2022 මැයි 01 වන ඉරිදා

සූට්කේස් එක විතරක් අරගෙන ගෙදර ගිය ඉන්දියාවේ ජනාධිපති

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 678

සිහිනයක් යනු නින්දේදී දකින්නක් නොව එය ඔබට නින්දට යන්නට ඉඩ නොදෙන්නකි

මෙම කියමන මා උපුටා ගත්තේ අබ්දුල් කලාම්ගේ කියමන් ගොන්නකිනි. රැය නොනිදා වෙහෙසී සිහින සැබෑකර ගන්නට ප්‍රයත්න දැරීමෙන් පමණක් සිහින සැබෑකර ගත හැකි බව මෙම කියමනෙන් වක්‍රව කියවේ. මානව ප්‍රගතිය උදෙසා සිහින දැකීමේ වැදගත්කමත්, ඒවා සැබෑකර ගන්නට කැපවිය යුතු බවත් මෙම කියමනෙන් හැඟවේ. සිහින සිතුවිලි බවට පෙරළෙන බවත්, සිතුවිලි හේතු කොටගෙන ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවන් හටගන්නා බවත් අබ්දුල් කලාම් තවත් විටෙක කියයි. සාර්ථකත්වය කරා යන තමාගේ අධිෂ්ඨානය අභිබවා යන්නට අසාර්ථකත්වයට කිසිවිට ඉඩ නොදුන් බවද ඔහු වරෙක පවසා තිබේ. 

ජීවිතයත්, තමාගේ දේශයත් සාර්ථකත්වය කරා ගෙන යා යුතු අන්දම ඔහු සිය ජීවිතයෙන් ආදර්ශවත්ව පෙන්නුම් කර දී ඇත. මේ නිසා අබ්දුල් කලාම්ගේ ජීවිත තතු මඳක් විමසා බැලීම අපටත්, රටටත් බොහෝ සෙයින් වටනේය.

අවුල් පකීර් ජෙයිනුලාබ්දීන් අබ්දුල් කලාම් ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස 2002 සිට 2007 දක්වා එම ධූරයේ කටයුතු කළේය. හෙතෙම අභ්‍යාවකාශයට යැවීම සඳහා වූ රොකට් යානා සහ උපකරණ තැනීමට සම්බන්ධ විද්‍යාඥයෙකි. ඔහු ඉපදී හැදී වැඩුණේ තමිල්නාඩුවේ රාමේශ්වරම්හිය. ඔහු ගැඹුරෙන් හැදෑරෑ විෂයන් වූයේ භෞතික විද්‍යාව සහ අභ්‍යාවකාශ ගත කරන ගුවන් යානා හා උපකරණ තැනීම පිළිබඳ ඉංජිනේරු විද්‍යාවයි. ඔහු උපත ලැබුවේ 1931 ඔක්තෝබර් 15 වැනිදාය.

දෙවැනි ලෝක මහ යුද්ධය ලෝ වසා පැතිර යන 1939 කාලයේ ඔහුට යන්තම් අවුරුදු 8 කි. එකල සියඹලා ඇටවලට මහා ඉල්ලුමක් ජනිත විය. කුඩා අබ්දුල් කලාම් සියඹලා ඇට එකතු කර විකුණා තමාට පවුලට අවශ්‍ය දේ සපයා දුන්නේය. ජීවිතයේදී ඔහු පළමුවෙන්ම මුදල් ඉපයුවේ ඒ ආකාරයටයි. ඉන් පසුව ඔහු රුකියාව ලෙස පළමුවෙන්ම කළේ පත්තර එකතු කිරීමේ රැකියාවයි. පත්තර එකතු කිරීම යනුවෙන් හැඳින්වූවාට ඔහුට භාරව තිබූ කාර්යය පැහැදිලි වන්නේ නැත. රාමේශ්වරම් ප්‍රදේශයට පුවත්පත් රැගෙන පැමිණි දුම්රිය, රාමේෂ්වරම් දුම්රිය නැවතුම්පොළේ නැවැත්වූයේ නැත. එම දුම්රියපොළ පසුකොට දුම්රිය වේගයෙන් දිව යන අතර පත්තර මිටි දුම්රියෙන් ඉවතට විසි කිරීම සිදුවිය. අබ්දුල් කලාම්ට භාරවූයේ එසේ විසිකර සීසීකඩව වැටුණු පත්තර මිටි එකට එක්කර භාර දීමයි. ඒ සඳහා ඔහුට ඔහුගේ ඥාති සහෝදරයා වැටුපක් ගෙව්වේය. ජීවිතයේ ඔහු ලැබූ පළමු වැටුප ලබාගත්තේ ඒ ආකාරයටයි.

