2022 මැයි 01 වන ඉරිදා

රන් පදක්කමයි මරණයයි එකට තුරුළු කරගත් කෞෂල්‍යා

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 236

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති ''2022 - සියවස් සැමරුම් ජාතික ශූරතා ක්‍රීඩා තරගාවලියේ'' මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සංචිතයේ ලාන්ස් කෝප්‍රල් කෞෂල්‍යා මධුශානි සමත් වූවාය. සිය පදක්කම් ගොන්නට තවත් රන් පදක්කමක් ඇය එක්කාසු කරගෙන තිබුණේ ඉකුත් 23 වැනිදාය. එතැන් සිට පැය විසි හතරක් ගතවන්නට මත්තෙන් ගෙල වැළලාගෙන සිය දිවි නසාගත් ඇයගේ මරණයට හේතුව තවම අබිරහසකි. සිදුවීම සම්බන්ධයෙන් තතු දන්නා පිරිස් සත්‍ය වසන් කරන බව පැවසෙන අතර මියගිය ක්‍රීඩිකාවගේ ළඟම හිතවතුන් දෙදෙනකුගෙන් කටඋත්තර ලබාගැනීමට නියමිත බවද වාර්තා වේ. ඔලිම්පික් පදක්කම්ලාභිනියක් වී රටට කීර්තියක් අත්කර දීමට සිහින දුටු කෞෂල්‍යා මධුශානිගේ සිය දිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් එකී නියමිත කටඋත්තර දෙක හරහා හෙළිවනු ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේ පැවති සියවස් සැමරුම් ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගි වීමට කෞෂල්‍යා මධුශානි මෙනවිය ඇගේ නිවෙසේ සිට පිටත්ව ගොස් තිබුණි. ඒ ඉකුත් 23 වැනිදා පෙරවරුවේ මොහොතකය. තරගාවලියට ඉදිරිපත් වූ ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්ත්පර 58.73කින් නිමකොට රන් පදක්කම ලබා ගත්තාය. අනතුරුව ඇයගේ යෙහෙළියක සමගින් දුම්මලසූරිය, බරාගෙදර, පඩිවෙල පිහිටි නිවෙසට පැමිණ තිබුණේ එදින පස්වරු 5ට පමණය. දිය නාගෙන යෙහෙළිය හා රාත්‍රී කෑම භුක්ති විඳි කෞෂල්‍යා නින්දට පෙර මිතුරිය හා බොහෝ වේලාවක් කතාබස් කරමින් සිටියාය. ඒ අතර ඇගේ මිතුරියට නින්ද ගොස් තිබුණේ ඇයටත් නොදැනීමය. මේ නිසා නින්දක් තමා අසලට හෝ නොපැමිණි රාත්‍රියේ නින්ද තමා වෙත එනතුරු කෞෂල්‍යා කුමක් සිතන්නට කල්පනා කරන්නට ඇත්ද දන්නා කෙනකු නැත.

කෙසේ නමුත් පසුදින 24දා උදෑසන කෞෂල්‍යාගේ යෙහෙළිය අවදි වී තිබුණේ ඇයගේ නිවෙස බලා පිටත්වීම සඳහාය. මිනිත්තු කිහිපයකදී සූදානම් වූ ඇය නිවෙසින් පිටත්ව ගොස් තිබුණි. එතැන් සිට නිවෙසේ තනිව සිටියේ කෞෂල්‍යා පමණි. අවශ්‍යතාවයක් සඳහා ඇයගේ මව ඒ වන විටත් නිවෙසින් පිටව ගොස් සිට ඇත. නැවත වරක් නිදි යහනට වී කල්පනා කරමින් සිටි කෞෂල්‍යා අසල ඇගේ සුරතල් සුනඛයා වැතිර සිටියේය.

මේ අතර මොහොතක උදේ 9ට පමණ අසල්වැසි නිවෙසේ සිටින කෞෂල්‍යාගේ අක්කා පැමිණ උදෑසන ආහාරය ගැනීම සඳහා නැගණියට කතා කර ඇත. එහෙත් නැගණිය පවසා තිබුණේ ප්‍රමාද වී ආහාර ගැනීමට අවශ්‍ය බවකි. ඇයගේ අක්කා යළි නිවෙසට ගොස් ටික වෙලාවකට පසුව කෞෂල්‍යාගේ මිතුරියක පැමිණ තිබුණේ ඇගේ අක්කාගේ නිවෙස වෙතය. ඒ ඇගේ විවාහ මංගල උත්සවය සඳහා සිය මිතුරිය වූ කෞෂල්‍යාට ආරාධනා කිරීමටය. මේ අවස්ථාවේ පැමිණි මිතුරිය කැටුව කෞෂල්‍යාගේ නිවෙස වෙත දෙදෙනාම ගමන් කළෝය. ඒ වනවිට නිවෙසේ දොර ජනේල වසා තිබී ඇත. ඒවා අගුලු දමා ඇති බව පෙනෙන්නට තිබිණි.

නංගි නංගි... යැයි වාර කිහිපයක් කතා කළද ඇගෙන් ප්‍රතිචාරයක් නොවුණි. දොරට ගැසුවත් තත්ත්වය එයම විය. අක්කා හා පැමිණි මිතුරිය සිතා තිබුණේ මහන්සිය නිසා ඇය නිදාගන්නට ඇති බවකි. එහෙත් අවදි නොවන නිසා කෞෂල්‍යා නිදාගෙන සිටි කාමරයේ ජනේලය වෙත වේගයෙන් පහර කිහිපයක් ගැසීමට අක්කා ක්‍රියා කර තිබුණි. එක් ජනෙල් පියනක් ලිහිල්ව ඇරී තිබුණේ ඉන් පසුවය.

කෞෂල්‍යා ඇඳ අසල බිම දණගසා සිටින බව දැක්කේ එවිටය. ඇය සුරතලයට ඇතිකරන සුනඛ පැටියා ඇගේ මුහුණ ලෙවකමින් සිටියේය. ඒ මොහොතේම කෞෂල්‍යාගේ ගෙල ප්‍රදේශයෙන් ලණුවක් වැනි යමක් දුටු බව ඇගේ අක්කා පවසා තිබේ. ඇය බියට පත්ව මහ හයියෙන් කෑගසා තිබුණු අතර ඒ හඬ ඇසී අසල්වැසි නිවැසියන් රුසක්ද එහි පැමිණ තිබුණි. කෞෂල්‍යාගේ අක්කාගේ සැමියා පැමිණි වහාම නිවෙසේ පිටුපස දොර කඩා විවෘත කර නිවෙසට ඇතුළු වී කෞෂල්‍යාගේ ගෙල බැඳි ලණුව කපා ඉවත් කර වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. ඇය රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියාය. එම අවස්ථාවේ රෝහල් පොලීසිය වෙත සිදුවීම දන්වා තිබුණු අතර මරණය පිළිබඳව විමර්ශන සිදු කිරීමට පැවරුණේ දුම්මලසූරිය පොලීසිය වෙතය.

පොලීසිය අදාළ නිවෙස වෙත ගොස් විමර්ශන සිදු කරන මොහොත දක්වාම මියගිය තැනැත්තිය ජාතික තලයේ ක්‍රීඩිකාවක බව දැන සිට නැත. එහිදී කටඋත්තරයක් ලබා දුන් මියගිය අයගේ වැඩිමහල් සොයුරිය ප්‍රියංගනී සුසීමා (44) මෙසේ ප්‍රකාශ කළාය.
''මියගොස් ඉන්නේ මගේ නංගි. ඇය අම්මා එක්ක තනියම ගෙදර හිටියේ. නංගි යුද හමුදාවේ ක්‍රීඩා සංචිතයේ ලාන්ස් කෝප්‍රල්වරියක්. පනාගොඩ සේවය කළේ. 23 වැනිදා තරගයකට දියගම ගියා. රන් පදක්කමක් දිනාගෙන ගෙදර ආවේ එදා හවස. පහුවැනිදා උදේ නංගි එක්ක ආව යාළුවා ගියා. මෙයා තනියම ගෙදර හිටියා. උදේට කන්න කතා කළාම පස්සෙ එන්නම් කීවා. ඊට පැයකට විතර පස්සෙ තමයි මම නැවත නංගිට කතා කරන්න ගියේ. ඒ වෙද්දි නංගි සියදිවි හානි කරගෙන.''

මෙවර කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්ත්පර 58.73කින් අවසන් කර ඇය රන් පදක්කම දිනාගෙන තිබුණි. ඇය කුලියාපිටිය බරාගෙදර අනගාරික ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුවියකි. එහිදී ක්‍රීඩාවට දැක්වූ දස්කම් නිසා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා පාසලට ඇතුළු වීමට හැකි විය. එතැන් සිට නිසි මඟපෙන්වීම ලැබූ ඇය කලාප, පළාත්, ජාතික මට්ටම හා ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය දක්වා තරග කර තිබුණි. 27 වැනි වියේ පසුවූ ඇය අවසානයේ මීටර් 400 කඩුලු මතින් පැන දිවීමේ තරගයේ වාර්තාව කිහිප වතාවක්ම බිඳ දැමුවාය. ඒ අනුව ඇය එම ඉසව්ව ජාතික ශූරීය බවට පත් වූවාය.

එවැනි ශූර තරුණියක වූ ඇය අකාලයේ සිය දිවි නසා ගැනීම කාටත් ගැටලුවකි. ඇගේ මරණය පිළිබඳ සත්‍ය වසන් වෙමින් පවතින මොහොතක ඉදිරියේදී ලබාගැනීමට නියමිත විශේෂ කටඋත්තර දෙකක ප්‍රකාශ මත මරණයට නිශ්චිත හේතුව අනාවරණය වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

■   සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05