2022 මැයි 01 වන ඉරිදා

වෛද්‍ය සංගම් සටන් බිමට බසී!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 57

රටපුරා පැතිර යන අරගලයට මේ වනවිට විවිධ ක්ෂේත්‍රවල පිරිස එක්ව සිටිති. දැන් රටේ වෛද්‍ය සංගම්ද රට සහ ජනතාව පත්ව ඇති මේ සමාජ ආර්ථික ව්‍යසනය ‌හේතුවෙන් සහනය පතා රජයට ඉක්මන් විසඳුමක් ඉල්ලා බලපෑම් කරමින් සිටිති.
ඒ අනුව ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම තනතුරුවලින් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත්කළ යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කීවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සිය සාමාජිකයන් කරන ලද ඉල්ලීම් මත එම තීන්දුව ගත් බවය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉකුත් වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉහත තීන්දුව ඒකමතිකව සම්මත කරගත් බවද ඔහු පැවසීය ඒ අනුව ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරුවලින් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත්කළ යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

ඔවුන් මේ තීන්දුව ගෙන ඇත්තේ මේ පවතින නිර්දේශපාලනික අරගලය ජාතික වශයෙන් වැදගත් අවස්ථාවක් ලෙස සලකමිනි. 

ඒ සංගමයේ මාධ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය දයාසේන පෙන්වා දුන්නේ රට දැනට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයත් ඒ හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාවත් යන කාරණා වහාම සමනය කිරිමට ගත යුතු මේ පියවර සම්බන්ධයෙන් වූ නීතිමය පසුබිම නොදන්නා නමුත් රටේ ජනතාවගේ යහපත උදෙසා මේ ඉල්ලීම ඉදිරිපත් කළ බවය.

එසේම වර්තමාන අර්බුදයෙන් රට ගොඩනැගීමට වහාම ගත යුතු ක්‍රියාමාර්ග 04ක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කර තිබේ. එහි පළමුවැන්න වන්නේ ඉක්මන් දේශපාලන ක්‍රියාවලියක් මගින් ස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් පිහිටුවීමට කටයුතු කිරීමය. එමෙන්ම සියලු දේශපාලන පක්ෂවල එකමුතුවක් මගින් අන්තර් පාලන රජයක් ස්ථාපිත කළයුතු බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

එම අන්තර්වාර කැබිනට් මණ්ඩලය සාමාජික පුද්ගලයන් 15 කට අඩු සංඛ්‍යාවකට සීමා විය යුතු බව එම සංගමයේ ස්ථාවරයයි. රටේ මුදල් කළමණාකරණය පිළිබඳ කෘතහස්ථ දැනුමක් ඇති අයෙකු මුදල් අමාත්‍ය ධූරය සඳහා පත්කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවතින අර්බුදයට විසඳුමක් ලෙස ඇති කරනු ලබන ඕනෑම තාවකාලික යාන්ත්‍රණයක (අන්තර්වාර රජයන්/ සභාග රජය/ සර්ව පාක්ෂික ආණ්ඩු) මූලික අවශ්‍යතාවය රට ස්ථාවර කිරීම සහ දූෂණය පිටු දැකීම වන බැවින් සෞඛ්‍ය ඇතුළු කිසිදු අමාත්‍යාංශයකට දූෂිත හෝ දූෂණ චෝදනාවලට ලක් වූ තැනැත්තෙක් පත් නොකරන ලෙස ඉල්ලමින් විරෝධයට එක්ව සිටියහ.

වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමණාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව මුහුණදෙන දරුණු ආර්ථික, සමාජයීය, සෞඛ්‍ය හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීම සහ රට ස්ථාවර කිරීම සඳහා වර්තමාන රජයත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා විපක්ෂ සියළු දේශපාලනඥයනුත් අසමත් වී ඇති බව   සංගමය කියයි.

මේ සම්බන්ධයෙන් විරෝධතාව පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජ කරවූ මර්දනකාරී ආණ්ඩුව ජනමතයට හිස නවනු” යන තේමාව යටතේ රට පුරා උද්ඝෝෂණ මාලාවක් මේ වනවිට  ක්‍රියාත්මක කරමින් පවතියි. එම විරෝධතාවය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සමිති මගින් කලින් සැලසුම් කරගත් පරිදි රටපුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී අනෙකුත් වෘත්තීය සමිති විසින් ගෙන යන විරෝධතා සමඟ සහයෝගයෙන් සහ සමගාමීව කටයුතු කිරීමට එම ශාඛා සමිති කටයුතු කරනු ඇත.

සියලු ජනතාවාදී අරගලවලදී ඊට සහය දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොත වනවිට අතිශය පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරමින් වැඩවර්ජනයක නිරත නොවුණද රජයට එරෙහි විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කියයි. රජය මෙම විරෝධතාවලට සවන්දීමට සූදානම් නොවන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යමකාරක සභාව තීරණය කරන්නට ඉඩ ඇති බව ඔවුන් අණතුරු අඟවා තිබේ.

එමෙන්ම පවතින අර්බුදයට විසඳුමක් ලෙස ඇති කරනු ලබන ඕනෑම තාවකාලික යාන්ත්‍රණයක (අන්තර්වාර රජය/ සභාග රජය/ සර්ව පාක්ෂික ආණ්ඩුව) මූලික අවශ්‍යතාව රට ස්ථාවර කිරීම සහ දූෂණය පිටු දැකීම වන බැවින් සෞඛ්‍ය ඇතුලු කිසිදු ආමාත්‍යාංශයකට දූෂිත හෝ දූෂණ චෝදනාවලට ලක්වූ අය පත් නොකරන ලෙස සියලු පක්ෂවලින් ඉල්ලා සිටින අතර එසේ නොවුනහොත් ජනතා අරගලයට සැබෑ විසඳුමක් නොලැබෙනවා මෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ලෙසකින් නොපැකිලෙන බව අවධාරණය කර තිබේ.
    
■  සුගත් පී. කුලතුංගආරච්චි