2022 මැයි 08 වන ඉරිදා

පොහොට්ටුව මොකද කරන්නේ?

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 64

වියවුල් සහගත සංකීර්ණ දේශපාලන අර්බුද ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අපි කලින් කල අත්දැක ඇත්තෙමු. මෙවන් අර්බුද ඇතිවීම බල දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවයයි. කෙසේ වෙතත් මෙවර අප අත්දකිමින් සිටින දේශපාලන ආර්බුදය තරමක් සංකීර්ණය. එය ආර්ථික බිඳවැටීමෙහි ප්‍රතිඵලයක් මත ඇතිවූ මහජන විරෝධතා හමුවේ නිර්මාණය වූවකි. එම නිසාම වර්තමාන අර්බුදයේ පැතිකඩ රැසකි. එසේම මෙවන් අර්බුදයක් අප අත්දකින්නේ ඉතිහාසයේ පළමු වතාවටය. 

මෙම සටහනෙන් අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ මෙම අර්බුදයට මැදි වී සිටින ප්‍රධානතම පාර්ශ්වය පිළිබඳවයි. ඒ අනුව වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ තවදුරටත් ආණ්ඩු බලය දරමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනික භාවිතයන් මොනවාද? අපි එම භාවිතයන් සියුම්ව කියවා ගැනීමට උත්සාහ කරමු. මන්ද යත් වර්තමාන සංකීර්ණ අර්බුදය අවබෝධ කොට ගැනීමට මෙන්ම ඊට විසඳුම් සොයා ගැනීමට ද එහි ප්‍රධාන පාර්ශ්වයේ දේශපාලන භාවිතයන් නිසි ලෙස අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වේ.

බැලූ බැල්මට බලය දැරීම හෝ බලය අතහැරීම නම් සරල පිළිතුරු දෙක සලකුණු කළ යුතු සංකීර්ණ දේශපාලන ප්‍රශ්න රැසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හමුවේ මේ මොහොතේ ඇත. එහෙත් එම ප්‍රශ්න බහුවරණ ප්‍රශ්න නොවේ. ඒවා රසායන විද්‍යාවේ සහ වීජ ගණිතයේ එන සංකීර්ණ ගැටලු හා සමානය. එම නිසාම බලය සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හැසිරීම ද අතිශය වියවුල් සහගතය.

පක්ෂයක් ලෙස පොහොට්ටුව සන්ධාන ගතවී නිර්මාණය කරගත් ආණ්ඩුව මේ වන විට කොටස් කිහිපයකට කැඩී ගොස් තිබේ. බිඳී ගිය එම පිරිස් නැවත සිය යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ඉදිරිපත් කරමින් සිටිති. එහෙත් එම යෝජනා පිළිගැනීමට පොහොට්ටුවේ නායකත්වයට පහසු නැත. මන්ද ඊට ඔවුනට අනන්‍ය වූ හේතු තිබේ. ඒ අනුව පොදුජන පෙරමුණ නම් පක්ෂය වෙත ආණ්ඩු බලය රඳවා ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 113 ක සරල බහුතර බලය තමන් සතු බව ඔවුහු කියා සිටිති.

මේ අතර සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය තවත් පසෙකින් තිබේ. ඒවාට මුහුණ නොදී ඉවත්ව යාම නම් දේශපාලනික පරාජය ලැබීමට පක්ෂයක් ලෙස ඔවුන් සූදානම් ද නැත. පසුගියදා ඒ බව පැහැදිලිව පෙනී ගියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළා යැයි පැවසෙන ප්‍රකාශයක් හරහාය. තමා විශ්වාසභංගයට බියේ ඉවත් නොවන බවත් තමා විශ්වාසභංගය ජයග්‍රහණය කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබුණි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණු කණ්ඩායම් රැස්වීම්වලදී ආණ්ඩුවෙන් ඉවත්ව යාම පිළිබඳව ද මැති ඇමැතිවරුන් කිහිප දෙනකු දිගින් දිගටම අදහස් දක්වා තිබුණි. ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යාම ඇතැමකුගේ යෝජනාව වූ අතර ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ එකතුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවීම පිරිසකගේ අදහස විය. ඒ අනුව විපක්ෂයට ගොස් වසර කිහිපයකින් නැවත ආණ්ඩු බලය ලබා ගත හැකි බව පිරිසක් දැඩිව විශ්වාස කරති. කෙසේ වෙතත් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවිය යුතු බව දැඩිව කියා සිටින ප්‍රබලයන් රැසකි.

