
අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පවතින දැඩි හිඟය හේතුවෙන් රටපුරාම මතුවී ඇත්තේ අර්බුද තත්ත්වයකි. ජනතාව දස දෙසින්ම වීදි බසිමින් අරගල කරනුයේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙසටය. වත්මන් ආණ්ඩුවේ බොහෝ දේශපාලකයන්ට නිවෙස්වලින් එළියට බැසිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර ආණ්ඩුව පොලීසිය යොදා ජනතා විරෝධය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටී. මේ හේතුවෙන් තමන්ට සාමකාමී උද්ඝෝෂණවල යෙදීමට ඇති අයිතිය රජය හා පොලීසිය විසින් උදුරා ගැනීමට කටයුතු කරන බවට උද්ඝෝෂකයෝ කියා සිටිති.
පසුගිය සතියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කළ පා ගමනක් වළක්වාලීමට පොලීසිය අධිකරණ තීන්දුවක් ඉල්ලා සිටියද ඒ සඳහා අධිකරණයෙන් අවසර නොලැබුණේ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට ඇති මූලික අයිතිවාසිකම තහවුරු කරමිනි. එහෙත් පොලීසිය කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන් අවහිර කරමින් මාර්ග බාධක යොදා එම උද්ඝෝෂණය වළක්වාලීමට උත්සාහ කළේය. එය තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙස බොහෝ පිරිස් චෝදනා කළෝය. එමෙන්ම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත පිරිස් ඉන් ඉවත් කිරීමට කොල්ලුපිටිය පොලීසිය අධිකරණයෙන් වාරණයක් ඉල්ලා සිටියද එයද ප්‍රතික්ෂේප වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය සැමට ඇති බැවිනි.
කොළඹ අවට ඉදිකර තිබූ ඇතැම් මාර්ග බාධකවල උද්ඝෝෂකයන්ට මාරාන්තික තුවාල සිදුවිය හැකි පරිදි උල් ඇණ සවිකොට ඒවා නොපෙනෙන ලෙස ඉටිරෙදිවලින් ආවරණය කර තිබෙනු දැකිය හැකි විය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අවධානය යොමු වූ අතර පොලිස්පති, පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික වන අයුරින් යැයිද, සාමකාමි උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ අයිතියද ඔවුනට ඇති බවද ආණ්ඩුවට නිවේදනයක් මගින් දන්වා තිබිණි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම ජනතාවගේ අයිතියක් බවත් එම විරෝධතා නියාමනය කිරීම සඳහා පොලීසියට ගත හැක්කේ සාධාරණ ක්‍රියාමාර්ග පමණක් බවත්ය. පොදු මාර්ග අවහිර කිරීම සහ ගමනාගමනය වැළැක්වීම ප්‍රචණ්ඩකාරී නොවන විරෝධතාවලට නුසුදුසු ප්‍රතිචාර බවත් එහෙයින් එවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය අනුව ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ, නිදහස හිමිය. භාෂණයේ නිදහස යනු පුද්ලයකුට හෝ හෝ පිරිසකට මතයක් පළ කරන්නට ඇති හැකියාව සහ සන්නිවේදනයේ යෙදීමට ඇති නිදහසයි. 14 වැනි වගන්තිය යටතේම ඇති තවත් වැදගත් අයිතිවාසිකමක් වන්නේ ඕනෑම පුරවැසියෙකුට පොදු රුස්වීමකට සහභාගී වීමට, පාගමනකට, පෙළපාලියකට සහභාගී වීමට ඇති අයිතියයි. ඒ අනුව දේශපාලන රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණවල නිරතවීමේ අයිතිය හා නිදහස ජනතාවට හිමිය. එහෙත් මේ සියලු දෑ සාමකාමීව හා නීතිමය සීමා හෝ වෙනත් පුද්ගලයන්ගේ නිදහස උල්ලංඝණය නොවන ආකාරයට සිදුකළ යුතු බවද එහි සඳහන්ය.
එවැනි තත්ත්වයක් යටතේ වුවද පසුගිය 19 වැනිදා රඹුක්කනදී පොලීසිය විසින් ජනතාවට උද්ඝෝෂණ කිරීමට ඇති අයිතිය වළක්වාලමින් උද්ඝෝෂණකරුවන් පළවා හැරීමට කටයුතු කර තිබිණි. එහිදී පොලීසිය පැවසුවේ උද්ඝෝෂකයන් පලවා හැරීමට තමන් අවම බලය භාවිත කළ බවටය. එහෙත් එහිදී ජීව උණ්ඩ භාවිත කරමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අතර විශාල පිරිසකට තුවාල සිදු විය. ඇසින් දුටුවන් පැවසුවේ පොලීසිය ඔවුන් නිරායුද මිනිසකු එළවාගෙන ගොස් පිටුපසින් වෙඩි තබා මරා දැමීමට කටයුතු කළ බවටය. මෙම අවස්ථාවේ පොලීසිය ටී 56 ගිනි අවි 4කින් වෙඩි උණ්ඩ 35ක් මුදාහැර තිබිණි. පොලීසිය ප්‍රකාශ කළේ කිසියම් පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ අහසට වෙඩිතබා ඔවුන් පළවා හැරීමට උත්සාහ කළද ඔවුන් ඉවත් නොවූ බැවින් දණහිසෙන් පහළට වෙඩි තැබූ බවයි. එහෙත් උද්ඝෝෂකයන් ප්‍රකාශ කළේ එළව එළවා තමන්ට වෙඩි තැබූ බවටය.