ඉගෙනීමේ අති දක්ෂයකු වූ අබ්දුල් කලාම් මදුරාසි තාක්ෂණික ආයතනයට තේරී, ගුවන් යානා තැනීම පිළිබඳ ඉංජිනේරු විද්‍යා උපාධිය එම තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් (1960 දී) දිනා ගත්තේය. ඉන් අනතුරුව ඔහු Defense Research and Development Organization (DRDO) හෙවත් ආරක්ෂණ පර් යේෂණ හා සංවර්ධන සංවිධානය වෙත බැඳී සේවය කළේය. ඉන් පසු ඔහු ඉන්දියානු අභ්‍යවකාශ පර් යේෂණ සංවිධානයේ විද්‍යාඥ මෙහෙවර ඉටු කළේය.  Indian Space Research Organization (ISRO) යනු ඉන්දියාවේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන ආයතනයයි. එය 1969 දී පිහිටුවන ලද්දේ නිදහස් ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහන් වර්ධනය කිරීම සඳහාය. බැංගලෝරයේ පිහිටි එහි ප්‍රධානියා සභාපතිවරයකු වන අතර, එම සභාපතිවරයා ඉන්දියානු රජයේ අභ්‍යවකාශ කොමිසමේ සභාපතිවරයා බවටත් අභ්‍යවකාශ දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා බවටත් පත් වේ. එකී ISRO ආයතනයේ SLV-III ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස අබ්දුල් කලාම් කටයුතු කළේය. එම ව්‍යාපෘතියෙන් කරනු ලැබුවේ පළමු චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ වාහකය නිර්මාණය කිරීමයි. එය නිර්මාණය කිරීමත් නිෂ්පාදනයත් දෙකම කළේ ඉන්දියාව විසිනි.

1982 දී නැවත ඔහු මුලින් සේවය කළ DRDO ආයතනය වෙත ආපසු බැඳෙන කලාම් සාර්ථක මිසයිල බොහෝ ගණනක් නිපදවූයේය. එම නිසාම ඔහුට මිසයිල මිනිසා - Missile Man යන නම පටබැඳිණි. සුප්‍රසිද්ධ අග්නි මිසයිලය එසේ සාර්ථක වූ මිසයිලවලින් එකකි. එය ඉන්දියාවේ ප්‍රථම බැලිස්ටික් වර්ගයේ මිසයිලයද වෙයි. එය SLV-III ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ වූවකි. 1992 සිට 1997 දක්වා කලාම්, ආරක්ෂක අමාත්‍යාංශයේ විද්‍යාත්මක උපදේශකවරයා වූයේය. ඉන් පසු 1992 සිට 2001 දක්වා රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශකවරයා ලෙස සේවය කළේය. එය කැබිනට් අමාත්‍ය තනතුරක් හා සමාන වූවකි.

එක්සත් රාජධානිය, සිංගප්පූරුව, කැනඩාව, ස්කොට්ලන්තය ආදී දේශ දේශාන්තරයේ සම්මානනීය විශ්ව විද්‍යාලවලින් ආචාර්ය උපාධි 7කට වඩා ඔහුට පිරිනමා තිබේ. ඊට අමතරව විශිෂ්ට ගෞරව සම්මාන 11කට වඩා ලෝකයේ විශ්ව විද්‍යාලවලින් අබ්දුල් කලාම් හට පිරිනමා ඇත. ඊට අමතරව වීර සාවර්කා සම්මානය, භාරත රත්න සම්මානය, රාමනුජාන් සම්මානය, පද්ම භූෂණ, පද්ම විභූෂණ ඉන්දියාවෙනුත්, අන්තර්ජාතික Von Karman Wings සම්මානය ජාත්‍යන්තරයෙනුත් අබ්දුල් කලාම්ට හිමි වූයේය.

1998 දී අබ්දුල් කලාම්, Technology Vision 2020 (තාක්ෂණික දැක්ම 2020) යන ව්‍යාපෘතිය ඉන්දියාව උදෙසා ඉදිරිපත් කළේය. එයින් බලාපොරොත්තු වූයේ තාක්ෂණය තුළින් ඉන්දීය ආර්ථිකය දියුණු කිරීමයි. විශේෂයෙන් කෘෂිකර්මය උදෙසා තාක්ෂණය යොදා ගැනීම, සෞඛ්‍ය සංරක්ෂණය හා අධ්‍යාපනයට තාක්ෂණය අදාළ කර ගැනීමට අදාළ ඉදිරි කටයුතු එම ව්‍යාපෘතියේ අඩංගු වූයේය.

කලාම් රටට කළ සේවාවත් ඔහුගේ පෘථුල ජනප්‍රියත්වයත් හඳුනාගත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඔහු 2002 දී ජනාධිපති පදවියට නම් කළේය. 

ඔහුගේ තාක්ෂණික දැනුම ලෝකයේ ධනවත් රටකට අලෙවි කළේ නම් ඔහුට ධන කුවේරයකු වන්නට පමණක් නොව අන්තර්ජාතික සමාගම් රාශියක හිමිකරුවකු වන්නට තිබිණි. එහෙත් ඔහුගේ ජීවිත දර්ශනය එවැන්නක් නොවීය. හෙතෙම ධනය පොදි ගසා ධනයෙන් මත්ව ජීවත් වන අයකු වූයේ නැත. ඔහුගේ අරමුණ වූයේ මාතෘ භූමිය වූ ඉන්දියාවටත්, පොදු මිනිසාටත් මෙහෙවර ඉටු කිරීමයි. ඔහු පෞද්ගලික ජීවිතය ගත කළ ආකාරයත්, ජනාධිපති පදවියේ කටයුතු කළ ආකාරයත් ඊට සාක්ෂි දරයි.

ජනාධිපති පදවිය දරන විට රජයෙන් ඒ සඳහා දුන් වරප්‍රසාද බොහෝමයක් ඔහු බැහැර කළේය. ජනාධිපති පදවියට හිමිව තිබූ සුඛෝපභෝගී ජීවිතය භාර නොගත් ඔහු සුපුරුදු චාම්, අල්පේච්ඡ ජීවිතය ගත කළේය. ඉන්දියාවේ ජනාධිපති මන්දිරය වූ රාෂ්ටපති භවාන් හි ඔහු වාසය කරද්දී ඔහු භාවිත කළේ එහි කාමර දෙකක් පමණකි. ඇඳිරි වැටුණු පසු විදුලි පහන් දැල්වූයේද එම කාමර දෙකේ පමණකි. ඇතැම්විට ලැබුණු විවේකයේදී ඔහු සංගීතයට සවන් දුන්නේ යල්පැන ගිය ටූ ඉන් වන් කැසට් යන්ත්‍රයකිනි. වරෙක එම කැසට් යන්ත්‍රයෙන්, පටිය එළියට පැන එය යන්ත්‍රයේ පැටළුණේය. එය රෙපෙයාර් කළ යුතු බව ඔහු කියා සිටියේය. නවීන I-pod හෝ MP3 ධාවන යන්ත්‍රයක් භාවිත කළ හැකි බව අන් අය කියා සිටියත් ඔහු ඒවා භාවිත කළේ නැත. 

