
ගෝල්ෆේස් එකෙන් තීව්‍ර වූ අරගලය දැන් දැන් වෘත්තීමය අරගලයක් දක්වා ඉහළ ගොස්ය. දැන් සටනට එකා දෙන්නා එකතු වෙන්නේ කිසිම දිනක බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරද සමඟය. ඊට හොඳම උදාරණය වන්නේ පසුගිය විසිඅටවැනිදා දීපව්‍යප්ත මට්ටමින් පැවැති වර්ජනය සහ උද්ඝෝෂණයයි.
වෘත්තීය සමිති 1000 කගේ එකතුවෙන් ඇරඹි එම වර්ජනය සඳහා රාජ්‍ය සේවයේ සේම පෞද්ගලික අංශයේද බොහෝදෙනා එකතුවීම පුදුම සහගත දෙයක් විය. විශේෂයෙන් අදහාගත නොහැකි දෙය වුණේ වෙළඳ කලාපවල සේවකයන් එළියට බැසීමය. ඔවුන් දිනයක් වැඩ වරා පාරට පැමිණ සිය විරෝධය ආණ්ඩුවට එල්ල කළේය.
විශේෂයෙන් බැංකු සේවකයන්, රාජ්‍ය ආයතනවල කණ්ඩායම් පමණක් නොව කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දෝද ඒ සඳහා සහභාගි වූහ. දුම්රිය වැඩ වර්ජනය සිදුකරන බව කීවත් පෞද්ගලික සහ රජයේ බස් වර්ජනයක් සිදු නොවන බව ප්‍රකාශ විය. එහෙත් දහවල් වනවිට බස් ධාවන 50්% දක්වා පහළ වැටිණි.
කෙසේ වෙතත් අවසානයේ එදින ගෝල්ෆේස් පිටිය සම්පූර්ණයෙන් වෘත්තීය අරගලකරැවන්ගෙන් පිරී ගියේය. එපමණක් නොව මාතර, තංගල්ල, අනුරාධපුර, කොග්ගල, කටුනායක, මහනුවර වැනි ප්‍රදේශද මහා ජනතාවකගෙන් පිරී ඉතිරී ගියේ ඉතිහාසයේ දැවැන්තම වෘත්තීය අරගලයක් ලෙස සනිටුහන් වෙමිනි.
මේ අතර ගෝල්ෆේස් අරගල භූමියේදීම තවත් යෝජනාවක් වෘත්තීය සමිති විසින් ගෙන එනු ලැබීය. ඒ ලබන මැයි 6 වැනිදා රටපුරා හර්තාලයක් සිදුකිරීමටය. ඒ සඳහාද වෘත්තිය සමිති විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇත.
මේ අතර ගෝල්ෆේස් අරගල භුමිය ක්‍රමයෙන් දැන් දැන් පුළුල් වන්නට පටන්ගෙන ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ අරගලකරැවන් පිරිසක් මේ වනවිට අරලියගහ මන්දිරය ඉදිරිපිටටද පැමිණ තිබීමය. ඔවුහු කූඩාරම් ගසා ගනිමින් එම ස්ථානයේ උද්ඝෝෂණයක් ආරම්භ කරන්නට වූහ. එහෙත් ඊට පොලීසිය කැමැත්ත පළ කරේ නැත. ඒ අනුව පොලීසිය ඊට පසුදින අධිකරණය වෙත ගියේය. ඒ වාරණ නියෝගයක් ලබාගැනීම සඳහාය. එහෙත් ඊට අවසරයක් අධිකරණයෙන් ලැබුණේ නැත. මේ නිසාම පොලිස් නිලධාරීහු ඊට පසුදින ඔවුන්ගේ බස් රථ රුගෙන අරලියගහ මන්දිරය පදික වේදිකාව හරස් කර වසා දැමූහ. ඒ උද්ඝෝෂකයන්ට බාධාවන ලෙසය. එහෙත් උද්ඝෝෂකයන් එය මායිම් කළේ නැත. ඔවුහු ඒ අසල ඉඩ ප්‍රමාණය අනුව උද්ඝෝෂණය නැවතත් පටන් ගත්හ. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා නැවතත් උද්ඝෝෂකයන් එළවා දැමීම සඳහා පොලීසිය උත්සාහ ගත්තේය. අවසානයේ එම ස්ථානයේ ගැටුමක් ඇතිවෙන්නට ගියද ප්‍රශ්නය ඉතාම සාමකාමීව විසඳා ගත්තේ නැවතත් උද්ඝෝෂණය ආරම්භ කරමිනි.
මේ වනවිට ගෝල්ෆේස් අරගල භූමිය හා සමාන අරගල ස්ථාන රටපුරා ඇති වෙන්නට පටන් ගෙන තිබේ. ඒ සියල්ලම ගෝල්ෆේස් අරගලය ශක්තිමත් කිරීම සඳහාය. කෙසේ වෙතත් ඇතැම් ස්ථාන සඳහා පොලීසියෙන් ඉඩ ලබාදී තිබුණේ නැත.
මේ අතර අරගලකරැවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැට වසා තිබුණු විරෝධතා පුවරැ පසුගියදා යුද හමුදාවෙන් ඉවත් කරන්නට විය. එය අරගලකරැවන් කලබල වන්නට වූ සිදුවීමක් වූ අතර මෙලෙස හදිසියේ මාධ්‍යවේදීන් සිහිකර පළකර තිබූ පුවරු ඉරා දැමීම කාටත් ප්‍රශ්නයක් විය. කෙසේ වෙතත් මේ අවස්ථාවේ විශේෂ කාර්ය බළකාය යම් ගැටලුවක් ඇති වුවහොත් එය මර්දනය කිරීමට සූදානම්ව සිටියේය. එහෙත් ඒ මොහොතේ ඒ අසල සිටි හිමිනමක් අරගලකරැවන් එම ස්ථානයෙන් රුගෙන යාමට කටයුතු කළේය.
කෙසේ වෙතත් මෙම අරගලය පසුගිය 28 වැනිදා දින 20 පසු කළේය. මේ වනවිට අරගල භූමිය ඉන් පිටට ගොස් සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඇත. ඕනෑම විරෝධතාකරැවකුට සාමකාමීව තම විරෝධය සිදුකිරීමේ නිදහස ලබාදී තිබුණු අතර ඇතැම් පිරිස් යම් ගැටලුකාරී දෙයක් සිදුකළහොත් ඔවුන් පොලීසියට බාරදෙන්නට කටයුතු කෙරිණි.
මේ වනවිට ගෝල්ෆේස් අරගල භුමිය තවමත් ඉතාම ශක්තිමත්ව පවත්වාගෙන යන අතර ඒ සඳහා විවිධ සංවිධාන කණ්ඩායම් නිරන්තර ලබාදෙන සහාය එයට හේතුවක් වී ඇත. එම ස්ථානයේ පවත්වන සංගීතමය අවස්ථා, නාට්‍ය, සංවාද කතාබහ මේ සියල්ල ගෝල්ෆේස් අරගල භූමිය ශක්තිමත් කරන පෝෂණය කරන අවස්ථා වී තිබේ. ඒ නිසා ගෝල්ෆේස් එන යන ඕනෑම කෙනකුට අරගල භූමියකට එහා ගිය වෙනස් දෙයක් දැක ගැනීමේ හැකියාව තිබේ. කෙසේ වෙතත් තවමත් මෙය විරෝධතාවක් නොව කානිවල් එකක් යැයි කියන්නෝද නැතුවාම නොවන බවද කිවයුතුමය.
■ ගයාන් ගාල්ලගේ