දේශප්‍රේමී ජාතික පෙරමුණේ නීතීඥ චානක අබේවික්‍රම මහතා සඳහන් කරන පරිදි තම අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව පාරට බැස්ස අවස්ථාවක මහජන සාමය පවත්වාගෙන යෑමට සහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා උද්ඝෝෂකයන් පළවා හැරීමට පොලීසියට අයිතියක් ඇති නමුදු එහිදී කළ හැක්කේ අවම බලය පාවිච්චි කිරීම පමණක් බවයි. අවම බලය යනු අදාළ උද්ඝෝෂකයන් එම ස්ථානයෙන් ඉවත් කොට එම ස්ථානයේ පවතින අවහිරය නැති කිරීම සඳහා යෙදිය හැකි බලය පමණක් බවද මේ සඳහා බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර, රබර් උණ්ඩ වැනි දේ එල්ල කළ හැකි බවද ඔහු සඳහන් කළේය. &රඹුක්කනදී සිදු වී ඇත්තේ අවම බලය භාවිත කිරීමක් නොවෙයි. ආණ්ඩුව ජනතා අභිලාෂයන් අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින අවස්ථාවක ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය නින්දා සහගත ආකාරයට පහර දී එක් පුද්ගලයකු මරා දමා තිබෙනවා. නිරායුද මිනිසුන්ට වෙඩි තබන ලෙසට ඉහළ නිලධාරියකු අණ දී තිබුණ බව වාර්තා වුණා. මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ ඔහු අරගල භූමියෙන් පලා යමින් සිටියදී ඔහුගේ පිටුපසිනුයි. පොලීසියට නීතියෙන් මෙවැනි බලයක් කිසිසේත්ම ලැබී නැහැ. මියගිය පුද්ගලයාට අධිකරණය මගින් යුක්තිය ඉටුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.* යනුවෙන් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස්පතිවරයාද මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබිණි. එහිදී පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර තිබුණේ කිසිදු උද්ඝෝෂණයකට වෙඩි තැබීම සඳහා තුවක්කු භාවිත නොකරන ලෙසට තමන් නියෝග දී තිබූ බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කියා සිටියේ එවැනි නියෝගයක් පනවා තිබියදීත් කෑගල්ලේදී තුවක්කු යොදාගෙන තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.
ජනතා නීතීඥයෝ සංගමයේ සාමාජික නීතීඥ සේනක පෙරේරා සඳහන් කරන පරිදි පොලීසිය උද්ෂෝෂකයන් පළවා හැරීම සඳහා රබර් උණ්ඩ භාවිත නොකර ජීව උණ්ඩ භාවිත කිරීමෙන් පැහැදිලි වන්නේ කිසිවකු මරා දැමීමේ අවශ්‍යතාවක් පොලීසියට තිබූ බවයි.. කෙසේ නමුදු විරෝධතාකරුවන් පළවා හැරීමට අහසට වෙඩි තබනු වෙනුවට එම පුද්ගලයන්ට වෙඩි තබන ලෙසට ඉහළ පොලිස් නිලධාරීන් අණ දුන් බව කෑගල්ල අධිකරණයේදී අනාවරණ විය. මෙහිදී පොලීසිය අනුගමනය කර ඇත්තේ ජනතාව ආරක්ෂා කරන රාජකාරිය ඉටු නොකොට ඉන් ඔබ්බට යෑමකි. රඹුක්කන සිද්ධියේදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට සහකාර පොලිස් අධිකාරී සී.ඩබ්ලිව්.සී. ධර්මරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩබ්ලිව්. කීර්තිරත්න යන මහත්වරුන් වෙඩි තැබීම සඳහා උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය වීම වළක්වාලීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කරමින් විරෝධතාවලදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලීසියට නව නිර්දේශ මාලාවක් නිකුත් කිරීමට මේ වනවිට මානව හිමිකම් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ. අදාළ නිර්දේශ සකස් කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියගේ අධීක්ෂණය යටතේ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේ, පිළිගත් මානව හිමිකම් අනුව විරෝධතාවලදී කටයුතු කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍ය බවට තහවුරු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද දැනුම්වත් කර ඇති අතර මානව හිමිකම් කොමිසම මගින් සකස් කරන නිර්දේශ අනුව ඉදිරියේදි කටයුතු කිරීමට පොලිස්පතිවරයා එකඟතාවය පලකර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා