2022 මැයි 01 වන ඉරිදා

විශ්වාසභංගය අද නොවේ: හෙටත් නොවේ...!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 161

මේ වනවිට රටේ වැඩිම කතා බහ සිද්ධවන්නේ දේශපාලන භූමිය ගැනය. අරගල භූමිය පුරවැසියාට දැන් හුරුපුරුදු තැනක් වීම නිසා පුරවැසියන් අවධානයෙන් ඉන්නේ දේශපාලන භූමිය තුළ කුමක් සිදුවේද යන්න ගැනය. කෙසේ වෙතත් දේශපාලන භූමිය වෙත අරගල භූමිය හරහා ජනාධිපතිවරයා ඉවත්ව යායුතු බව බවට ජනතා විරෝධය ගොඩනැගුණත්, දේශපාලන භූමිය තුළින් ඒ වෙත ගෙන ආ ආදේශකය වන්නේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් කරන විශ්වාසභංගයයි. දේශපාලන භූමියේ දැන් බහුතරයකගේ මතය වී ඇත්තේ පවතින අලකලංචියටත්, අර්බුදයටත්, අරගලයටත් එකම සහ ළඟම විසඳුම විශ්වාසභංගයක් ගෙන ඒම බව කියාය.

මෙම විශ්වාසභංගය ගෙන ඒමේ අභියෝගය බාරගත්තේ සමගි ජනබලවේගය විසිනි. සමගි ජනබලවේගය කෙසේ වෙතත් එහි මූලිකත්වය ගත්තේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර විසින්ය. ආරම්භයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙයට විරුද්ධ වූ අතර ඔහුගේ තර්කය වූයේ යම් ආකාරයකින් විශ්වාසභංගය පරාජය වුවහොත් ආණ්ඩුව නැවත ශක්තිමත් වන බවත් එසේ ශක්තිමත් කිරීමේ චෝදනාව විපක්ෂයට දරන්නට සිදුවන බවත් කියාය. එය ඇත්තය. එනම් විශ්වාසභංගය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක නියෝජනයක් අවශ්‍යමය. එසේ නොවුණහොත් විශ්වාසභංගය පරාජය වනු ඇත. කෙසේ වෙතත් ඒ වනවිට ආණ්ඩුවෙන් එළියට පැමිණ සිටියේ ශ්‍රීලනිපය, විමල් කණ්ඩායම, ගම්මන්පිල, වාසු ඇතුළු පක්ෂ 11 පමණි. ඒ නිසා ඒ සංඛ්‍යාව මත විශ්වාසභංගයක් ගෙන ඒම අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේ වෙතත් සජබයේ පිරිස ජන අරගලයට සමගාමීව විශ්වාසභංගයක් පමණක් නොව ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට තීන්දු කර තිබුණේය. එහෙත් ඊට විමල් සහ ගම්මන්පිල ඇතුළු පිරිසක් සහාය ලබා නොදෙන බව දැනුම් දීමත් සමඟම දෝෂාභියෝගය හිමිහිට යට ගියේය. ඒ හේතුවෙන් සැමදෙනාම එකඟ විය හැකි විශ්වාසභංගය ගෙන ඒම සජබය තීරණය කළේය. ඒ අනුව ඊට අදාළ මූලික ලේඛන සකස් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීම සඳහා යොමුකර තිබුණේය. ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස් එකතු කරන්නටද විය. එසේ එකතු කරමින් විපක්ෂයේ පිරිසක් විශ්වාසභංගය සඳහා අත්සන් ලබාගැනීමද ආරම්භ කරන්නට විය.

එසේ අස්සන් සිදුකරන විට ආණ්ඩුවේ තවත් කණ්ඩායමක් ස්වාධීන වීම සිදුවුණේය. ඒ අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු කණ්ඩායමක්ය. එහි පිරිස වැඩිවිය. මේ අතර තවත් 10 දෙනෙක්ද ඊට පසුව ස්වාධීන වූහ. මේ අතරතුර ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමෙන් ආ පණිවිඩය වූයේ ඉක්මනින් විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කියාය. එහෙත් විශ්වාසභංගය ඒ වනවිටත් නිමවා තිබුණේ නැත. මේ සඳහා නීති උපදෙස් ලබාදුන්නේ කාලයක් ආණ්ඩුවේ සමීපතමයෙක් මෙන්ම ලංකාවේ හිටපු අගවිනිසුරු කෙනෙකි. ඔහු මේ ව්‍යවස්ථා ගැටලු විසඳීමට පමණක් නොව ජනාධිපතිවරයා ඉවත්කරන හැටිත් කියාදී තිබුණේය.

සියල්ල මැද කතා බස්ද තැන තැන සිදුවුණු අතර ඒ සෑම අවස්ථාවකින්ම පසුව ආණ්ඩුවේ සාමාජිකයන් බහුතරයක් කිවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට්ටුව ඉවත්වී අන්තර්වාර ආණ්ඩුවකට යායුතු කියාය. එහෙත් අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම කීවේ තමන් එසේ ඉවත් නොවන බවය. අන්තර්වාර ආණ්ඩුවක් සඳහා යනවා නම් ඒ තමන්ගේ නායකත්වයෙන් බවත් කීවේය. මේ අතර ජනාධිපතිවරයා නිවේදන නිකුත් කරමින් තමන් අන්තර්වාර පාලනයකට එකඟ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා ඍජුව අග්‍රාමාත්‍යවරයා ඉවත්විය යුතු බවට නොකීවත් වක්‍රාකාරයෙන් එවැනි ඉඟි පළකරන්නට විය.

කෙසේ වෙතත් සජබයේ විශ්වාසභංගයේ කටයුතු තවමත් අවසන් වී නැත. එසේ තිබියදී පවා උදය ගම්මන්පිල කීවේ විශ්වාසභංගය සඳහා 120ක සමාජිකයන් ඇති බවය. කෙසේ වෙතත් උදය ගම්මන්පිල එවැනි ප්‍රකාශ කළත් දේශපාලන අභ්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු අනුව දැනගන්නට ලැබෙන්නේ විමල් සහ ගම්මන්පිල තවම වැට උඩ බවය. එපමණක් නොව ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායමේ පිරිසක්ද තවම විශ්වාසභංගයට ඡන්දය ලබාදෙන බව නිශ්චිතව සඳහන් කර නැත. එහෙත් එම කණ්ඩායමේ පිරිසක් විශ්වාසභංගයට අත්සන් කිරීමට සජබය සමඟ පැවති සකච්ඡාවෙදී එකඟ වී තිබේ. එහෙත් පුදුමය නම් පසුගිය සතිය වනවිටත් සජබයෙන් අදාළ විශ්වාසභංගය තමන් වෙත නොලැබුණු බව අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කිරීමය.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ රුස්වීමක් පවත්වා ඇති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් ඉවත් නොවන බව කියාය. එසේ ප්‍රකාශ කර තිබියදී ජනාධිපතිවරයා විසින් පසුගිය සිකුරාදා සියලු පක්ෂ සඳහා ආරධනාවක් කර තිබූ අතර ඒ සඳහා මෙතෙක් අගමැති විරෝධී ප්‍රතිරෑපයක් මවා පාමින් සිටි ගම්මන්පිල, විමල් සහ ශ්‍රීලනිපය සහභාගී වෙන්නට තීරණය කර තිබුණි. ඒ අන්තර්වාර පාලනයකට එකඟත්වය පළකිරීම සඳහාය. මේ නිසා දැන් සජබය ඉන්නේ කැළඹීමෙනි.

කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් ගෙනෙන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට බහුතරයක් කැමති නැති නිසා එය පරාජය කිරීමට තීරණය කර ඇත. ඒ නිසා ජනාධිපවරයා හමුවීමට යන අයගේ ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා සමඟ තමන් සිට ගන්නා බව පෙන්වීමටය. එහෙත් මේ පෙනී සිටීම සම්බන්ධයෙන් සජබය දැනටමත් ඉන්නේ ඉතාමත් දෙගිඩියාවකින්ය. ඒ තමන් ගෙනෙන විශ්වාසභංගයට කුමකින් කුමක් සිදුවේද යන්න ගැනය. ඊට හොඳම උදාහරණය පසුගියදා කුමාර වෙල්ගම මහතාගේ ප්‍රකාශයයි. එනම් තමන් විශ්වාසභංගයකට අත්සන් නොකර බවය. ඒ ජනාධිපතිවරයා යටතේ ආණ්ඩු කිරීමට අකමැති නිසාය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සිටින්නේ ජනාධිපතිවරයා යටතේ ආණ්ඩු නොකරන තීරණයේය. එහෙත් චම්පික රණවක ඇතුළු කණ්ඩායමක් අන්තර්වාර ආණ්ඩුවකට කැමැත්ත දක්වා තිබේ. වගකීම් ගන්නටද එකඟය. ප්‍රශ්නය ඇත්තේ විශ්වාසභංගය දිනයිද යන්න ගැටලුවයි. විශ්වාසභංගය තවම නැති වුවත් මේ වනවිට අග්‍රමාත්‍යවරුන් තිදෙනෙකුගේ නම් කරළියට පැමිණ ඇත. ඒ දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ නිමල් සිරිපාලය. එහෙත් මින් වැඩිම කැමැත්ත ඇත්තේ ඩලස්ටය. ඩලස්ට කැමති වුවත් ඩලස් අණ්ඩුවට ලියුම් ලීවත් තවම ඩලස් ඉන්නේ ආණ්ඩුව ඇතුළේය. ඒ නිසා එයද තවම ස්ථිර නැත.

එහෙත් මේ වනවිට විශ්වාසභංගය හැමදෙනාට ප්‍රශ්නයක් වී තිබේ. පිරිසක් විශ්වාසභංගය හොයති. තවත් අය විශ්වාසභංග නැතුව ආණ්ඩු කරන්නට පිඹුරුපත් සකසති. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස විශ්වාසභංගය පරාජය කිරීමට සූදානම් වෙයි. එහෙත් විශ්වාසභංගය තවම නැත. ලියුම්කරු මේ සම්බන්ධයෙන් විමසූ කළ සජබය සඳහන් කළේ මේ සතියේදී විශ්වාසභංගය කථානායකට බාර දෙන බවය. දැනගන්නට ඇති පරිදි විශ්වාසභංගය සඳහා තවම ස්ථිර ලෙසම කැමැති වී ඇති පිරිස 100ක් පමණි. ඉතිරි 13 තවම ගැටලුවකි. ඒ නිසා විශ්වාසභංගයට බාලගිරි දෝෂය ඇතිවීමේ අවදානම ඉතාම ඉහළ බව බැලූ බැල්මට පෙනෙන දෙයකි.

 ගයාන් ගාල්ලගේ

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05