2022 මැයි 01 වන ඉරිදා

මූල්‍ය අරමුදල සමඟ ගැලවිජ්ජාව!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 57

රටේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමෙන් පීඩාවට පත් ජනතාව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස ඉල්ලමින් මේ වනවිට වීදි බැස උද්ඝෝෂණවල නිරත වෙති. ගාලු මුවදොර පිටියේ නොනිදන තරුණ උද්ඝෝෂණයට මේ වනවිට සති තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා පසුගියදා මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වොෂින්ටනය බලා ගියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින් ප්‍රකාශ කළේ ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසර මාවතකට ගෙන යා හැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනු ඇති බවටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වන මෂිහිරෝ නොසාකි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ ණය දීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බවටය. ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට හා ආර්ථිකය කඩිනමින් තිරසර වර්ධන මාවතකට ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු අතර දිළිඳු ජනතාව සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අත්විඳින දුෂ්කරතා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලට පත්ව සිටින බවද ඔහු කියා තිබිණි.

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු කරුණු රැසක් පවතින අතර තවමත් මූලික සාකච්ඡා පැවැත්වෙන හෙයින් මූල්‍ය අරමුදලෙන් සහය ලබා ගැනීමට යම් කාලයක් ගතවන බවද කියා සිටියේය. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් මැයි මස 4 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වන අතර ඒ සම්බන්ධයෙන් විවාදයක් එදිනම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ උද්ධමනය ඉහළම රාජ්‍යයන් අතර තුන්වැනි ස්ථානයට පත්ව ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා පවසා තිබේ. මින් ඉහත  ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ පසු වූ අතර එවක 17.50%ක්ව පැවැති මෙරට උද්ධමනය මේ වනවිට 119%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට වඩා වැඩි උද්ධමනයක් ඇති අනෙකුත් රාජ්‍යයන් දෙක වන්නේ සිම්බාබ්වේ සහ ලෙබනනය පමණි. පසුගියදා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 353ක් වූ අතර ගැණුම් මිල රුපියල් 338ක් ලෙස සටහන් විය.

මේ වනවිට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් තවදුරටත් පහළට වැටී තිබේ. ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය ඒ බව සඳහන් කර ඇත. මින් ඉහත ශ්‍රී ලංකාව පැවතියේ CC තත්ත්වයේය. මේ වනවිට ලංකාව තෝරාගත් පැහැර හැරීමක් (Selective Default) තත්ත්වයට පහත වැටී තිබේ. දින 30 කාලයකින් පසුව හා 2023 – 2028 කාලයේ කල් පිරීමට නියමිත ස්වෛරී බැඳුම්කර සඳහා වන පොලිය ගෙවීම මඟහැරීම මත මෙම ශ්‍රේණිගත කිරීම D මට්ටම දක්වා පහත වැටිය හැකි බවද පැවසේ. එම කාලය තුළ ශ්‍රී ලංකාවට අදාළ ගෙවීම් කළ නොහැකි බව ඔවුන්ගේ පුරෝකතනයයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්වලින්ද දිගින් දිගටම ශ්‍රී ලංකාව ණය ගෙවීමේ අවම හැකියාවක් ඇති රටක් ලෙස නම්කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරමින් බදු ඉහළ නංවන ලෙසටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂිකා ඈන් මරී මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කරමින්. අ.ත්‍යවශ්‍ය වියදම් අවශ්‍යතා සපුරාගනු වස් බදු ආදායම වැඩිකරගත යුතු වන අතර උද්ධමනය පාලනය කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රතාපත්ති දැඩි කළ යුතු බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිර්දේශ කර තිබෙන පරිදි නුදුරේදීම බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට නියමිතය. ඒ පිළිබඳව අනාවරණ වූයේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡාව සඳහා ඇමෙරිකාවට ගිය මුදල් අමාත්‍ය නීතීඥ අලි සබ්‍රි මහතා බ්ලූම්බර්ග් රෑපවාහිනී නාලිකාව සමඟ කළ සාකච්ඡාවේදීය. වැට් බදු හා අනෙකුත් බදු වැඩිකිරීමේ  සැලසුමක් තිබේදැයි එහි නිවේදිකාව විමසා සිටි අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එය කළ යුතු බවයි. ඩොලරය පා කිරීම හේතුවෙන් රුපියල 60% - 70%කින් අවප්‍රමාණය වී ඇති හෙයින් මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් විශාල ආර්ථික පීඩනයකට පත්ව සිටින හෙයින් එය කළ යුත්තේ ප්‍රවේශමෙන් හා අනුක්‍රමිකව බවද ඔහු සඳහන් කළේය. මේ වනවිට පවතින බදු ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.6%ක් වන අතර එවැනි බදු ප්‍රතිශතයකින් ඉදිරියට යා නොහැකි හෙයින් අවම වශයෙන් 13%- 14% පමණ බදු ප්‍රතිශතයකට යා යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. 