අගමැතිවරයා ඉවත් නොවිය යුතු බව කියා සිටින මෙම පිරිස හට සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංගය හොඳ හේතුවක් වී තිබේ. විශ්වාසභංගය ජය ගැනීමට අවශ්‍ය මන්ත්‍රී කණ්ඩායම සොයාගත හැකි බව ඔවුහු අග්‍රාමාත්‍යවරයාට දිගින් දිගටම අවධාරණය කරමින් සිටිති. විශ්වාසභංගයක් හමුවේ ඉවත්ව යාම මහින්ද රාජපක්ෂ නම් පරිණත දේශපාලනඥයාට තරම් නොවන බව ඔවුහු පැහැදිලි කරති. පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට අවශ්‍ය පිරිස සොයා දීමට සූදානම් බව මෙම කණ්ඩායම දිගින් දිගටම පවසයි. බහුතරය පෙන්වන අයකුට බලය ලබා දී ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා පවසනුයේ මෙම පිරිස පිළිබඳ විශ්වාසයෙන් යැයි ද දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවෙයි.

කෙසේ වෙතත් කළමනාකරණය කරගත නොහැකි මහජන විරෝධතා සහ ආර්ථික ගැටලු පොහොට්ටු ආණ්ඩුව හමුවේ තිබේ. අන්තර්වාර සර්ව පාක්ෂික පාලනයක් පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා සඳහා නිසි එකඟතාවක් ද මේ වන තුරු නිර්මාණය වී නොමැත. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එම යෝජනාව මේ වන විටත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ සඳහා යම් සාධනීය ප්‍රවේශයකින් කටයුතු කරනුයේ ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පමණි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගැනීමයි. මේ හරහා දේශපාලන අර්බුදය යළි යළිත් සංකීර්ණ වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්වාර පාලනයක් සඳහා සිය එකඟතාව පළ කළ බව ද මෙහිදී සඳහන් කළ යුතුය. ඒ සඳහා පක්ෂ අතර එකඟතාවක් ගොඩනගා ගැනීමේ වගකීම ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට පැවරී තිබේ. ඔවුහු මේ දිනවල දේශපාලන පක්ෂ සමඟ දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් සිටිති. මෙම සාකච්ඡා තුළ දේශපාලන එකඟතාවක් නිර්මාණය වේද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ. එකඟතාවක් නිර්මාණය වුවද පැහැදිලිවම ඒ සඳහා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායම සිය විරෝධය ගොනු කරනු ඇත.

පොදුජන පෙරමුණු ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් ඉදිරි වසර දෙක ද බලය දැරීම එම පිරිසේ අරමුණයි. ඒ සඳහා 113ක පාර්ලිමේන්තු බහුතරය තමන් වෙත රඳවා ගැනීම සඳහා මෙම කණ්ඩායම පෞද්ගලිකව මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කිරීමට පටන්ගෙන ඇති බවට තොරතුරු තිබේ. යම් දේශපාලනික ගනුදෙනුවක් සඳහා මෙම පිරිස සූදානම් වෙති. ඉදිරි මාස දෙකක පමණ කාලය තුළ විදුලි සහ ඉන්ධන ගැටලු විසඳීම හරහා මහජන විරෝධතා කළමනාකරණය කොට ආණ්ඩුව පවත්වාගෙන යා හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් තත්ත්වය ඉතා සංකීර්ණය. ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ ඉතා කෙටි කලක් තුළ ආණ්ඩු බලය ලබාගත් පළමු දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉරණම කුමක්ද? සැබවින්ම එය පිළිතුරු නොමැති පැනයකි. ඔවුන් ඉදිරියේ දී ගනු ලබන තීරණ මත එම පක්ෂයේ අනාගතය තීරණය වනු ඇත. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ඉහළම දේශපාලන බලයක් දැරෑ මෙම දේශපාලන පක්ෂය මුහුණ දෙන අර්බුද හමුවේ ප්‍රත්‍යක්ෂ වන එක කරුණකි. අධික බලය විනාශයට මුල වන බවය.

 චමිඳු නිසල් ද සිල්වා