් තමා ශ්‍රී ලංකාව. වක්‍ර බදු වැඩි කිරීම නිසා දිළිඳු ජනතාවට තවත් හිරිහැර වෙන බැවින් ඍජු බදු ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.

රට මේ තත්ත්වයට පත්වූයේ කිසිදු පූර්ව නිගමනයකින් තොරව හදිසියේ ගත් පටු තීරණ නිසයි. මේ රජය බලයට පත්වූ වහාම එතෙක් පැවති වැට් බදු ප්‍රතිශතය එකට එකක් අඩු කිරීම එක් උදාහරණයක් ලෙස දැක්විය හැකියි. මෙය කිසිවෙක් ඉල්ලූ දෙයක් නොවෙයි. වාණිජ මණ්ඩලය හෝ වෙනත් කිසිදු ව්‍යාපාරික සංගමයක් ඉල්ලුවේ නැහැ. එහෙත් එහෙම විශාල වෙනසක් එකවරම සිදු කිරීම අප කවුරුත් පුදුමයට පත් කරන්නක් වුණා. මෙයින් අහිමි වන ආදායම වැඩිකර ගන්න රජය කිසිදු වැඩපිළිවෙළක් යෙදුවේ නැහැ. එසේම බදු අයකරන ආදායම් මට්ටම එකවරම ඉහළ දැමුවා. එයින් සිද්ධ වුණේ ලැබිය යුතු විශාල බදු ප්‍රමාණයක් නොලැබී යාමයි.

එපමණක් නොවෙයි. උපයන විට ගෙවීම් බද්ද හා රඳවා ගැනීමේ බද්ද අහෝසි කළා. වාර්ෂික පිරිවැටුම මිලියන 100 සිට 300ට වැඩි කළා. මෙවැනි වෙනස් කිරීම් නොකළ යුතු බවට අපි මුදල් අමාත්‍යාංශයට ලියලා දැන්වුවත් වැඩක් වුණේ නැහැ. අපව සාකච්ඡාවකට කැඳවන්න කිව්වත් කළේ නැහැ. මෙවැනි බදු අයකිරීමට අපහසු ඒවා නොවෙයි. ඇඟට නොදැනි අයකර ගන්න පුළුවන් බදු. ඒවා නැවැත්වීම කුමන හේතුවකට කළාද, ඒවාට උපදෙස් දුන්නේ කවුද කියලා දන්නේ නැහැ.

අලුත් අයවැය ලේඛනයකින් මෙම බදු වැඩි කිරීම් යළි කරන්නට යනවා නම් එයින් සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් ඇති නොවන පරිදි කළ යුතුයි. අද 2019 කාලෙට වැඩිය ජනතාව අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ජීවන වියදම ඉහළයි. අප්‍රේල් මාසයේ උද්ධමනය 29.8% ක් බවට පත්වෙලා තියෙනවා. මෙය පසුගිය මාර්තු අවසානයට සමගාමීව 11.1%ක ඉහළ යාමක්. ඉතින් මාසයක් තුළ මෙතරම් විශාල ලෙස උද්ධමනය වැඩි වූ විට රට කොහෙන් නවතීද කියලා හිතන්න බැහැ.
අද රටේ මිල මට්ටම ඉහළ ගියේ වැට් බද්ද නිසා නොවෙයි. ආණ්ඩුව විටින් විට ගත් වැරදි තීරණ නිසයි. මේ වනවිට රටේ ආනයන සීමා කිරීම සහ ඇතැම් ඒවා තහනම් කිරීම නිසා රටට විශාල ලෙස බදු ආදායම අහිමිවෙලා තියෙනවා. මෝටර් රථ ආනයනය ආදියෙන් විශාල බදු ප්‍රමාණයක් රජයට ලැබුණා. අද ඒ සියල්ල නැවතිලා. එම ආනයන කර්මාන්තද කඩා වැටිලා.

බදු ප්‍රතිශත වැඩි කිරීමට හා අලුත් බදු හඳුන්වා දීම වගේම දැනට පවතින බදු අයකර ගැනීම කාර්යක්ෂම කළ යුතුයි. අද පවතින නීති ප්‍රතිපාදන අනුව හරියට බදු අය කරනවා නම් අලුත් බදු පැනවීම අවශ්‍ය නැහැ. අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රාජකාරි විධිමත් කරලා බදු ගෙවීම පැහැර හරින්නන් සොයාගෙන හැකි තරම් අයකර ගැනීම කළ යුතු වෙනවා. අද සිදුවන්නේ ගෙවන අය ගෙවන නමුත් නොගෙවන අය දිගටම නොගෙවන එකයි. මේ තත්ත්වය සමාලෝචනය කිරීමට අලුත් මුදල් ඇමැතිතුමා සහ අලුතින් පත්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් සහ මහ බැංකු අධිපති පියවර ගනී කියලා බලාපොරොත්තු වෙනවා. බදු පැනවීම හා අත්හැරීම සාකච්ඡා කළ යුතු දෙයක්. ඒ නිසා හදිසි තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි. පසු විපරම් කිරීම වැදගත්.''
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ මෙම අලුත් අයවැය ලේඛනය ගෙන එන්නට යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව බවයි. ඒ අය යෝජනා කරන ආර්ථික ප්‍රතිසංස්කරණවලට අනුගත වූ බව පෙන්වීම මෙම නව අයවැයේ අරමුණ බව පෙනෙන්නට තිබෙන බව ඔහු කියයි.

