
කොවිඩ් ව්‍යසනයත් සමඟ මෙරට මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදය දැන් දේශපාලන අර්බුදයකට පෙරළී අවසන්. ගත වූ වසර 45ක කාලයක් තුළ, ජේ.ආර්.ගේ 77 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණයකින් වැඩිම බලයක් දිනා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමත් වූයේ වත්මන් ආණ්ඩුවය. ඒ තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු බහුතරයක්ද දිනාගනිමිනි. නමුත් වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික අවපාතය හමුවේ පොදුජන පෙරමුණ ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමිවීමේ අවදානම් තත්ත්වකට තල්ලු වී සිටියි.
ගෝල්ෆේස් පිටියේ ඇරඹි තරුණ කැරැල්ලට අමතරව පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ හටගත් පක්ෂ 11 කණ්ඩායමේ අභ්‍යන්තර කැරුල්ල හේතුවෙන් ආණ්ඩුවේ බහුතරය බිඳවැටුණි. ආණ්ඩුව නියෝජනය කළ සුළු පක්ෂ 11ක මන්ත්‍රීවරු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනකු ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවේ බහුතර 117 දක්වා පහත වැටුණි. මේ වනවිට තොණ්ඩමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනාගේ සහායද ආණ්ඩුවෙන් ඉවත්කරගන්නා බව නිවේදනය කළ නිසා ආණ්ඩුවේ බහුතරය 115ට සීමා වී තිබේ.
අප්‍රේල් මස මුල් සතියේ, ඉහළ ගිය ජීවන බර, ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා මහජන උද්ඝෝෂණ රට පුරාම ආරම්භ වීම ආණ්ඩුවට තීරණාත්මකව බලපෑවේය. උද්ඝෝෂණ රැල්ලට ප්‍රතිචාරයක් ලෙස වත්මන් ආණ්ඩුවේ එතෙක් කටයුතු කළ අමාත්‍යවරුද සිය ධූරවලින් ඉල්ලා අස්වීම ආණ්ඩුව තුළ බරපතළ රික්තයක් කළේය. නිර්මාණය වූ මෙම අලුත් තත්ත්වයට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදෙන බවය. තරුණ කැරුල්ල සහ ආණ්ඩුවේ අභ්‍යන්තර කැරුල්ලට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා දුන් එම අභියෝගයට බාර ගැනීමට විපක්ෂය හෝ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 කණ්ඩායම සමත් නොවීය.
පක්ෂ 11 කණ්ඩායම අර්බුදයට විසඳුම් ලෙස දිගින් දිගටම කියා සිටියේ බහුතරය පෙන්වා අලුත් ආණ්ඩුවක් හැදීමට වඩා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටය. එමෙන්ම ඔවුන් කියා සිටියේ මේ වනවිට ආණ්ඩුවේ බහුතරය ගිලිහී ගොස් ඇති නිසා ආණ්ඩුව ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදෙන ලෙසය. පක්ෂ 11 කණ්ඩායමේ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා සිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩුවෙන් ගිලිහී ඇති නිසා සතියක කාලයක් තුළ ආණ්ඩුව ඉවත් විය යුතු යැයි කියා සිටියේය.
“ආණ්ඩුවට විරුද්ධව දැන්නම් 113 වෙනුවට 120ක් ම හැදිලා තියෙනවා. 42ක් ස්වාධීන වෙලා 3ක් ආපහු ඇමතිකම්වලට ගියා. ඉතිරි 39යට විපක්ෂයේ 65 එකතු කරාම 104යි. ඊට පස්සේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වර්තමාන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු දසදෙනෙකුත් ලිඛිත ප්‍රකාශයක් සිදුකළා. 104යි ඒ 10යි 114යි. ඊට අමතරව 20 වැනි සංශෝධනයේ සිට ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරු තුන්දෙනෙක් ආණ්ඩුවට ලබාදෙන සහාය ඉවත්කර ගෙන තමන්ගේ පක්ෂවලට යළි ගොණු වුණා. 114යි ඒ තුනයි 117යි. ඒ වගේම ආණ්ඩුව තුළ ඉන්න නාලක ගොඩහේවා ඇමතිතුමත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමත් කෝප් සභාපති චරිත හේරත් මන්ත්‍රීවරයාත් අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් වහාම ඉවත්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ තුනත් එකතු කළාම 120යි. ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව ඉවත්විය යුතුයි කියන මතයේ දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 120ක්ම සිටිනවා. ඒ වගේම දැනට තමන්ගේ මතය ප්‍රසිද්ධ නොකළ පොහොට්ටුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක දී සහාය දැක්වීමට සිටින බව මම ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.”