තමාට හිමි ජනාධිපති වරප්‍රසාදවලට ඔහු කිසිවිටෙක තමාගේ පවුලේ උදවිය ගාවා ගත්තේ නැත. වරක් මදුරාසි සිට දිල්ලිය දක්වා ඔහුගේ පවුලේ අය ගමන් කළේ නිදන මැදිරි සහිත දුම්රියකිනි. දුම්රියපොළේ සිට ඔවුන් ගෙන්වා ගත්තේ ආණ්ඩුවේ සාමාන්‍ය බස් රථයකිනි. දින තුනකට පසු ඔවුහු රාෂ්ටපති භවාන් වෙතින් පිටත්ව ගියෝය. ඔවුන්ට ගිය මුළු වියදම අබ්දුල් කලාම් සිය පෞද්ගලික මුදලින් ගෙවා දැමුවේය.

ඔහුගේ ජනාධිපති නිල කාලය අවසන් වන දා කලාම් පිටත්ව ගියේ ඔහුගේ සූට්කේස් දෙක පමණක් රුගෙනයි. ඔහුට හිමි දේපළ වූයේ කීර්තිනාමය සහ ජනතාවගේ හිත හොඳකම සහ පොත් කිහිපයක් පමණකි. 

ජනාධිපති පදවිය දරන විට ඔහුට ලැබුණු ත්‍යාග සියල්ල ලේඛනයකට එක්කොට එදිනෙදා ඒවා රජය සතු දේපළක් බවට පත් කළේය. කවුරු හෝ පොතක් ඔහුට පිරිනැමුවත් ඔහු එය භාරගත්තේ පොත ඇතුළේ කිසිවක් නැති බව සහතික කොට දැනගත් පසුවයි. 

2007 ජනාධිපති පදවිය දැරීමෙන් අනතුරුව ඔහු විශ්වවිද්‍යාලවල දේශන පවත්වමින් නව පුරපුර දැනුවත් කළේය. අවුරුදු 83ක් ආයු වළදා ඔහු 2015 ජූලි 25 ඉන්දියාවේ මෙඝාලායා හි ෂිලොංග් හිදී මිය යන්නේ දේශනයක් පවත්වන අතරතුර ඇදවැටීමෙනි.

ඔහු කෙතරම් අල්පේච්ඡ ජීවිතයක් ගත කළේද යන්න මියයන විට ඔහු සතුව තිබූ අල්ප ධනයෙන් පැහැදිලි විය. එවිට ඔහුට ධනය රුස් කළ බැංකු ගිණුමක් නොතිබිණි. ඔහුට ඒ වනවිට හිමිව තිබුණේ කලිසම් 6ක් (ඉන් 2ක් DRDO නිලඇඳුම්ය.), කමිස 4ක්, සූට් 3ක් හා පොත් 2500ක් පමණි. පද්ම ශ්‍රී සම්මානය, පද්ම විභූෂණ සම්මානය, භාරත රත්න සම්මානය ඒ අතර තිබිණි. එක් ට්විටර් ගිණුමක්, එක් ඊමේල් ලිපිනයක් ඔහු භාවිත කර තිබිණි. කිසිදු ටෙලිවිෂන් යන්ත්‍රයක්, ශීතකරණයක්, කාර් රථයක් රන් රිදී, සමාගම් කොටස් මිය යද්දී ඔහු සතුව නොවීය. අට අවුරුද්දක විශ්‍රාම වැටුපද ඔහු තමාගේ ගමේ ජනයාට පරිත්‍යාග කර තිබිණි.

නවීන ඉන්දියාවට හිමිවූ සැබෑ දේශප්‍රේමියාත්, සත්‍යවාදී උතුම් මිනිසාත් ඔහුය. ඉන්දියාවට පමණක් නොව ශ්‍රී ලංකාවටත් ලොව සියලු රාජ්‍ය නායකයන්ටත් ඔහු ලබා දුන්නේ මහඟු ආදර්ශයකි.

 සමන් පුෂ්ප ලියනගේ