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සහාය දක්වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික වැඩසටහනක මූලික සාකච්ඡාවලින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ප්‍රකාශ කර තිබේ. ඒ අප්‍රේල් 18 සිට 22 දක්වා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම අදහස් දක්වමින් නිකුත් කළ නිවේදනයක් මගිනි. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට තමන් සහාය ලබාදෙන බව එහි සඳහන්ය. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම හා එහි සමාජ ආර්ථික ජාලය ශක්තිමත් කිරීමත්, අර්බුදයෙන් බැටකන දිළින්දන් හා අවදානමට මුහුණ පා සිටින්නන් ආරක්ෂා කිරීම සඳහා විශ්වසනීය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවත් එම සාකච්ඡාවේදී අදහස් පළවූ බව එහි වැඩිදුරටත් සඳහන්ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය හිමියන් සමඟ සුහද සංවාදයක් සිදුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් ගෙන ඇති තීරණයද වැදගත් වන්නක් බවද ඔවුන් සඳහන් කර තිබේ.

මේ අතර ලෝක බැංකුවද ශ්‍රී ලංකාවට යම් සහන ලබාදීමට කැමැත්ත පළකර තිබේ. ශ්‍රී ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායම සමඟ වොෂින්ටනයේදී පැවැති සාකච්ඡාවකින් පසු ඖෂධ හා සෞඛ්‍ය, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික, ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතා සපුරාගනු සඳහා. ආධාර කිරීමට එකඟ වී තිබිණි. ඒ අනුව ඩොලර් මිලියන 600ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළකරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය පසුගිය 26 දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දන්වා තිබේ. පළමු අදියර ලෙස එම ඩොලර් මිලියන 600න් මිලියන 400ක් ලබාදෙනු ඇත. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය පහසුකම ලබා ගැනීමේදී යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි මෙරට සිටින චීන තාතාපති චී සෙන්හොන්ග් මහතා සඳහන් කර තිබේ. පසුගිය 25 දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් එය අවසන් ගිවිසුම් ගතවීමක් සඳහාද නැතිනම් කොන්දේසි සම්බන්ධයෙන්ද යන්න තමන්ට පැහැදිලි නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බවත් ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවන්හි ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැදගත් අංගයක් බවත් එම සාකච්ඡාවල අන් නිගමනයට පැමිණෙන තෙක් බලා සිටිය යුතු බවත් පවසා ඇති අතර මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේ ණය ගෙවා දමමින් අර්බුදයෙන් ගොඩ ඒමට චීනය උපරිම සහය ලබා දෙන බවද වැඩිදුරටත් පවසා තිබේ. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළේය. ශ්‍රී ලංකාවට ණය ලබා දෙන ප්‍රධානතම රට චීනය නොවන අතර පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය තෙක් චීනය ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අවම මිලකට ඉන්ධන ලබා දී තිබේ. ඉන්ධන අර්බුදය ඉහළ ගොස් ඇති අවස්ථාවේ පෙට්‍රල් සහ ඩීසල් නැව් 19ක් මෙරටට ලබා දී ඇති අතර එය මෙට්‍රික් ටොන් 730,000 කි. ඒ සඳහා තවමත් ගෙවීම් කර ඇත්තේ නැව් 7ට පමණි. ඉතිරි නැව්වලට මෙතෙක් ගෙවීම් සිදුකොට නොමැති බවද තානාපතිවරයා ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමද වැදගත් සාධකයක් වුවද ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.5ක ණය පහසුකම සඳහා එයින් කිසියම් බලපෑමත් ඇතිවිය හැකිය. දෙරට අතර අනාගත ණය ගනුදෙනුවලටද ඉන් අනිවාර්ය බලපෑමක් ඇතිවිය හැකි බවත් කෙසේ නමුදු චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන්නේ කිසියම් දේශපාලන පක්ෂයකට හෝ රජයකට නොව ශ්‍රී ලංකාව නමැති රාජ්‍ය වෙනුවෙන් හා එහි පුරවැසියන් වෙත යැයි තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ. 

මේ අතර ඉන්දියාව පවසන්නේ ශ්‍රී ලංකාව මැදි ආදායම් කාණ්ඩයෙන් ඉවත් කර අඩු ආදායම්ලාභී රටක් ලෙස නැවත වර්ගීකරණය කළ යුතු බවයි. අඩු ආදායම්ලාභී රටවලට ලොව බොහෝ රාජ්‍යයන් හා මූල්‍ය ආයතන සහනාධාර සහ අවම පොලියට ණය ලබා දෙන අතර ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින දැවැන්ත මූල්‍ය අර්බුදයට බහු පාර්ශ්වික ආධාර වැඩි වශයෙන් ලබා ගැනීමට අවස්ථාවක් උදාකරලීමේ පියවරක් ලෙස ඉන්දියාව එම තීරණයට එළැඹ ඇති බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති පාලක මණ්ඩල රුස්වීමේදී අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාවට සහය ලබාදෙන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කර තිබුණාය.

■  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා