ජාතික හැඳුනුම්පත යනු තමන්ගේම කැඩපතකි. තමන්ට කැමති නමක් භාවිත කිරීම තමන්ගේ මූලික අයිතිවාසිකමකි. එය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති නිදහසකි. වර්ෂ 1971 වසරේ සිට මෑතක් වනතුරුම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වූයේ කුඩා කල සිට තිබූ පුද්ගල අනන්‍යතාවට එනම් උප්පැන්නය අනුව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමයි. අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න නීතියෙන් බලය ඇත්තේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවටය. එහෙත් තමන්ට කිසිසේත් අදාළ නැති කාර්යයක් සිදුකරනවිට එයට අපේ ගැමියන් පවසනුයේ අනුන්ගේ ළමයින්ට උප්පැන්න හදනවා යනුවෙනි. මේ කියන්නට යන්නේ ඒ වගේ කතාවකි. සිංහල හෝඩියේ අකුරක් මානව හිමිකම් කොමිසමට ගිය අවස්ථාවකි.
උප්පැන්න සහතිකයේ නම - සස්නි ආර්්‍යා සමරවික්‍රම
හැඳුනුම්පතේ නම - සස්නි ආර්යා සමරවික්‍රම
මෙම ප්‍රශ්නය කුමක්ද? ඒ පිළිබඳව අපි සොයා ගියෙමු. එහිදී මෙම කනගාටුදායක සිදුවීමට පාත්‍ර වූ බව කියන දැරියගේ මව වන ප්‍රවීණ රංගන ශිල්පිනී උදයකුමාරි රණසිංහ මහත්මිය මෙසේ හඬ අවදි කළාය.
“මෙම සිදුවීමට මුහුණ පාන්නට වෙද්දී දුවට අවුරුදු 15යි. ඒ වනවිට දුව අ.පො.ස සාමාන්‍ය පෙළට මුහුණ දෙන්න ආසන්නයේ සිටියේ. මගේ දුවගේ නම සස්නි ආර්්‍යා සමරවික්‍රම. එහෙත් හැඳුනුම්පතේ ආර්්‍යා වචනය සඳහන් වෙන්නේ ආර්යා විදිහටයි. ඒත් උප්පැන්නෙ හැටියට මේ නම වැරදියි. පාසලෙන් කියා තිබුණා උප්පැන්නයෙයි හැඳුනුම්පතෙයි නම වෙනස් නිසා එය හදාගෙන එන්න කියලා. මායි දුවයි පුද්ගලයන් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියවිට එහි වැරදි නිවැරදි කිරීමේ අංශයට අප යොමුකළා. එම අංශයේ නිලධාරිනියන් කිහිපදෙනකු සිටියා. එහි සිටි නිලධාරිනියන් පැවසූයේ යංශය නෑ කියාය. යංශය නෑ කිව්වාම මම යංශයක් ගෙදරින් ගෙනත් දාගන්නද? මට කිව්වේ මෙය දැන් නිවැරදි කළ නොහැකි බවත් කළ හැකි දේ උප්පැන්නය වෙනස් කිරීම පමණක් බවයි. ඔවුන් කියන්නේ ර් යන්නට පසුව යංශය යොදන්න බෑ කියාය. ඔවුන් ළඟ තිබෙන ජාල පද්ධතියේ එය කිරීමට නොහැකි බවත් ඔවුන් පැවසුවා. පුද්ගලයන් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එකල කොමසාරිස් ජනරාල් මුණගැහෙන්න මම ගියා. එවිට කිසිත් නොවිමසා ඔහුත් පැවසුයේ මෙය රීතියට පටහැනියි. කරන්න බෑ කියලා. ඇයි සර් මේක කරන්න බෑ කියන්නේ කියා මම නැවත නැවත ඔහුගෙන් ප්‍රශ්න කළා. එවිට ඔහු ඔහුගේ පෞද්ගලික සහකාර අමතා පැවසුයේ නැවත ආර්යා, තූර්යා වැනි නාම යොදන්න දෙන්න එපා කියලා මාලිගාවත්තට කියන්න කියලා. ඊටපස්සේ මට කිව්වා හැඳුනුම්පතේ සිටින්නේත් දුවමයි කියලා ලියුමක් දෙන්නම් කිව්වා. මම ඒ වෙලාවෙත් කිසිවක් හිතාගන්න බැරුව ලොකු