''ඇත්තටම බලාපොරොත්තු වන්නේ සම්පූර්ණයෙන්ම ඉදිරි කාලය සඳහා අලුතෙන් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමටද, නොඑසේ නම් දැනට 2022 වසර සඳහා අනුමත වී ඇති අයවැය ලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීමටද යන්න පිළිබඳ තවමත් පැහැදිලි කිරීමක් කර නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු අයවැය ලේඛනය මුදල් පනතක් වශයෙන් නීතිගත වී තිබෙනවා. අලුතින් අයවැය ලේඛනයක් ගෙනෙනවා නම් මුල් අයවැය ලේඛනය ඉවත් කර ඉදිරි කාලයට ක්‍රියාත්මක වීමට අලුත් එකක් ගෙන ආ යුතුයි. කෙසේ වුවද විශාල ලෙස වෙනස්කම් සිදු වෙනවා නම් සංශෝධන නොකර අලුතින් අයවැය ලේඛනයක් ගෙන ඒම අවශ්‍ය වෙනවා.

එසේම මේ පිළිබඳ වගකීම පැවරෙන්නේ ඇමැතිටයි. කැබිනට් සංශෝධනයකින් වෙනත් මුදල් ඇමැති කෙනෙක් පත්වුවහොත් ඒ අයගේ අවශ්‍යතා අනුව අයවැය ලේඛනය හෝ සංශෝධන සැකසිය යුතු වෙනවා. වර්තමානයේ බලපැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඇතැම් වැය ශීර්ෂ මුදල් ඇමැතිගේ සහ ජනාධිපතිගේ එකඟතා මත අනුමත කරගෙන ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ඒ නිසා අලුතින් මුදල් ඇමැති කෙනෙක් පත් කරනවා නම් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

කෙසේ වුණත් අලුතින් අයවැය ලේඛනයක් ගෙනෙනවා නම් එය සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට හා මතුවට අපට දෙන උපදෙස්වලට අනුකූලවයි. අප තනන අයවැය ලේඛනය ඒ අයගේ උපදෙස් අනුව සකස් කළ විට අපට ආධාර ලබාගැනීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී කාර්යයවලදී පහසුවක් වෙනවා. එවිට අරමුදලට පිළිගන්න සිදුවෙනවා අපි ඒ අයගේ උපදෙස් පිළිපදින බව. එයයි දැන් අලුතෙන් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය වන්නේ.

අනිත් අතට වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ දා සිටම විශාල වශයෙන් බදු කපා හැරීම නිසා බදු ආදායම අඩු වී තිබෙනවා. වැට් බද්ද 14% සිට 8% දක්වා අඩු කළා. තම හිතෛශීන්ට බදු සහන දුන්නා. ආදායම් බදු ප්‍රතිශත වෙනස් කළා. බදු ගෙවිය යුතු ආදායම් මට්ටම ඉහළ දැම්මා. සිදුවන ප්‍රතිවිපාක ගැන සොයා නොබලා එකවරම ගත් මෙම අදූරදර්ශී තීරණ නිසා රටේ ආදායම එකතු කිරීම අඩපණ වුණා. ආදායම අඩුවෙලා අයවැය පරතරය ඉහළ ගියා. එසේම සීනි බදු වංචාව වැනි දේවලට ඉඩ සැලසූ නිසා රටට හිමිවිය යුතු බදු ආදායම් වුවමනාවෙන් අහිමි කර ගත්තා. මේ අඩුපාඩු නිසා බදු අයකිරීමේ සමස්ත ක්‍රියාවලිය බිඳවැටුණා. නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම මගින් මේ වැරදි සියල්ල නිවැරදි කළ යුතු වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණය දීමට පෙර අයවැය පරතරය අඩු කිරීම, සහනාධාර කප්පාදුව, යටිතල පහසුකම් වියදම් අඩු කිරීම, සේවක වැටුප් අඩු කිරීම ආදී නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඇතැම් නිර්දේශ දේශපාලන වශයෙන් අහිතකර වුවත් රට ගොඩනැගීමට නම් අමාරුවෙන් හරි ඒවාට අවනත විය යුතු වෙනවා. මෙතෙක් කල් අපේ ආණ්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට පසුබෑවේ එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම අපහසු නිසයි. එහෙත් දැන් ආමරුවෙන් හෝ එය කළ යුතු තැනට අප පත්ව තිබෙනවා.

ඊළඟ කාරණය වන්නේ 2022 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට වඩා අප රටේ තත්ත්වය විශාල වෙනසකට භාජනය වී තිබෙනවා. අද උද්ධමනය ජාත්‍යන්තර පිළිගැනීම් අනුව 120% ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි වී තිබෙනවා. භාණ්ඩ හිඟයක් පවතිනවා. සහල් ආදී රටේ නිෂ්පාදනවල හිඟයක් ඇතිවෙලා. ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල වැඩිවෙලා. කර්මාන්ත කඩා වැටී දේශීය නිෂ්පාදන බිඳවැටිලා. සේවකයන්ගේ රුකියා අහිමිවීම නිසා විශාල අසහනයක් නිර්මාණය වෙලා. ඒ නිසා මෙම පරිසරය අවබෝධ කරගෙන අයවැය සකස් කළ යුතු වෙනවා.

අපේ රටේ මේ දක්වා 12 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් තිබුණද, ඒ එක අවස්ථාවකදී හෝ අරමුදලේ කොන්දේසි ඉටුකිරීමට අපොහොසත් වුණා. ඒ නිසා පොරොන්දු වූ මුළු ආධාර ලබාගැනීමට අපහසු වී තිබෙනවා. ඒ අතීතයද අපට මෙවර අලුත් කොන්දේසි දැමීමට බලපා ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් කරා යොමුවීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.''

  යසවර්ධන රුද්රිගූ