වැඩිදුරටත් හිටපු අමාත්‍ය ගම්මන්පිල මහතා කියා සිටියේ සතියක කාලයක් තුළ ආණ්ඩුව ඉල්ලා අස් නොවන්නේ නම් 120 දෙනා එක්ව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන එන බවය. පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩුවට විරුද්ධව ඇතැයි කීවද මීට සතියකට ඉහත දී ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ගත් උත්සාහය විපක්ෂයට නවතා දැමීමට සිදුවූයේ ආණ්ඩුවට එරෙහි බහුතරයක් සොයා ගැනීමට නොහැකිව යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති. එමෙන්ම ආණ්ඩුව ස්ථීරව අවධාරණය කරන්නේ ආණ්ඩුවේ බහුතරයට කිසිලෙසකින් තර්ජනයක් ඇති වී නොමැති බවය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පළ කළේ මෙවන් අදහසකි.
“ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත්කර තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තිබෙනවා යන පදනමින්. අගමැතිවරයාට බහුතරය නෑ කියල කවුරු හරි කියනවා නම් ඔහු එය පාර්ලිමේන්තුවේ තහවුරු කළ යුතුයි. එහෙම නැතුව අගමැතිවරයා බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවක් නෑ. කවුරුහරි තමන්ට බහුතරය නෑ කියල පාර්ලිමේන්තුවේ තහවුරු කරනවා නම් ධූරයෙන් ඉවත්වීමට සූදානම් කියලා අගමැතිවරයා දැනටමත් කියල තියෙනවා. අගමැතිවරයාට බහුතරය නෑ කියන පිරිස මාධ්‍ය සාකච්ඡාවල මිස පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට කටයුතු නොකිරීම තමයි අපිට තියෙන ගැටලුව”
අගමැතිවරයාද තරයේ කියා සිටියේ තමාට මේ වනතුරුත් බහුතරය තිබෙන බැවින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් නැති බවය. තමාව ඉවත් කළ හැකි අයෙක් සිටී නම් ඉවත්කර පෙන්වන මෙන් ආණ්ඩුවට බහුතරයක් නැතැයි කියන පිරිසට අගමැතිවරයා අභියෝග කළේය. ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 කණ්ඩායමට අමතරව විපක්ෂයෙ වැඩි බලයක් තිබෙනුයේ සමගි ජන බලවේගයටය. ඔවුන් සතු ආසන ගණන 47කි. පක්ෂ 11 කණ්ඩායමේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන සජබ කඩිනමින් මහමැතිවරණයකට යාමට යෝජනා කරයි. පවතින පාර්ලිමේන්තු සංයුතියෙන් පත්වන ඕනෑම ආණ්ඩුවක් දුර්වල, අසාර්ථක ආණ්ඩුවක් වනු ඇති බව සමගි ජනබලවේගයේ ස්ථාවරයයි. සජබ පාර්ලිමේන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මැතිවරණයකින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම තම පක්ෂයේ ඉලක්කය වී ඇති නිසා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවෙන් පසු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ය.
නමුත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේ කුමන කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ 113ක බහුතරය පෙන්වුවද වත්මන් ප්‍රශ්න විසඳිය නොහැකි බවය. එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වත්මන ප්‍රශ්න විසඳීමට වඩාත් සුදුසු විසඳුම යැයි හිටපු අගමැතිවරයා සිය විශ්වාසය පළ කළේය. එබැවින් විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ නම් එය කළයුතු වන්නේ මුදල් ඇමතිවරයාගේ අදහස් දැක්වීමකින් පසුව බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු බහුතරය පිළිබඳ ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙවන් අදහසකි. “115, 120ද 150ද කියල අපිට නම් සහතිකයක් දෙන්න බෑ. අනිත් අය අද එකක් කියල හෙට මොකක් කරයිද දන්නෙ නෑ. එහෙට මෙහෙට කේවල් කරලා සල්ලිවලට, අමාත්‍ය ධූරයට, නියෝජ්‍ය අමාත්‍ය ධූරයට, වරදාන වරප්‍රසාදවල විකිණෙන මිනිස්සු ගැන මට සහතිකයක් දෙන්න බෑ. ස්ථාවර ලෙස මේ ආණ්ඩුව පරාජයට පත්කිරීම සඳහා විශ්වාසභංගයක් ගෙන එනවා නම් ඒ විශ්වාසභංගයේදී අපේ මන්ත්‍රීවරු තුන්දෙනා ඉන්නවා. මට සහතික කරන්න පුළුවන් ඒ තුන්දෙනා ගැන විතරයි.”්
කුමන පක්ෂ කවරක් කීවද රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනුයේ රටේ දේශපාලන ස්ථාවරය පවත්වා ගැනීමටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ආණ්ඩුවක් පත්විය යුතු ආකාරය සහ ඉවත්විය යුතු ආකාරය සඳහන්ය. එමෙන්ම ජනාධිපතිවරයා ඉවත් වීමේ අවස්ථාද එහි පැහැදිලිව සඳහන් කර තිබේ. කිසියම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ව්‍යවස්ථාවට පිටින් විධායකය ඉවත් කිරීමට උත්සහ කරන්නේ නම් ආර්ථිකමය සහ දේශපාලනිකව අස්ථාවර වී තිබෙන මෙරටේ රාජ්‍ය යාන්ත්‍රණය අස්ථාවර වීමේ අවදානමකට තල්ලු වනු ඇතැයිද සිහිපත් කළ යුතුය.
සටහන - සකීෆ් සාම්