පීඩනයක සිටියේ. ඒ නිසා මම ඒක බාරගත්තා. ඊටපස්සේ මට ඒ ලියුම ගහපු අංශයෙන් කිව්වා ඔවුන්ට ලියුම ගහගන්නවත් ඒ විදිහට යංශය නෑ කියලා. දරුවා විභාගයට මුහුණ දුන්නේ ගුවන්ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් ඒක නොතිබුණා නම් දරුවාට විභාගයට මුහුණ දෙන්න බැරුව යනවා. මා කියන්නේ මෙය නිවැරදි කරන්න ඕනෑ මෙතැනදී නොවෙයි උපතේදී. උපතේදී නිවැරදි වෙන්න ඕනෑ. දරුවා උපතේදී නම ලියාපදිංචි කළේ මාලිගාවත්තේදී. ඉතින් මෙහිදී මා කියන්නේ මෙය නිවැරුදි විය යුතුවන්නේ දරුවා ඉපදිලා නම යොදන අවස්ථාවේ මිසක දරුවාට හැඳුනුම්පත සෑදීමේදී නොවෙයි. අවුරුදු 16ක් දරුවාගේ අනන්‍යතා ලේඛන, අධ්‍යාපනික ලේඛන, හිමිකම් ලේඛන, සහතික, සම්මාන ආදී සියලුම දේ සැකසී තිබෙන්නේ උප්පැන්නයේ ඇති ආකාරයටයි. අවුරුදු 16න් පසුව උප්පැන්නය වෙනස් කිරීමෙන් දරුවා ඒ වෙනුවෙන් ගත් සියලුම ලේඛනවල හිමිකම ගැන බරපතළ ප්‍රශ්නයක් මතුවෙනවා. මා වගේම මෙම ප්‍රශ්නයට මුහුණ දුන් අනෙක් මවුපියන් මෙවැනි අවස්ථාවකදී කුමක් කළේද යන්න සම්බන්ධයෙන් මා විමසුවා. එවිට මට වැරදි නිවැරදි කිරීමේ අංශයේ සිටි නිලධාරිනියන් පැවසූයේ අනෙක් අය අපි කිව්වාම උප්පැන්නය වෙනස් කරගෙන ආවා කියාය. මෙය ඕනෑ කෙනකුට බොහොම පහසුවෙන් කියන්න පුළුවන් වුණත් මෙය ඒ කියන තරමට පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි. මට වෙන කිසිම පිහිටක් නොවූ නිසා මා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දැම්මා. නමක් වැරුද්දීම හේතුවෙන් ලංකාවේ පළමුවරට මානව හිමිකම් කොමිසමට ගිය නඩුව මෙය වෙන්න ඇති. මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට මෙම සිදුවීමට වගඋත්තර බැඳීමට කැඳවීම් පවා සිදුකරා. මගේ දුවට සිදුවූ අසාධාරණය වෙනුවෙන් මානව හිමිකම් කොමිසම මට ශක්තියක් වුණා. මේ අවස්ථාවේදී මානව හිමිකම් කොමිසම මේ අසාධාරණය වෙනුවෙන් ගොඩාක් කැපවීමෙන් කටයුතු කරනවා” යැයිද උදයකුමාරි රණසිංහ මහත්මිය පැවසුවාය.
දරුවන්ට නම් තැබීමේදී ව්‍යාකරණ රීති පිළිබඳ සැලකිය යුතුද යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ කීය.
“නම් තැබීමේදී ව්‍යාකරණ රීති කිසිසේත් අදාළ වෙන්නේ නෑ. බොහෝදෙනා කරන එකම දේ සුදුසු ගණ පිහිටුවා නම් තැබීම. එයත් කාව්‍ය ශාස්ත්‍රයට අදාළ පැනනැගි කාරණයක් මිසක් නම් තැබීමට ආ දෙයක් නොවේ. කෙසේ වෙතත් නම් තැබීමේදී ව්‍යාකරණ රීති අදාළ වෙන්නේ නෑ. එහෙත් සම්මත ව්‍යාකරණ රීති හැකිතරම් රැකීම වටිනවා.”
දරුවන්ට නම් තැබීමේදී යොදන නම භාෂා රීතිවලට අනුගත විය යුතුම යැයි නීතියක් තිබේද? මෙරට නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති, ශ්‍රීපාලි මණ්ඩපයේ වත්මන් මණ්ඩපාධිපති ජ්‍යෙෂ්ඨ නීතිවේදී ප්‍රතිභා මහානාමහේවා මහතා මෙසේ අදහස් දැක්වීය.
“මාගේ තර්කය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12/2 වගන්තියට අනුව ඕනෑම පුරවැසියකුට තමන්ගේ වර්ගය, ආගම, භාෂාව අනුව ඕනෑම නමක් භාවිත කිරීමේ පූර්ණ නිදහස හිමිවෙනවා සේම පූර්ණ අයිතියක් තිබෙනවා. ඒ වගේම ඒ නිදහසට ගරු කළ යුතුයි. එහෙත් ඒ යොදන නම පරිගණකගත කිරීමේදී එයට ඇතුළත් කරන්න හැකිදැයි ප්‍රශ්නයකුත් තිබෙනවා. එය එසේ කළ නොහැකි නම් ඉහත වගන්තියට අනුවම ඔහු හෝ ඇය වර්ගීකරණයකට ලක්කිරීමටත් ඔහුට හෝ ඇයට විශේෂත්වයක් කරන්නත් බෑ. මෙතැන තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එම තාක්ෂණික ගැටලුව අදාළ ආයතන මැදිහත් වීමෙන් නිරාකරණය කර ගත යුතුයි. කළ යුතු වන්නේ නම ඇතුළත් කිරීමට බෑ කියනවාට වඩා කුඩා කල පටන් භාවිත කළ නාමය පරිගණකගත කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීමයි. මෙවැනි ප්‍රශ්නයකදී උප්පැන්න සහතිකයේ නම් දරන පුද්ගලයාත් හැඳුනුම්පතෙහි නම් දරන පුද්ගලයාත් දෙදෙනකු නොව එකම අයකු බවට සනාථ කරමින් ලිඛිතව ලබාදීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙනවා” යැයිද ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.
මේ තරමට තාක්ෂණය දියුණු රටක පරිගණක අකුරු පද්ධතියක යන්ශය අක්ෂරය පිළිබඳ පැටලැවිල්ලක් වූයේ කෙසේදැයි පුදුම සහගතය. රාජ්‍ය අංශයේ පරිගණක වැඩසටහන් පද්ධති නිමැවුම් සිදුකරන ප්‍රධානතම වගකියන රජයේ ආයතනය වශයෙන් සැලකෙනුයේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි.
මෙම තාක්ෂණික පටලැවිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂඥ තාක්ෂණික ඉංජිනේරුවන්ගෙන් අපි විමසීමක් කළෙමු. එහිදී තාක්ෂණික ඉංජිනේරුවන් සම්බන්ධීකරණය කරමින් එම ආයතනයේ තොරතුරු නිලධාරී ජගත් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.
''සිංහල භාෂාවෙන් යුනිකෝඩ් පද්ධති ක්‍රමය පරිගණක ජාල ගත කිරීමට අප ආයතනය ප්‍රමුඛ සහායක් ලබාදී තිබෙනවා වගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා එක්ව මේ වනවිටත් ඩිජිටල් හැඳුනුම්පත් (ඒකීය ඩිජිටල් අනන්‍යතා) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටී. මෙම ගැටලුවට පාදක වී ඇති කාරණය යුනිකෝඩ් පද්ධතියේ වරදක් නොවේ. සිංහල භාෂාව පරිගණක කොට ඇත්තේ භාෂා රීති අනුවයි. සිංහල භාෂාවේ අතාර්කික වචන පරිගණක ගත කිරීමේදී මෙවැනි ගැටලු මතුවෙයි. එහෙයින් මෙම නාමය භාවිතය සඳහා වෙනත් සුදුසු විකල්පයක් මගින් මෙයට අවස්ථාව ලබාගත හැකිය. මේ සම්බන්ධයෙන් අප ආයතනය විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යෝජනා ඇතුළත් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.'' යැයිද හෙතෙම කීය.
උදය කුමාරි රණසිංහ මව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි අංක HRC/1338/19 යටතේ ගොනු කරන ලද පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට වගඋත්තරකාර පාර්ශ්වය වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා වෙත 2020.08.21 වැනිදා සිතාසි නිකුත් කර ඇත.
පැමිණිල්ලට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාවේදී සාකච්ඡා කරන ලද යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ. එසේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් කරුණු දක්වා ඇත.
මේ එක් සිද්ධියක් පමණි. මෙවැනි ප්‍රශ්නවලදී මවුපියන් කෙතරම් අපහසුතාවට ලක් වෙනවාද? මෙවැනි අසාධාරණකම් ඉවසා උණගස් වගේ දරාගෙන නිහඬව සිටින්නෝ තව කෙතරම් මේ ලංකාවේ සිටිත්ද? යන්න අප හමුවේ තිබෙන ප්‍රශ්න කිහිපයකි.
මේ පටලැවිල්ල සම්බන්ධයෙන් කළ විමසීමේදී පුද්ගලයන් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා මෙසේ පැවසීය.
“මෙම සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට අපේ ආයතනයෙනුත් කරුණු දැක්වූවා. ඉන්පසු කරුණු අවබෝධ කර ගැනීමෙන් සිදුවීම සමථයකට පත්වුණා. අපි රජයේ සෑම ආයතනයකම පොදුවේ භාවිත කරන්නේ රජයෙන් චක්‍රලේඛ මගින් නිර්දේශ කර තිබෙන “යුනිකෝඩ්” පරිගණක අකුරු පද්ධතියයි. සිංහල භාෂාව සම්බන්ධයෙන් විද්වත් කමිටුවක උපදෙස් මත සිංහල ව්‍යකරණානුකූලව මෙය තනා ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන්. මේ සිදුවීමට පාදක වී තිබෙන්නේ සිංහල රීතියට පරිබාහිර වචනයක් පරිගණක ගත කිරීමේදී මතුවූ තාක්ෂණික ප්‍රශ්නයක්. යුනිකෝඩ් හදා ඇත්තේ සිංහල ලේඛන රීතිය අනුවයි. මෙවැනි ගැටලුකාරී අවස්ථාවල යුනිකෝඩ් අකුරු පද්ධතිය වෙනස් කිරීම හෝ වෙනත් විකල්පයක් ඕනෑ. අපි මෙය උත්සාහ කළත් තාක්ෂණික ප්‍රශ්නයක් එනවා. මා පෞද්ගලිකව විශ්වාස කරනවා එකම කාරණයකට රජයේ දෙපාර්තමේන්තු දෙකකින් පරස්පර විරෝධී අදහස් දැරීම යුක්තියුක්ත නැති බව. උප්පැන්න සහතිකය අතින් ලියද්දී මෙවැනි ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ. මෙය තාක්ෂණිකව පරිගණක ගත කිරීමට යාමේදී ප්‍රශ්නයක් මතුවෙනවා. දරුවාගේ පැත්තෙන් අසාධාරණයක් වී තිබෙන බව පිළිගන්නවා. මින්පසු මෙවැනි ප්‍රශ්නකාරී තත්ත්වයකදී සැලකිලිමත් වන ලෙස දන්වා මා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ලිපියක් යවා තිබෙනවා. මින් ඉදිරියට සියලුම කාර්යයන් පරිගණක ගත කිරීමේදී අපටත් ඒ අනුව හැඩගැහෙන්න සිදුවෙනවා” යැයිද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
සිංහල හෝඩියේ අකුරක් මානව හිමිකම් කොමිසමට ගිය පළමු අවස්ථාව මෙය වෙයි. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යනු රජයේ ආයතනයකි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් රජයේ ආයතනයකි. මෙම ආයතන දෙක අතර සහසම්බන්ධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වුවත් මෙයට පෙර එවැනි තත්ත්වයක් නොතිබූ බව මෙම සිදුවීමෙන් පැහැදිලි වන අවිවාදිත කරුණකි. වර්තමානයේ ආයතන ප්‍රධානීන් එම සහසම්බන්ධය ඇතිකරගෙන තිබීම අනාගතයේ මෙවැනි ගැටලු ඇති නොවීමට පිටිවහලකි. එය සතුටට කරුණකි. දරුවකුට ඇත්තේ එක නාමයකි. එය උපතේ සිට ජීවිත කාලයටම එසේමය. ඇතැම් දේශපාලකයන් වාසිවලට නම් මාරුකළාට සිවිල් පුරවැසියන්ට ඇඳුම් මාරු කරන්නා සේ නම් මාරු කිරීමට වුවමනා නැත. එහෙයින් යම් දරුවකු අවුරුදු 15ක් තිස්සේ භාවිත කළ නාමය සාධාරණ නොවන හේතුවකට වෙනස් කිරීමට සක්කරයාට තබා වයිමාටවත් නොහැකිය. රජයේ ආයතනවලට අවශ්‍ය විදිහට නම් වෙනස් කිරීමට හැකි නම් අරිසෙන් අහුබුදු වැනි මෙරට සිටි සහ සිටිනි විෂය ප්‍රවීණ විද්වතුන් කුමකටදැයි? මතුවන්නේ ප්‍රශ්නයකි.
සසංක චලන ගිම්හාන